2022 ජනවාරි 08 වන සෙනසුරාදා

රළු පරළු සුළං මැද ජීවිතය හොයාගෙන...

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 57

දුප්පත්කම මිනිසුන්ගේ ජීවිතවලින් කොච්චර දේවල් හරි නපුරු විදිහට උදුරා ගන්නවද? කොච්චර රළු විදිහට මිනිස්සුන්ගේ හිත් රිදවනවද? මිනිස්සුන්ගේ හීන බලාපොරොත්තු උදුරලා විසි කරලා දාන්න හදනවද? දුප්පත්කමත් මහා රළු සුළඟක් වගේ කියලා මට හිතෙනවා. ඒත් ඒ මහ රළු සුළඟ මැද්දෙන් පාර එළි පෙහෙළි කරගෙන ජීවිතයේ හීන බලාපොරොත්තු කරා කේන්ද්‍ර වන මිනිස්සු ඉන්නවා.

දුප්පත්කම මැද්දේ මිනිස්සුන්ගේ හිත් රිදෙන තැන් පිරිමදින්න පුළුවන් තරම් මනුෂ්‍යත්වයෙන් පිරිච්ච හිත් මේ ලෝකයේ හැම තැනකදිම අපිට මුණගැහෙන්නෙ නෑ. මම හිතන්නේ මනුෂ්‍යත්වය කියන්නේ කවදාවත් නිර්වචනය කරන්න බැරි හැඟීමක්.
ලෝකය ලස්සනට සරසන්න පුළුවන් මනුෂ්‍යත්වය එක්ක මුහුවෙච්ච හැඟීම්වලට. ඒත් ඒ මනුස්සකම් ජීවිතයේ ඇස ගැසෙන තැන්වලින් හුඟාක් ඈත බවයි දැනෙන්නේ.

Bumm Bumm Bole හින්දී චිත්‍රපටය තුළ කතා කරන්නේ දරිද්‍රතාවය මැද්දේ අනේක රිදුම් විඳින පුංචි පැටවුන් දෙන්නෙක්ගේ ජීවිතය ගැන.

ඒ අයියගෙයි නංගිගෙයි කතාව හුඟාක් සංවේදී කතාවක්. ඒ ජීවිතවල අඩුවක් නැතුව යමක් තියෙනවානම් ඒ වෙන මොකුත් නෙවෙයි දුප්පත්කම. දරුවෙකුට සමනල තටු රෝස පියවිලි අතරේ සරන්නට ඇති ළමාවිය රළු පරළු මහා වැඩ අතරේ ගෙවන්නට සිදුවීම තරම් ඛේදවාචකයක් තවත් නැහැ. ළමා කම්කරුවෙක් විදිහට ළමා වියේ අත්දැකීම් ලබපු කෙනෙක්, අත් දෙකේ කරගැට නැගෙන්න අත් දෙකින් වැඩ කරපු පුංචි එකෙක් දන්නවා ඒ වේදනාවේ තරම.

ඒ පුංචි දරුවත් එයාගේ තාත්තාත් එක්ක යනවා ගෙදරින් ගෙදරට කුලී වැඩ හොයාගෙන. ඒ හුඟාක් තැන්වලින් ඒ දරුවව සහ තාත්තව පන්නා ගන්නවා. සමහර තැන්වල පොහොසත් පුංචි පැටවු වැඩ කරන දිහා බල බලා ඒ දුප්පත් දරුවා ළමා කම්කරුවෙක් විදිහට ශ්‍රමය වගුරවනවා. මේ චිත්‍රපටයේ මුළු කතාවම දිව යන්නේ හරිම අනුවේදනීය ප්‍රස්තුතයක් මත.

ඒ පුංචි දරුවෝ දෙන්නට, අයියටයි නංගිටයි තියෙන්නේ එකම එක සපත්තු දෙකයි. ඒ සපත්තු දෙක නංගිගේ කකුල් දෙකට ලොකුයි. ඉතින් ඉස්සරහට රෙදි කැබලි ඔබලා තමා ඇය ඒ සපත්තු දෙක දාන්නේ. සුදු පාට ඒ සපත්තු දෙකේ සුදු පාටක් හොයන්න බැරි තරම් ඒ සපත්තු දෙක දුඹුරු පාටකට හැරිලා. නංගිට ඉස්කෝලේ තියෙන්නේ උදේ වරුවේ. අයියට ඉස්කෝලෙ තියෙන්නේ හවස් වරුවේ. නංගි උදේට ඉස්කෝලේ ගිහින් හවස සීනුව ගහනකම් පුදුම නොඉවසිල්ලකින් බලාගෙන ඉන්නවා.

ඒ ඇය විනාඩියක් හරි ප්‍රමාද වුණොත් අයියාට ඉස්කෝලේ යන්න වෙලා යනවා. ඉතින් ඇය පාසලේ අවසන් සීනුව නාද වුණු ගමන් එක හැල්මේ එක මොහොතකටවත් ගිම් නිවන්න නොනැවතී දුවගෙන එනවා. ඒ එද්දි අයියා රබර් සෙරෙප්පු දෙකක් දාගෙන මඟට ඇවිත් ඉන්නවා. නංගි එනකම් නොඉවසිල්ලෙන් අයියා බලාගෙන ඉන්නවා. ප්‍රමාද වුණොත් ඒ පුංචි අතට ගුටියක් වැදෙන හින්දා. ආව ගමන් නංගි සපත්තු දෙක ගලවලා රබර් සෙරෙප්පු දෙක දාගන්නවා. අයියා සපත්තු දෙක දාගෙන එක හැල්මේ ඉස්කෝලෙට දුවගෙන යනවා. එක දවසක් මෙහෙම දුවගෙන යද්දි නංගිගේ සපත්තුව ගලක හැප්පිලා ගලා යන වතුර පාරකට විසි වී වැටෙනවා. ඒ මොහොත හරිම සංවේදීයි.

තවත් දවසක නංගිට රූ පොරෝනය තුළ ගුලි ගැහී නිදාගෙන ඉද්දි ගොරවනා හඬ ඇහෙනවා. එදා අයියා සපත්තු දෙක හෝදලා වේලෙන්න තියලා තියපු දවසක්. ඇයට එකපාරටම මතක් වෙන්නෙ අර වේලෙන්න තියපු සපත්තු දෙක. ඇය අම්මට තාත්තට කතා කරනවා. ඒත් ඔවුන් නින්දෙන් ඇහැරෙන්නෙ නැහැ. ඇය අයියට කතා කරනවා. අයියා ඇහැරිලා අර වැස්සේ දුවගෙන යන්නෙ සපත්තු දෙක ගන්න. තවත් දවසක අයියට දේවස්ථානයක් ළඟ කුලී රුකියාවක් කර කර ඉද්දි සපත්තු දෙකක් හොරකම් කරනවා. හොරකම් කරගෙන ඇවිත් හංඟලා තියෙනවා

එදා රූ හීනෙන් එයා දකිනවා දෙවියන් ඇවිත් එයාට දොස් පවරනවා. පහුවදා උදේම එයා නැවතත් එයාගෙන්ම සමාව අයදිමින් අර හොරකම් කළ සපත්තු දෙක දේවස්ථානයේ පිවිසුම් ප්‍රවේශය ළඟට ගිහින් දානවා. හෘද සාක්ෂිය තරම් බලවත් අධිකරණයක් ලෝකයේ තවත් නැහැ. හෘද සාක්ෂිය ළඟ විනිසුරුවරයෙක් වී යුක්තිය පසිඳින මොහොතක පරාජිතයෙක් වෙන්න බෑ.

මේ සියලු හැලහැප්පීම් මධ්‍යයේ පාසලේ මැරතන් තරගයක් පැවැත්වෙනවා. එහි තුන්වැනියාට හිමිවන තෑග්ග තමයි සපත්තු යුවළක්. ඒත් මැරතන් තරගයට ඔහුව තෝරාගන්නෙ නෑ. ඔහු පාසලේ බිම හිඳගෙන ඔහුට අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලමින් හඬද්දි එක් කාරුණික කන්‍යා සොයුරියක් නිසා ඔහුට ඒ අවස්ථාව ලැබෙනවා. පොහොසත් සල්ලිකාර සපත්තු අතරේ අර දුප්පත් සපත්තු දෙක පයලාගෙන එදා දුවද්දි එක ළමයෙක් එයාව තල්ලු කරලා දානවා. ඒත් තුවාලවල වේදනාව ඉවසාගෙන ඔහු දුවනවා. අන්තිමේදි ජයග්‍රාහී ජයග්‍රාහකයා වෙන්නේ ඔහු.

සියල්ල අවසානයේ පළමු ජයග්‍රාහකයාට හිමි මුදල් ත්‍යාගයෙන් තාත්තා මේ අයියටයි නංගිටයි අලුත්ම ලස්සන සපත්තු ගේනවා. ඒ අයියයි නංගියි ජීවිතයේ සපත්තුවලට තරම් වෙන කිසිවකට ආදරය නොකළ තරම්. ඒ ඔවුන් වඩාත් රුදුරු කෙනෙහිලිකම් වින්ඳේ ඒ දෙන්නට සපත්තු දෙකක් නැතිකමට.

ජීවිතයේ මහා හීන බලාපොරොත්තු වෙනුවෙන් අඬන දඟලන අරගල කරන මිනිස්සු අතරේ පුංචි අහිංසක හීන වෙනුවෙන් අඬන මිනිස්සුත් කොච්චර ලෝකයේ ඉන්නවද?

සංජු