හදිසියේ අපූරු තැනක අපූරු මොහොතකට තනිවුණා. මහ මුහුදේ ක්ෂිතිජය දිහා බලාගෙන හිටියාම අදහාගන්න බැරි දසුනක් නෙත් මායිමේ ඇඳෙන්නේ. වෙනම රටක්ද මේ පේන්නේ. වෙලාව රෑ දහයත් පහුවෙලා. මම දැන් ඉන්නේ මුහුදු කරේ වෙරළ මායිමේ (බන්ට්) එක්ක පඩිපෙළක වාඩිවෙලා. මේ මොහොතක විස්තර කරන්න පහසු නම් නෑ. ඇත්තමයි. මොනවද ඒ ක්ෂිතිජ රේඛාවේ එක පෙළට පේන එළි. මොහොතක් ඉවසන්න. මම කියන්නම්.
යාළුවෙක්ගේ පොඩි වැඩකට යන්න මේ රෑ එළියට බැස්සේ. කන්ද උඩ පාරෙන් දාලා නගරය පැත්තට යන ගමන් හිටියේ. හදිසියේම මිත්‍රයාට ඇමතුමක් ආවා. තවත් මිත්‍රයෙක් බස් එකෙන් බැහැලා නගරයට වෙලා ඉන්නවා ගෙදර යා ගන්න බැරුව. අපි කල්පනා කළා. “මම (බන්ටෙක) ගාව ඉන්නම් උඹ ඌ දාල වරෙන්...”
නිධාන කතාව කීවේ මේ දැහැනට කමටහන් ලැබුණු හැටි තේරුම් ගන්න. පොඩි සීතලක් තියෙනවා අද නම්. ම්...ම්...ම්... මේ තමා සීත දුරුත්ත. චූටි චූටි සුළං දැල් එතෙනවා මගේ වටේ. අඳුර තමා හතර අතේ රජ කරන්නේ. මහ මුහුදේ ආක්‍රමණය නවත්වන්න දාපූ ගල් වැටිවල වැදිලා රළ බිඳෙනවා සුදුපාටට. ඒ හඬ එකතු කරන්නේ වෙනම තාලයක් මේ මොහොතකට. තප්පරයක් දෙන්න... මම ඇස් දෙක වහගන්නවා.....
රැළි අපිට දොස් කියනවාද මන්දා, මේ ගල්වැටියේ හැපිලා. නිදහසේ වෙරළ සිපගන්න ආපු මහ මුහුද කියන පෙම්වතාට පෙම්වතියගේ ගෙදරින් පවුරක් බැඳලා. වස් කවියක් නම් නෙවෙයි මට හිතෙන්නේ... සමුද්‍ර ඝෝෂ විරිතෙන් ලියපු වියෝ ගීතයක් තමා මහ මුහුද ඔය ගායනා කරන්නේ. කෝ ඒ ගීය නිදහසේ අහන් ඉන්න නෑනේ ඉතින් ඉස්පාසුවක්. කන්ද උඩ පාරේ වාහන එක දෙක යනවා විටින් විටේ. අද දැහැනට නම් බාධා එමටයි.
මේ පඩිපෙළ බැහැලා පහළට යන්න හිතයි. මම පහළට ගිහිල්ලා (බන්ට්) එක දිගේ ඇවිද ගෙන ගියොත් වෙල්මාවේ තියෙන ප්‍රදීපාගාරයේ විදුලිඑළිය බලාගන්න පුළුවන්. ඒත් ඕනේ නෑ. මිත්‍රයා එන්න පුළුවන් තව ටිකකින්. ක්ෂිතිජ රේඛාවේ විදුලි එළි ගැන කතාව කියන්න ඕනෑ මිත්‍රයා එන්න කලින්. පොරොන්දුව වුණානේ මම. මොකක්ද මේ පේන්නේ? වෙනම රටක්ද?
මේ කාලේ මාළු මිලයි සෑහෙන්න. ආ... මේ ගමන ආපු මිත්‍රයත් එක්කම ඊයෙ මම ධීවර වරායට ගියා. වෙනදා තරම් කලබලයක් නැති නිසා මම ඇහුවා ඇයි කියලා. මේ ටිකේ ලොකු බෝට්ටු අඩුවෙන්ලු එන්නේ. බල මාළු කිලෝවක තොග මිල රුපියල් අටසීයක් නවසීයක් වෙනවලු. ම්..ම්..ම්... මොනවා මේ මාළු කතා. මේ රාත්‍රියට ගැපෙන්නේ නැති දේවල් නේද? ආ... අර ක්ෂිතිජය රේඛාවේ පේන එළි ගැනනේ කතා කළේ. ඒ තමා අද හවස මාළු අල්ලන්න ගිය බොට්ටුවල විදුලි එළි.
මේ තැනට ආපු පළවෙනි රාත්‍රිය නම් නෙවෙයි මේ. ඒත් කිසිම දවසක මේ තරම් එළිදැකලා නෑ. ඇත්තමයි නොදැන ඕනෑම කෙනෙක් හිතයි ඒ පේන්නේ තවත් ගොඩබිමක් කියලා. ඒ එළි දිහා බලාගන්න ඉන්න ඕනෑ. එක තැන වගේ පෙනුණට ආන්න සමහර එළි එහාට මෙහාට යනවා. සමහර එළි සුදුපාටයි. තවත් සමහර එළි කහ පාටයි. සමහර එළි ලොකුයි. සමහර ඒවා පොඩියි. ආන්න එළියක් වේගෙන් එක පැත්තකට යනවා. ඒක ගොඩ එනවද දන්නේ නෑ. ම්...ම්... එහෙම වෙන්න බෑ. මේ බෝට්ටු ගොඩ එන්නේ පාන්දරටනේ.
තාම එකොළහවත් වෙලා නෑ. මිත්‍රයා තාම නෑ. ඒ පමාව ගැන නම් අමනාපයක් නෑ මනාපයක් මිස. හ්ම්ම්.... ආ අමතක වුණා මම හිතන්නේ මාළු මිල හින්දා තමා රන් අස්වනු හොයන්න මෙච්චර බෝට්ටු අද ගිහිල්ලා තියෙන්නේ. නැත්නම් මාළු අයිනක් නැති විශාල. අනේ මන්දා මේ කතාව අද කතාව ධීවරී ගීතයක් වෙන්න යනවද මන්දා. කමක් නෑ පොඩි වෙනසකටත් එක්ක.
සීතල නම් පොඩ්ඩක් වැඩි වෙනවාද මන්දා. අහසේ නම් වලාකුළුද කොහෙද තරු නම් විතරයි අද. හඳ පායලා තියෙන්නේ මුහුදු පැත්තෙන් නෙවෙයි කන්දේ පාර පැත්තෙන්. ඒ නිසා මගේ ඉස්සරහා වැඩිහරිය අන්ධකාරය බිලි අරගෙන. (බන්ට්) එකේ දකුණු පැත්තට වෙන්න තියෙන්නේ සංචාර හෝටල්. අනෙක් වම් පැත්තේ තමා ධීවර වරායට යනකල්ම තියෙන්නේ ධීවර කර්මාන්ත අදාළ දේවල් තමයි.
දන්නවද ඔය බෝටුවක යන්නේ දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක්. ඒ ඈත එකපෙළට පෙණුනාට ඔය බෝට්ටු තියෙන්නේ එකින් එකට සෑහෙන්න දුරින්. අපි ක්ෂිතිජ රේඛාවේ තැන් තැන්වල ඔය එළි පෙණුනට. ඇත්තටම ඒක ක්ෂිතිජය වගේම මායාවක් තමා. වෙනදා තරම්ම අද නම් හිත සංසුන් නෑ. අකමැත්තෙන් වුණත් ඒක කියන්න ඕනෑ. බයික් එකක් ගියා උඩපාරේ මම හිතුවේ මිත්‍රයා කියලා.
ම්..ම්... ඔය බෝට්ටුවක රෑක තනිවෙලා මේ සීතලේ දැලක් පිත්තක් කරගෙන මේ බිඳෙන රළවලට ඔරොත්තු දෙන්න මට පුළුවන් වෙයිද? මම හිතන්නේ නෑ. ඒ වැඩේ අපිට ලේසි වෙන එකක් නෑ. මම හිතන විදිහට ඒක ලෝකයේ තියෙන අවදානම්ම රස්සාවක්. මේ කාලේ නම් මුහුදු සංසුන්. ඒත් වාරකන් දවස්වලවල මේ ගමන කොහොමට ඇතිද? හිත එක එක ප්‍රශ්න අහනවා මගෙන්. ඒත් ඒවට නිශ්චිතව උත්තර නෑ මට.
දැන්නම් පරක්කුයි. ආපු වැඩේ කරනවට වඩා ගෙදර ගියොත් තමා හොඳ. කෝ මේ මිත්‍රයා තමා නෑනේ... දැන් සංසුන් හිත දැහැන බිඳිලා ආයේ එතෙන්ට යන්න අමාරුයි. ඒත් මුහුදු සුළං කරදිය සුවඳ හොඳට දැනෙනවා. මම නැගිටිනවා මෙතැනින්.
පසුව ලියමි... මම නැගිටලා උඩහට ආවා. මිනිත්තු පහක් විතර යද්දී මිත්‍රයත් ආවා. පස්සේ අපි ගෙදර ආවා. මම පොඩි වීඩියෝවක් කළා එතැනදී ඒකනම් හරියට පේන්නේ නෑ. ම්..ම්... දැන්නම් වෙලාව හරි නිදාගන්න. හෙට උදේ වැඩ.
I නිසල්