රාත්‍රී හතේ කණිසමට තව ඇත්තේ මිනිත්තු කිහිපයක් පමණි. සති අන්තයේ සෙනසුරාදාවේ වෙරළට පැමිණියෙමි. ඒ ගෙවෙන්නේ නිරිතදිග මෝසමයි. ගිමනක් නොමැතිව එක හඬින් හඬන සුළග ගෙන එන්නේ වෙරළේ නිශාන්තයේ අපූර්වත්වයයි. කළු වලාකුළු පිරුණු අහසේ බටහිරට වන්නට බේරුවල ප්‍රදීපාගාරය පෙනෙන ඉම තවමත් අහසේ අලෝකය රැඳී ඇත්තේ ඉතිරිව ඇති නිල් අහස නිසාවෙනි.
මා බෝට්ටුවක් මත හිඳ මහ සයුර දෙස බලා ඉන්නේ සතිඅන්ත සැඳෑවේ පාර්ශ්වකරුවන්ගේ විනෝදයයි. ආකාසයේ එකදු තරුවක් හෝ සොයා ගන්නට වෙහෙස දැරෑ මා නෙත වෙහෙසකර විරාමයකදී නතර වන්නේ ඈත බෙන්තර වෙරළ තීරය දක්වා සංචාරක නිකේතනවල දැල්වෙන විදුලි බුබුළු මතය. ගෙවුණු හැම දිනකම සැඳෑවේ නිරිතදිග මෝසම හේතුවෙන් මහ වැසි මේ වෙරළට ඇද හැලුණුමුත් අද වස්සානේ අඳුර, සුළඟ සහ වැසි ලකුණු මිස තවමත් මෙහි වැසි ඇද හැලෙන්නේ නැත. බේරුවල වරායෙන් නික්ම ගිය ධීවර යාත්‍රා ක්ෂිතිජයේ ඈත ආලෝකය දල්වා ඇත. එය තවත් දිවයිනක මිනිසුන් පිරි නගරයක් මෙන් ඈත දිස්වෙයි.
රළ බිඳෙන හඬ, සුළඟේ හඬ, සතිඅන්ත මිතුරන්ගේ විනෝදයේ හඬ මිසක මෙහි වෙනත් හඬක් නොමැත. ඈත ප්‍රදීපාගාරයේ නාවුකයන්ට පාර කියන විදුලි ආලෝකය අංශක 360 ක් කැරකී මා නෙත මත විටින් විට නතර වෙයි.
ප්‍රේමය පිළිබඳ වූ මතකයක් රළ මතින් විත් සිත් වෙරළ සිප ගනියි.
රළක් පසුපස රළක් එනවා
වෙරළ සිපගෙන යන්න යනවා
විටක කැළඹුණු චණ්ඩ වූ රළ
තවත් විටකදි නිසල වෙනවා
ආදරේ සයුරක් වගේ..! ඒ කලකට කලින් පහළ වූ සිතුවිල්ලක්. ප්‍රේමය සුනාමියක් වෙන්න කලියෙන් බොහෝ දෙනෙක් හිතන්නේ ඔහොමයි. ප්‍රේමය පිළිබඳ කවියෝ කවි ලියනවා හරි සුන්දර විදිහට, ප්‍රේමය වෙරළට යන එන රළක් විදිහට හිතාගෙන.
ඒත් සමහර වෙලාවට කවීන්ටත් ප්‍රේමය සුනාමියක්. එතකොට ඒ කවීන්ගේ කවි සිත් වුණත් හරිම රළුයි.
යනෙන රළ පෙළ සයුරෙ ඇති සැමදා
සයුර චංචල බවට උල්පත වෙරළ පවසනවා
නිසල වෙරළට සමව ජීවිතෙ හේදිලා යනවා
ආදරේ ජීවිතෙ පුරාවට නිතර යන එනවා
ජීවිතය වෙරළක් වගේ..!
ඔහොම හිතුණු දවස් මේ ලෝකේ ගොඩක් දෙනෙකුට ඇති. ඒත් සුනාමි හැමදාම එන්නේ නෑ. හැමතැනකම සයුර වෙරළ බිඳින්නෙත් නෑ. ඉතින් අපිට ප්‍රේමය, ජීවිතය පිළිබඳ ඕනෑ හැටියට කියවාගන්න පුළුවන්. ඒත් කවදාවත් පොදුවේ ඒ මොකක්ද කියලා අපිට එකඟ වෙන්න බෑ. ඇත්තටම ජීවිතය, ප්‍රේමය කියන්නෙ ඔය සාගරය වගේ විශාල රහස් ගොඩක් හංඟාගෙන ඉන්න තැනක්. අපි ඒ ගැන මොනවද දන්නේ.
දැන් නැවත නිවෙස් බලා යන්නට කාලය පැමිණ ඇත. මේ රාත්‍රියේ තවත් මෙහි රැඳෙන්නට ඇත්නම් අපූරුය. දැන් හතේ කණිසම පසුව ඇත. තවත් මෙහි රැඳෙන්නට ඇත්නම් අපූරුය. එහෙත් යා යුතුය. මේ මෝසමේ කෙළවර තවත් රාත්‍රියක ඇරඹුමයි.
ජීවිතයෙන් ඇසිල්ලක් සජීවීව ජංගමයේ Memo වක් ලෙසින් සටහන් කිරීම දැන් පුරුද්දක්ව ගොසිනි. ඉඳින් සබඳ මේ තව එවන් සජීවී ඇසිල්ලකි.
අවසානයේ යන ගමන් ප්‍රශ්නයක් අහන්නද?
ඈත ක්ෂිතිජය
මෑත වෙරළත
නිතර නිශ්චල
අතර මැද ඇති
සයුර නුඹ කිම
නිතර චංචල...