2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ගී ලීලා - පෑ නීලා යන්න ගියා මැකිලා....

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 182

ගී ලීලා පෑ නීලා නොකියාම නොදන්වාම සමුගෙන ගොස් හමාරය. ඈත දුරු රටක නොදන්නා ආගන්තුක මිනිසුන් අතර හිඳ ඇය ජීවන කතාන්දරයේ මරණයේ සටහන නොසිතූ තත්ත්පරයක ලියා තබා යන්නටම යන්න ගියාය. සංසාර වීදියෙන් වීදියට ඇවිද යන භව ගමනේ හැටි එහෙමය.

එහෙත් වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ.. සදා මේ සංසාරයේ අපේ හමුවීම නොවේ.. යැයි ඈ ගැයූ ලෙසින්ම ඇය නීලා ලෙසින් යළි කවදාවත් මේ සසර සුවිසැරිය කෙළවර තෙක් අපට මුණනොගැසෙනු ඇත.

කොණ්ඩය පිටුපසට කර බැඳ ඔසරියක් හැඳ චාම් ලෙස සැරසුණු නීලාගේ රෑපකාය ටික කලකට ඉහතදී වෙනස්ම ස්වරෑපයකට පරිවර්තනය කළේ ඇයට වැළඳුණු පිළිකා රෝගය හේතුවෙනි. ඒ ජීවිතයේ ඇය අත්විඳි අනේක අප්‍රමාණ හැල හැප්පීම් මැද එක් වේදනාත්මක අත්දැකීමක් පමණි. ළදැරියකව සිටි අවධියේදී ඇය පෝලියෝ රෝගයට ගොදුරුවීම නිසා සුව නොවෙන කකුලේ ආබාධයකින් සැමදාමත් පෙළුණාය. එහෙත් ජන මන පිනවන හඬක් හිමි නීලාවෝ වේදිකාවට නඟිද්දී නැගුණු මහා අත්පොළසන් හඬ ඇයට හැමදාමත් ඇගේ පාදයේ ආබාධය අමතක කරවීය. වේදිකාවෙන් බැස යද්දී ද ඇය සිනාමුසුව එපරිදිම වේදිකාවට සමු දුන්නාය. මහ පොළොවක් සේ අකම්පාව බොහෝ දුක් වේදනා කම්කටොලු ළය ලෙය විනිවිද දැනෙන මහා හයියකින් දරාගන්නට ගැහැනියකට නිසඟයෙන්ම උරුම ශක්තිය ඇය ළය මඬලේ ද කුමන මාත්‍රාවක් තුළ හෝ කැටි වී තිබෙන්නට ඇත.

මිහිඳුම් සළු තිර පැළඳි නමුනකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට (ගීපද - බණ්ඩාර කේ. විජේතුංග)

ආදර ගීතය එක්ව ගැයුවද, භව ගමනේ තේමා ගීතය එක්ව ගයනු නොහැකිය. නියත දහමට අවසඟව යන කිසිත් මෙදියත නැත.

මාස්ටර් සර් මගේ හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ..

නීලා ගීතාවලිය හුදෙක් ආදරය, ප්‍රේමය, වියෝව ආදී අතිශය සංවේදී මානවීය මනෝභාවයන් සංකේන්ද්‍රණය කරගත් ප්‍රස්තුත වපසරියක් තුළ පමණක් ලඝු වූයේ නැත. සමාජීය ප්‍රශ්න, විවිධ දිශානතීන් කරා විහිදුණු දාර්ශනික ආකල්ප ඈ ගැයූ ගී තුළ සම්මිශ්‍රණය වී තිබුණි.

ඔබ ගෙදර එන්න
පහන් තරුව පායන විටවත්
ඔබ ගෙදර එන්න
කම් නැත මගෙ කුමරුවනේ
දෑස දුම් වෙලා තිබුණට
මුව තැවරුණ දුම සුවඳයි
නිදිබර සුසුමෙන් සුසුමට
ආ ගිය තැන් නාසන්නෙමි
සංකා නොම ගන්න... (ගී පද - අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න)

දෙවියනි එවන් බිරින්ඳෑවරු ලොව සිටිත්දැයි ප්‍රශ්නාර්ථය නඟන ඒ ප්‍රශ්නාර්ථ ඔස්සේ ගැඹුරු සංවාද නිර්මාණය කළ ගී ඇය වරෙක ගැයුවාය. 
තවද සුමට ලෙස හදවතේ ගැඹුරුම තැන් පිරිමැදි

සදා උකුලු තල මා සුව යහනත
තොලගින් මැතිරෑ නැලවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට
නිදිකරවා මා ඔබ තුරුලේ (ගී පද - ප්‍රියානන්ද විජේසුන්දර) 

වැනි ගී ද ඈ ගී සක්මනේ හිඟ නොවිණි.
තාත්තා කෙනෙක් නැති අම්මාත් අක්කාත් සිටි ගෙදර ගී අසන්නට නීලාට දැරිවියක සන්ධියේදී ගෙදර රේඩියෝවක් තිබුණේ නැත. ඈ ගී ගුරුවරිය වූයේ ඇගේ අක්කාය. නන්දා මාලනියගේ ගී අසන්නට ප්‍රිය කළ නීලාගේ ගී මන දොළ සංතෘප්ත කළේ අක්කාගේ මුවින් ගැයුණු ගීය.

1950 මාර්තු 30 වැනිදා කැස්බෑව කෝඳුරුවාවේ උපන් ඇය 2022 ජනවාරි 17 වැනිදා ඉතාලියේ මිලානෝහිදී ජීවන ගමන නිමා කළේ ගැයූ ගී සමුදායක සේම ජීවන අත්දැකීම් සමුදායක ද හිමිකාරිනියක ලෙසය. පිළියන්දල විද්‍යාලයේ ඉගෙන ගන්නා සන්ධියේ සිසුවියක ලෙස පණ්ඩිත් අමරදේවයන් ඉදිරියේ කවියක් ගයන්නටත් අමරදේවයන්ගෙන් පැසසුම් ලබන්නටත් වරම් ලද නීලාවෝ වින්සන්ට් සෝමපාල සහ ආනන්ද ජයසිංහ යන සංගීත ගුරුවරුන් යටතේ සංගීතය හැදෑරුවාය.

ගුවන්විදුලියේ ආධුනික පැය වැඩසටහනෙන් තම හඬ ප්‍රථමව ගුවනට මුසු කළ නීලා ඉනික්බිති සමයක ගුවන්විදුලියේ පළමු ශ්‍රේණියේ ගායිකාවක ලෙසත්, සංගීත විශාරද උපාධිය ලද ගුරුවරියක ලෙසත් සංගීත ස්වර අතර දිගු ගමනක නිරත වූවාය. ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය තුරන් කිරීම සඳහා සංවිධානය කෙරුණු වැඩසටහන් සහ දැන්වීම්වලටද පෙනී හිඳිමින් සමාජ සේවා කටයුතු සඳහා ද උරදුන් ඇය ප්‍රබුද්ධ ගී යුගයක් ලෙස නම් ලද 70 දශකයේදී සරල ගී ගායිකාවක ලෙස වඩාත් ස්ථාවරව තම ගමන් මඟේ පියවර මැන්නාය.

ඉතාලියේ මිලානෝහිදී ඇය කොන්සල් ජෙනරල් තනතුර ලැබීම තරම් නීලා දරුණු විවේචන ලද වෙනත් අවස්ථාවක් ඈ ජීවිතයේ නොතිබෙන්නට ඇත. හෘදයාබාධයකින් ජීවිතය හැර යන්නටත් ප්‍රථම ඇයට ජීවිතය ගැන කම්පාවක් දනවන්නට ඒ දරුණු විවේචන හේතු වන්නටත් ඇත. එදා හෘදයාබාධය වැළඳි මොහොතේ දැනුණු වේදනාවටත් වඩා වේදනාවක් ඒ දරුණු අසංවේදී විවේචන ඇගේ පපුව රිදවන්නට ඇත. මල් ඉස සනසන්නට පැකිලෙන, ගල් ගසා හදවතින් හෝ මරන්නට නොපැකිලෙන කරුම සමාජයක උපන් අකුසලය බොහෝ ශ්‍රී ලාංකිකයන් සේම නීලා ද ඉතාලියේ කොන්සල් ජෙනරාල් ධූරයේ වගකීම දෙවුර දරාගත් දවස් හත තුළ අප්‍රමාණව අත්විඳින්නට ඇත.
එහෙයින් එක් අතකින් ඒ නික්ම යාම ඇයට සැනසිලිදායක සතුටක්ම වී දැයි දන්නේ නිදහස ලද ඇගේ විඥානය පමණි.

ඕනෑ නෑ අන් කිසිවක් මිහි මත
පාරාදීසය මෙහි ඉදිවී ඇත
මානවිකාවෙනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවන් මුසු කරලනු මැන...
එවන් පාරාදීසයක - ඔබ නවතින්න

නැවතී හිනැහෙන්න...
නීලා ගොසින් එන්න
එහෙත් නැවත මෙහි නොඑන්න!

සොඳුරු මිනිසුන් අතර සොඳුරු දේශයක යළි උපදින්න!

 සංජීවිකා සමරතුංග