2017 මැයි 06 වන සෙනසුරාදා

අපේ තාත්තා පැරඩයිස්වෙලා

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

අපේ තාත්තා පැරඩයිස්වෙලා

අලුත්ම ටෙලිනාට්‍යයක රූගත කිරීමක් පහුගිය දවස්වල කළුතර පැත්තෙ තිබුණලු.

ප්‍රවීණයො එක්ක වැඩ කරන්න එදා අලුත් රංගන ශිල්පියෙකුත් හිටියා. මේ අලුත් ශිල්පියා වචන 10ක් කතා කළොත් 5ක්ම බර ඉංග්‍රීසිවලින්ලු දාන්නෙ.

ඒත් ඒ ඉංග්‍රීසි වචන වෙලාවකට එයාටම තේරෙන්නෙ නෑලු.

ඔන්න එදා අධ්‍යක්ෂකගෙ ඥාතියෙක් ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙ නවත්තලා හිටියලු. ඉතින් නළු නිළියන්ගෙ දවසේ මාතෘකාව වුණේ ලෙඩරෝග.

“අපෙත් මල්ලි කෙනෙක් ඩෙංගු හැදිලා හොස්පිටල් හිටියා. එයාගෙ බැක්ග්‍රවුන්ඩ් එක බැහැලම ගියා...” අර අලුත් නළුවා කිව්වලු.

“බැක්ග්‍රවුන්ඩ් එක?” ප්‍රවීණ නළුවෙක් ඔහුගෙන් ඇහුවලු.

“ඔව් ඔව් බ්ලඩ් ටෙස්ට් පැය හතරෙන් හතරට ගත්තා. එතකොට තමයි බැක්ග්‍රවුන්ඩ් එක බහින බව දැනගත්තෙ...”

“ආ... ඒ කියන්නෙ බ්ලඩ් කවුන්ට් එකනෙ... අයියෝ...”

“මම මාසයක් එකදිගට අපේ තාත්තා ළඟ හොස්පිටල් හිටියා. එයා පැරඩයිස්වෙලා ඉන්නකොට,” අලුත් නළුවා ආයෙත් කියනවා.

“පැරඩයිස්? ඒ කියන්නෙ තාත්තා ස්වර්ගස්ථ වුණාද?”

“නෑ නෑ අයියෙ... එයා අංශභාගෙ හැදිලා හිටියනෙ..”

“අයියෝ පැරඩයිස් නෙවෙයි පැරලයිස්. දන්න සිංහලෙන් කතා කරනවකො මල්ලි...”

 

ඔබ සෙමට ආරාධනා

ශීත කෑම, විශේෂයෙන් අයිස්ක්‍රීම් සෙම අමාරු තියෙන අයට ගුණ නැති බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.

වැල්ලවත්ත ප්‍රදේශයේ ගහලා තියෙන විශාල බැනර් එකක් දැකලා මේ දවස්වල බොහෝ දෙනෙකුට හිනා යනවලු.

එම ප්‍රදේශයේ එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරලා තියෙන අයිස්ක්‍රීම් දන්සැලක් ගැනයි ඒකෙ සඳහන් වෙන්නෙ.

උඩින්ම පොල්ගෙඩි සයිස් අකුරුවලින් ගහලා තියෙන්නෙ “ඔබ සෙමට ආරාධනා” කියලා.

 

පැණි කකුළුවෝ

කලා ලෝකයේ කවුරුත් දන්නා සිනමා මාධ්‍යවේදිනියක් පහුගිය සතියේ ලොකු අකරතැබ්බියකට මුහුණ දීලා තියෙනවා.

දැන් ඇය කාන්තා පත්තරේක කර්තෘවරියක් ලෙසත් කටයුතු කරනවා.

කකුල බැන්ඩේජ් කරගෙන අත්වාරුවකින් තමයි ඔෆිස් එන්නෙ මේ දවස්වල.

බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. මෙයා ඔෆිස් එන අතරතුර “පැණි මකුළුවෝ” චිත්‍රපටයේ පෝස්ටර් වගයක් දැකලා. ඒකෙ සනත් වගේ කෙනෙක් ඉන්නවා දැකලා ළඟට ගිහින් බලන්න හිතිලා. ඔන්න ඔය වෙලාවෙ තමයි කකුල කාණුවක් අස්සට ගිහින් ඇඹරිලා තියෙන්නෙ.

කකුලට වෙච්ච ඇබැද්දිය නිසා දැන් මේ චිත්‍රපටය ගැන කතා කරන හැම වෙලාවෙම මෙයා කියන්නෙ “පැණි කකුළුවෝ” කියලලු.

 

මුල අමතක වුණ නිළිය

කාලෙන් කාලෙට ඕනෙම කෙනෙකුට නරක කාලයකුත් එනවනෙ. ඒවා ඉතින් නළු නිළියන්ටත් පොදු දෙයක්.
ඔන්න මේ තරුණ නිළියටත් එක්තරා කාලෙක වැඩ අඩුවෙන් තිබුණෙ. එක්තරා රූපවාහිනී නාලිකාවකට සම්බන්ධ යාළුවෙක් ඇයට වැඩ අරන් දෙන්න මහන්සිවෙලා ඇයව නැවතත් කරළියට ගෙනාවා.

ඊටපස්සෙ වෙනත් නාලිකා රැසක් එයාව හොයාගෙන ආවා. පස්සෙ පස්සෙ මෙයාට මුලින් අත දීපු නාලිකාවත් අමතකවෙලා, අලුතින්ම රියැලිටි එකට තෝරගත්තු නාලිකාවක් ගැන හැමතැනම පම්පෝරි ගහනවලු.

“මට මේ වගේ වැඩසටහන්වලට කොච්චරනම් ආරාධනා ලැබිලා තියෙනවද විවිධ ටීවී චැනල්වලින්. ඒත් මම ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළා. මේක සුපිරි වැඩක් නිසයි බාරගත්තෙ,” කියලා ඇය ළඟදි පත්තරේකටත් කියලලු.

 

නිළියො විකුණන් කන්න එපා

කලා ක්ෂේත්‍රය තුළ හොඳ දේවල් වගේම අනුමත කරන්න බැරි දේවලුත් සිද්ධවෙනවනෙ. ඒ වගේ වැරදි වැඩ දැක දැක ඇස් කන් පියාගෙන සමහරු ඉන්න නිසා තමයි, එවැනි වැඩ තව තවත් කරන්න ඇතැම් අය පෙළඹෙන්නෙ.

මෑතකදී රූපගත කෙරුණු එක්තරා ටෙලිනාට්‍යයක රඟපාන තරුණ නිළියකට ඒ නාට්‍යයේ සහාය අධ්‍යක්ෂකවරයා, තවත් අලුත් නාට්‍යයක රඟපාන්න ආරාධනා කරලා.

“නංගි මේ තියෙන්නෙ පිටපත. මමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ. මේකෙ නිෂ්පාදනය කරන්නෙ මගේ හොඳ යාළුවෙක්. අද හවසට මෙහෙ එයි වැඩි විස්තර කතා කරගන්න,” ඔහු කිව්වලු.

ඔන්න ටිකක් රෑ බෝවීගෙන එද්දි අර නිෂ්පාදකවරයා ආවලු.

“නංගි මේ තමයි නිෂ්පාදක මහත්තයා. යමුකො අපි අර කළුවරට ගිහින් කතා කරමු,” සහාය අධ්‍යක්ෂක කිව්වලු.

“ඇයි මොකටද කළුවරට යන්නෙ. මෙහෙම කතා කරමු.”

“අනේ නංගි ඔයාට තේරෙන්නෙ නැද්ද? මෙහෙම ඉඳලා ඔයාට බැහැ ලොකු තැනකට එන්න.”

අර නිළිය පිටපතෙන් සහාය අධ්‍යක්ෂකට දමලා ගහලලු.

ඔන්න බොලේ එදා ඉඳන් මේ නිළියට අර මනුස්සයා මාර කැපිල්ලක් දානවලු.

“අනවශ්‍ය දේවල්වලට එකඟ නොවුණම අපට වෙන දේවල් තමයි මේ,” අර නිළිය යාළුවන්ට කියලා.්‍

 

කැත වැඩ එපා හලෝ..

අපේ කලා ක්ෂේත්‍රය පෝෂණය කිරීම සඳහා මේ රටේ සියලුම ජාතීන්ගේ දායකත්වය නොමසුරුව ලැබී ඇති බව ඉතිහාසය පිරික්සීමේදී අවබෝධ වන කාරණයක්.

ඒත් ඉතිහාසය ගැන තියා භූගෝලය ගැනවත් දැනුමක් නැතුව මේ ක්ෂේත්‍රයට පා තබන ඇතැම් අලුත් අය කලාව තුළ භේදබින්න ඇති කිරීමේ පටු අරමුණක නියැලිලා ඉන්න බව ප්‍රවීණයෝ කීපදෙනෙක් අපට කිව්වා.

උදාහරණයක් හැටියට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක රියැලිටි වැඩසටහනකට සම්බන්ධ නවක නිළියන් දෙදෙනෙක් මෙයට සම්බන්ධ බවටයි ආරංචිය.

Text – Mithra