2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ජනවාරි 01 කොහොමද?

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 69

රෑ නවයෙන් පස්සේ සාදයක් දැම්මා

ජනවාරි පළවැනිදා මම අධ්‍යක්ෂණය කරන (පාර දිගේ) ටෙලිනාට්‍යයේ රූගත කිරීම් යෙදිලා තිබුණා. එදා ටෙලිනාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතාගේ සහභාගීත්වයෙන් අපි රූගත කිරීම් ආරම්භ කිරීමට පළමුව පොල්තෙල් පහන දල්වා වැඩ ආරම්භ කළා. එදා කිරිබත් ඇතුළු බොහෝ කැවිලි පෙවිලි සහිත තේ මේසයක් සූදානම් කරලා තිබුණා. (පාර දිගේ) ටෙලිනාට්‍යයට සම්බන්ධ බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම කාර්මික ශිල්පීන් එදා ඒ සුබ මොහොතට සහභාගි වුණා. රාත්‍රී නවය වනතුරු අපි (පාර දිගේ) රූගත කිරීම් කළා. ඊට පස්සේ පොඩි සාදයක් පැවැත්වුවා.

පාරදිගේ, නාඩගම්කාරයෝ, පාර වසා ඇත 
ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ
ජයප්‍රකාශ් සිවගුරුනාදන්

අලුත් ඉඩමෙ මුල්ගලක් තියන්න ඕනෑ

ජනවාරි 01 වැනිදා රූගත කිරීම් යෙදිලා තිබුණේ නැහැ. හැම වසරකදිම ජනවාරි පළවැනිදා උදෑසනම කිරි උතුරවා බුදුන් වැඳීම මම පුරුද්දක් විදිහට කරගෙන යනවා. මෙම නව වසරේදිත් උදෑසනින්ම අපි ගෙදර බුදුන් වැඳලා කිරි ඉතිරෙව්වා. එදා මම උදේ තේ මේසයට කිරිබත්, කැවුම්, කොකිස් ඇතුළු රසකැවිලි එකතු කළා. ඊට පස්සේ අපි අපේ කාර්යාලයට ගිහින් එහෙදිත් කිරි උතුරවා අපේ කාර්යාලයේ කට්ටියත් එක්ක උදෑසන තේ බිව්වා. ජනවාරි පළවැනිදා මම ආයෙත් පුරුදු කෑම පිසීමට ගියා. කාර්යාලයෙන් ගෙදර ඇවිත් මායි අම්මයි විශේෂ කෑමවේලක් සූදානම් කළා. හවස අපි කට්ටියම එකතුවෙලා පන්සල් ගියා. ඊට පස්සේ රාත්‍රී කෑමවේල ඇනවුම් කරලා ගෙන්වා ගත්තා. එදා අපි හැමෝම ගෙදර එකට ඉඳගෙන නව වසර සැමරුවා. මේ නව වසරේ (මුළු ලෝකයම සුවපත් වේවා) කියන පැතුම මගේ හිතේ තියෙනවා. අවුරුදු දෙකක් තිස්සේ අපි එක තැන නතර වුණා. ඒ වගේම පැලවත්ත ප්‍රදේශයෙන් අපි ඉඩමක් මිලදී ගත්තා. ඒකෙ ගොඩනැගිල්ලක් සෑදීමේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා මේ අවුරුද්දෙ ඒ ගොඩනැගිල්ලේ මුල්ගල තියලා යම් කොටසක් ඉදිකර ගන්න ලැබේවි කියන ප්‍රාර්ථනය මගේ හිතේ තියෙනවා.

නිමන්ති පෝරගේ
ජනප්‍රිය රංගන ශිල්පිනී


පවුලේ දෙසීයකට සහල් බෙදුවා

ජනවාරි පළවැනිදා රූගත කිරීම්නම් කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් ජනවාරි පළවැනිදා පවුල් දෙසීයකට සහල් බෙදුවා. අඩු ආදායම්ලාභී පවුල් දෙසීයක් තමයි අපි මේකට තෝරාගත්තේ. ප්‍රදේශ හතරකින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගොඩක් අඩු ආදායම්ලාභී පවුල් දෙසීයක තොරතුරු අපි ලබාගත්තා. ඒ අයට පවුලකට කිලෝ පහ බැගින් පවුල් දෙසීයකට සහල් ලබා දුන්නා. අවුරුදු දහයක් තිස්සේ කරපු ව්‍යාපෘතිත් එක්ක එවැනි මිනිසුන්ගේ තොරතුරු ලේඛනයක් අපිට තියෙනවා. ඒ අයට තමයි මේ සහල් ලබා දුන්නේ. දළුපොත ශ්‍රී ධම්මරතනාරාම විහාරස්ථානයේ කල්පේ ධර්මාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් තමයි මෙය පැවැත්වුවේ. ඒ කටයුත්ත නිසා මම වෙන වැඩක් ජනවාරි පළවැනිදාට යොදාගත්තේ නැහැ.

මිෂෙල් දිල්හාරා
ජනප්‍රිය රංගන ශිල්පිනී

පාන්දර එක වෙනකම් සින්දු කීවා

ලංකාවට කුමක් හෝ වසංගතයක් ආවාම මුලින්ම නතර කරන්නේ ප්‍රාසාංගික කලාවයි. අවසානයට පටන් ගන්නෙත් ප්‍රසංගයි. ඒ ප්‍රසංග පවත්වන්න පහුගිය අවුරුද්දේ දෙසැම්බර් අග දවස් කිහිපය තුළදී අපිට අවස්ථාව ලැබුණා. නමුත් ඒක යම්කිසි ක්‍රමවේදයකට වෙන්න ඕනෙ කියලයි මම කියන්නේ. ඒ වෙනුවෙන් යම් මාර්ගෝපදේශ තිබිය යුතු වෙනවා. අපි තවමත් ඉන්නේ අවදානමකයි. 2021 දෙසැම්බර් 31 වැනිදා Flashback සංගීත කණ්ඩායම කටුනායක ඇවිරිවත්ත BOI ක්‍රීඩාංගණයේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා. ඒක අපි පැවැත්වුවේ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි. ප්‍රසංගය එන්නත් මාත්‍රා දෙක සම්පූර්ණ කළ අයට පමණක් විවෘත වුණා. බොහෝ පිරිසක් ඒක නරඹන්න ඇවිත් හිටියා. අපි ජනවාරි පළවැනිදා පාන්දර එක වනතුරු ප්‍රසංගය පැවැත්වුවා. එක වනතුරු අවසරය ලබා දීලයි තිබුණේ. ඒ නිසා ජනවාරි පළවැනිදා Flashback සංගීත කණ්ඩායමත් එක්ක නව වසර ආරම්භ කළා. ඊළඟට අපි ගෙදර කිරිබත් කා පවුලේ අයත් එක්ක නව වසර සැමරුවා.

රොෂාන් ප්‍රනාන්දු
ගායන ශිල්පී සහ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම් නායක

සැනසීමක් ලැබෙන්න කියලා දෙවියන් යැද්දා

ජනවාරි පළවැනිදා ලබද්දි අපි ඉතාලියෙයි හිටියේ. මගේ ඥාති සහෝදරියක් ඉන්නවා ඉතාලියේ. ඒ නිසා 2021 අවුරුද්දේ නත්තල වගේම 2022 නව වසර මායි රුවනුයි ඉතාලියේ සැමරුවා. අපි ජනවාරි පළවැනිදා එහේ පල්ලියකට ගියා. ඒ වගේම ඒ රටේ ලස්සන තැන් බලන්න ගියා. එදාට ඉතාලියේ හැමෝටම හරිම සතුටු දවසක්. ගිනිකෙළි සංදර්ශන තිබුණා. ඒවා බලමින් ඒ දවස සැමරැවා. පාස්කු ප්‍රහාරය වගේම කොවිඩ් නිසාත් අපිට පහුගිය නව වසරවල් සැමරීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා කොච්චර සතුටු වෙන්න හැදුවත් පාස්කු ප්‍රහාරයෙන් නැතිවුණු මිනිසුන් ගැන දුක තවමත් අපේ හිතේ තියෙනවා. ඒ අයව මතක් කරලා අපේ ආගමේ හැටියට ඒ අයගේ ආත්මවලට සැනසීමක් ලැබෙන්න මම යාඥා කළා. ඒ වගේම කොවිඩ් නිසා ගොඩක් අය දුක් විඳිනවා. කන්න නැතුව ඉන්නවා. ඒ හැමෝටම දෙවියන් වහන්සේ ආශිර්වාදය ලැබේවායි මම එදා ප්‍රාර්ථනා කළා.

ෂෙරිල් ඩෙකර්
ජනප්‍රිය රංගන ශිල්පිනී

අටමස්ථානය වැඳගත්තා

පාස්කු ප්‍රහාරය වගේම කොවිඩ් වසංගතය නිසා වසර දෙකක්ම ප්‍රසංග පැවැත්වුවේ නැහැ. නමුත් 2021 අවුරුද්ද අවසාන දින කිහිපයේදි නැවතත් ප්‍රසංග පැවැත්වීමට අවසරය ලබා දුන්නා. ඒ නිසා 2021 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේදි හෝමාගම සංගීත ප්‍රසංගයකට මට ආරාධනා ලැබුණා. ඒ වෙද්දිත් මමයි බිරිඳයි මගේ අම්මයි තාත්තයි අක්කයි නංගියි අනුරාධපුරයේ අටමස්ථානය වැඳපුදා ගන්න යන්න තීරණය කරගෙනයි හිටියේ. ඒ නිසා මම හෝමාගම ප්‍රසංගයට බිරිඳත් එක්ක එක වාහනයක ගියා. පවුලේ අනිත් අය තවත් වාහනයක අනුරාධපුරේ ගියා. එදා හරියට ජනවාරි පළවැනිදා ලබද්දි අම්මලා රුවන්වැලි සෑය ළඟයි හිටියේ. අපි හිටියේ ප්‍රසංගයේ. ඉතින් ප්‍රසංගය ඉවරවෙලා මායි බිරිඳයි අනුරාධපුරේ ගියා. ජනවාරි පළවැනිදා මට දිගන ප්‍රදේශයේ තිබුණු කර්මාන්තශාලාවක උත්සවයකට ආරාධනාවක් ලැබුණා. ඒ නිසා ජනවාරි පළවැනිදා මම එයට සහභාගි වුණා. මාස ගණනාවකට පස්සේ ඒ කර්මාන්තශාලාවේ හිටපු ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මට අවුරුද්දේ පළමු දවසේම අලුත් බවක්, ලොකු ශක්තියක් ජීවිතයට ලබා දුන්නා. ඒ උත්සවය අවසන් කරලා නැවතත් මම අනුරාධපුරයට ඇවිත් අම්මලා එක්ක අටමස්ථානය වැඳපුදා ගත්තා. විදෙස් ගතවෙලා හිටපු මගේ බිරිඳ අවුරැදු දෙකහමාරකට පස්සේ මේ නව වසර අපිත් එක්ක සැමරීමත් මට විශේෂයක් වුණා.

සඳුන් පෙරේරා
ජනප්‍රිය ගායන ශිල්පී