2022 ජනවාරි 22 වන සෙනසුරාදා

මනින්න බැරි එකම ආදරය අම්මා!

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 1004

මැක්සිම් ගෝර්කි කියනවා මේ ලෝකය හැදිලා තියෙන්නේ හිරුගේ කිරණින් සහ අම්මාගේ ස්නේහයෙන් කියලා. මේ ලෝකයේ මනින්න බැරි එකම ආදරය අම්මාගේ ආදරය කියලා ඔයා විශ්වාස කරනවද? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරය අඳුරන අම්මා කෙනෙක් කියන්නේ උපමා විරහිත අසමාන දෙයක් කියලා ඔයා විශ්වාස කරනවද? දරුවෙකුට ජීවිතය දෙන්න මනුෂ්‍යයෙකුට කරන්න පුළුවන් උපරිම පරිත්‍යාගය, කැපකිරීම කරන්නෙ අම්මා කෙනෙක්. දරන්න බැරි වේදනාවක් විඳින්නෙ අම්මා කෙනෙක්.

ඇත්තටම අම්මා කියන්නෙ හැමදාමත් අපූර්ව තිළිණයක්. මේ සොබාදහම මනුෂ්‍යත්වය තුළ නිර්මාණය කළ අපූර්වම ස්වභාවක්.

එහෙම අම්මා කෙනෙක් ගැන තමයි මේරි මා කියන හින්දී චිත්‍රපටයෙන් කතා කරන්නේ. 

දරු පැටවු හතර දෙනෙක් එක්ක ඒ අම්මා ජීවිතයේ කරන අරගලය හරිම සංවේදී විදිහට ඒ චිත්‍රපටය තුළ දිගහැරෙනවා. එහෙත් ඇයට ඒ ජීවන අරගලය ගෙනියන්න වෙන්නෙ තනියෙන්. ඇයට ආදරණීය ශක්තිවන්ත සැමියෙක් වෙනුවට දෛවය හිමිකර දෙන්නේ මහා දරදඬු රළු පරළු කිසිම ආදරයක් තෙතමනයක් නැති පිරිමියෙක්. ඇය දරුවන්ට කන්න බොන්න දෙන්නේ ගල් වැඩපොළක ගල් කඩලා. ඒ හම්බකරගෙන එන මුදලත් ඒ දරුවන්ගේ තාත්තා, නැත්නම් ඒ වදකාර සැමියා එන්නේ ඩැහැගන්න. ඔහුට මත්පැන් බොන්න මුදල් නොදුන්නොත් උයන වළං පිටින් පොඩි කරලා ඇයටත් අඩන්තේට්ටම් කරනවා.

ඇත්තටම ඇයට ජීවිතය කියන්නේ යුද පිටියක්. එහෙත් ඇය පුදුමාකාර ජවයකින් අභීතව ඒ යුදබිමේ සටන් කරනවා. සමහරවිට හැන්දෑ වෙද්දි මහා අව්කාශ්ඨකේ ගල් කඩලා ඇය ඉන්නේ පුදුමාකාර හෙම්බත්වීමක. ඇගේ ගතින් දහඩිය වෑහෙනවා. ඇගේ සිත රිදුම් දෙනවා. ඇත්තටම ඇගේ ආත්මයම මහා වේදනාවකින් හීල්ලෙනවා.

එහෙත් ඇය ඒ සියල්ල තමන්ගේ දරුවන් වෙනුවෙන් දරාගන්නවා. උයාගන්න බත් ටික බත් පිඬෙන් පිස ඇය දරුවන් හතර දෙනාට කවන්නෙ හුඟාක් වෙලාවට ඇගේ කුස හිස්ව තියෙද්දි. එහෙම තමයි අම්මලා. දරුවන්ගේ බඩ පිරෙද්දි අම්මලාගෙත් බඩ පිරෙනවා. ඒක මහා පුදුමාකාර හැඟීමක්.

මේ පවුලේ පුංචි පිරිමි දරුවන්ට තේරෙනවා අම්මා ජීවිතයත් එක්ක හැප්පෙන හැප්පිල්ල. එක පිරිමි දරුවෙක් ඉස්කෝලේ යන අතරතුර ඉස්කෝලේ ගමන මඟඇරලා යනවා කුලී වැඩ හොයාගෙන. ඒ අම්මට කීයක් හරි කාසි උපයලා දෙන්න. එහෙම යන දරුවා වැඩිමහල් පිරිමින්ගේ ගැරහුම්වලට අඩන්තේට්ටම්වලට ගොදුරු වෙද්දී දුප්පත්කම හින්දම ඒ ගැරහුම් වේදනාවන් ඒ පුංචි දරුවා ඉවසනවා.

දවසක් මේ අම්මා දැනගන්නවා තමන්ගේ පුංචි පුතා මේ විදිහට කුලී වැඩ කරන්න යනවා කියලා. එදා ඒ අම්මාගේ පපුවට දැනෙන්නේ පුදුමාකාර රිදුමක්. ඒ වේදනාවට ඒ අම්මා පුතාට හොඳටම ගහනවා. එදා තමයි ඒ අම්මා තමන්ගේ දරුවෙකුට ගහපු පළමුවැනි දවස. තමන්ගේ දරුවන්ට හැම දුක් වේදනාවක්ම උහුලගෙන උගන්වන එක තමයි ඒ අම්මාගේ ප්‍රාර්ථනය. ඒ නිසා තමයි අම්මා ඒ විදිහට දරුවාට ගහන්නේ. එහෙත් දරුවට ගහපු වේදනාව දැනෙන්නේ අම්මාට. පුතාගේ නිල් වෙච්ච අත පය තෙල් ගාලා පිරිමදින ගමන් ඒ අම්මා කියනවා පුතේ.. මේ දුකෙන් ගොඩ යන්න උඹ හොඳට ඉගෙන ගනින්. මම මහ අව්වේ ගල් කඩන්නේ උඹලව මේ දුප්පත්කමෙන් ගොඩ දාන්න.. ඒ හින්දා ඉස්කෝලේ පලයන් පුතේ.. මම උඹලට කොහොම හරි කන්න බොන්න ටික දෙන්නම් කියලා.

ඒත් මේ අම්මට එයාගේ දුවව අකාලයේම අහිමි වෙනවා. ඒ තමන්ගේ දඩබ්බර සැමියා එයාගේ කැමැත්තට දුවව බලහත්කාරයෙන් බේබදු පිරිමියෙකුට කසාද බන්ඳලා දුන්න නිසා. ඒ බේබදු සැමියාගෙන් අනේක දුක් ගැහැට විඳින ඒ දියණිය දරුවෝ දෙන්නෙකුත් මේ ලෝකෙට ඉතුරු කරලා මැරිලා යනවා. අන්තිමට ඒ දරුවන් හදාවඩා ගන්න වෙන්නෙත් අර දුප්පත් ආච්චිඅම්මට. ඒත් ඒ සියලු වගකීම් ඇය මහා පුදුමාකාර ආදරයකින් දෙවුර දරාගන්නවා.

අවසානයේදි ඒ දරුවන් නිසාම ඇය ජීවිතයේ දුක නිමා කරන පරිච්ඡේදයක් කරා ජීවිතය ගෙනියනවා.

ඇගේ මරණ මොහොතේ ඇගේ දරුවන්ට ඇයට දැනෙන්නේ මහා වීරවරියක් විදිහට.. තමන්ගේ ජීවිතයේ සියලු දුක් අහවර කර ගන්න පාර කියා දුන් දේවතාවිය විදිහට...

ඇත්තටම ඒ තමයි අම්මා..

වචන සුවහසකින් ලියලා ඉවර කරන්න බැරි

ජීවිතයේ අපූර්වතම පරිච්ඡේදයක් වෙච්ච අම්මා...

ගීතයකට කවියකට ලඝු කරන්න බැරි ප්‍රස්තුතය අම්මා..

ඔව් ඇත්තටම ඒ තමයි අම්මා!

 සංජු