2017 මැයි 06 වන සෙනසුරාදා

FB මල් නිසා අවුල්වෙන පවුල් කතාවක්

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

සමාජ මාධ්‍ය ජාල අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් සමාජයීය මෙන්ම ගෘහස්ථ ගැටලු රැසක් සිදුකරන අසීමිත බලපෑම් වස්තුබීජය කරගත් අලුත්ම සිංහල චිත්‍රපටය “පැණි මකුළුවෝ” දැන් එම්.පී.අයි. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වේ.

යූ.ඒ. පල්ලියගුරුගේ කතා සංකල්පයක් මත ඉසුරු වීරසිංහමුදලි සිනමාවට නංවා ඇති “පැණි මකුළුවෝ” චිත්‍රපටයට ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

“මම මේ චිත්‍රපටයේ තිරපිටපත කියවලා රංගනයෙන් දායක වෙන්න තීරණය කළේ මෙහි එන සමාජ පණිවිඩය නිසයි. මගේ චරිතය සාමාන්‍ය ජීවිතේට වඩා වෙනස් ස්වරූපයක් ගතයුතුව තිබුණ නිසා මගේ බාහිර පෙනුම වෙනස් කරගන්නත් මම මහන්සි වුණා. ඒ සඳහා මගේ බරත් වැඩි කරගත්තා. මේ වගේ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා හමුවට ආවොත් තමයි මේ තුළ කතා කරන විෂය සමාජ ගත වෙන්නෙ.” සනත් ගුණතිලක හදසරට කීය.

“ඉස්සර චිත්‍රපටයක් වෙනුවෙන් අපි මොනතරම් කැප වුණත්, මහන්සි වුණත් ඒ චිත්‍රපටය අනිවාර්යයෙන්ම තිරයේ දකින්නට ලැබෙනවා කියන බලාපොරොත්තුව අපට තිබුණා. ඒත් වර්තමානයේ චිත්‍රපටයක් කළාම ඒක ප්‍රදර්ශනය වෙයිද නැද්ද කියන්න බැහැ. ඒ අවදානමත් එක්ක තමයි අපි චිත්‍රපටවල වැඩ කළේ. මේ චිත්‍රපටයේ මගේ තරුණ බිරියගේ භූමිකාවට පණ පොවන්නෙ සිනමාවට අලුතින්ම එකතුවන අයිශ් (අයිශාරා) අතුකෝරල. ඇගේ හොඳකම හා කැපවීම නිසා මම ඇයට මගේ “මංගල තෑග්ග” ටෙලි මාලාවේ ප්‍රධාන චරිතයත් පිරිනැමුවා. “පැණි මකුළුවෝ” අද සමාජයේ හැමෝම නැරඹිය යුතුයි. ඒ මම ඉන්න නිසාවත්, අයිශ් ඉන්න නිසාවත් නෙවෙයි. ඒකෙන් කතාකරන සමාජ පණිවිඩය ඉතාම වැදගත්.”

සිනමාවේ කෝඩුකාරිය අයිශ් අතුකෝරලද ඇගේ චරිතය ගැන ඉස්මතු කරනවාට වඩා කැමති වූයේ සමස්ත චිත්‍රපටය තුළින් කතාබහට භාජනය කරන වස්තු බීජය ගැනය.

“මම නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන කෙනෙක්. මගේ සහෝදර නිරූපණ ශිල්පි දිනෙත් ද සිල්වා හරහායි මට මේ චිත්‍රපටයට සම්බන්ධ වීමේ වරම් ලැබෙන්නෙ. දිනෙත් ද මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනවා. තිර පිටපත කියවීමෙන් අනතුරුව මට තිබුණ ඊළඟ ප්‍රශ්නය, මෙහි සෙසු නළු නිළියන්ගේ සුසංයෝගය ගැනයි. මගේ සැමියාගේ චරිතය රඟපාන්නේ ප්‍රවීණ, සම්මානනීය නළු සනත් ගුණතිලක බව මට පැවසූ මොහොතෙම මේ චරිතය මම භාරගන්නා බව අදිටන් කරගත්තා. ප්‍රවීණයෙක් වෙන සනත්ගෙන් ලැබුණ සහයෝගය හා දැනුමුතුකම් මම අගේ කරනවා” අයිශ් කීවාය.

නවීන තාක්ෂණයේ ඇතැම් අවභාවිතය නිසා විනාශවන පවුල් සංස්ථා ගැනයි මේ චිත්‍රපටය සාකච්ඡා කරන්නෙ. වර්තමානයේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මෙයට තේමා වෙන්නෙ. තමන්ගේ සැමියන්ගේ දුරස්වීම් නිසා තම ජීවිතවල ඇතිවන තනිකමෙන් අයුතු ප්‍රයෝජන ලබාගන්නා කූට මිනිස්සුන්ගෙන් පරිස්සම් විය යුතු බවයි මේ චිත්‍රපටය තුළින් ලබාදෙන පණිවිඩය.

සෑම සැමියෙක්ම, සෑම බිරියක්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙසයි මම “පැණි මකුළුවෝ” දකින්නෙ. මගේ චරිතයට මම සාධාරණයක් ඉටුකර තිබෙනවාද නැද්ද කියන සාධකය තීරණය වෙන්නෙ ප්‍රේක්ෂක ප්‍රතිචාර මතයි. මගේ මුල්ම සිනමා රංගනයේ ප්‍රෙක්ෂක ප්‍රතිචාරත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.” අයිශ් සඳහන් කළාය.

Text — Ramesh Uvais

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00