තමන් කැමති විදිහට Films වගේ හීන දකින්න ආසද? ඒ හීනවල තමන්ට කැමති දේවල් කරන්න කැමතිද? නින්දෙන් අවදු වුණාමත් හීන මතක තියාගන්න ඕනද? එහෙම හීන දකින්න පුළුවන්ද? ඔන්න මචෝ අද සීන් එක ඒ ගැන. එහෙනම් කට්ටිය පොඩ්ඩක් රිලැක්ස් වෙලා අද කතාවට අහගෙන ඉන්නකෝ.
මෙහෙමයි මෑතකාලීනව හීන ගැන අමුතු Y Trend එකක් Hit වෙලා තියෙනවා. ලෝක මට්ටමින් එක්තරා පිරිසක් මේ ගැන ලොකුවට සීන් එක කතාබහට ලක්වෙනවා. සරලව කියනවා නම් “හීන පාලනය” තමා මාතෘකාව. සෝෂල් මීඩියා ඇතුළේ පොඩ්ඩක් Search පාරක් දැම්මොත් මේ සීන් එක ගැන කොච්චර පිරිසකගේ අවධානය යොමුවෙලා තියෙනවාද කියලා සුදාලට තේරෙයි. Lucid Dreams කියලා තමා මේ සීන් එක හඳුන්වන්නේ. Trend එක අලුත් වුණාට මේක අදක ඊයේක කතාබහ කරන්න පටන් ගත්තු මාතෘකාවක් නම් නෙවෙයි වස්තු. ඒ නිසා Trend එක ගැන කතා කරන්න කලින් සීන් එකේ ඉතිහාසය, විද්‍යාව පැත්තට ලාවට සරලව ගලපන්නම්.
ඉතිහාසය ගත්තාම තමන් සිහින දකින බව දැනගැනීමට සිහින දකින්නාට ඇති හැකියාව වර්ධනය කිරීම සවිස්තරාත්මකව වැඩිපුර කතා තියෙන්නේ පෙරදිග දැනුම් පද්ධතිය ඇතුළේ තමා මචෝ. පැරණි ඉන්දියානු හින්දු යෝගා නිද්‍රා සහ ටිබෙට් බෞද්ධ සිහින යෝගවල මේ සීන් එක පැහැදිලිව කතාකරලා තියනවා. මේ වැඩේ ප්‍රගුණ කිරීම කාලෙක බෞද්ධ සම්ප්‍රදායකුත් වෙලා තියෙනවා. ඔන්න සීන් එක ගැන පොඩි ආඩම්බරයක් ආවනේ සුදාලට. චුට්ටක් ඉන්න, අපි විතරක් නෙවෙයි වස්තු පුරාණ ග්‍රීක ලේඛනවලත් මේ සංසිද්ධිය ගැන කතාකරලා තියනවා කියලා ඓතිහාසික සාක්ෂි හම්බ වෙනවා. වැඩිය ඕනේ නෑ, ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල් පවා මේ ගැන කතා කරලා තියනවා.
සරලව කිව්වොත් වර්තමානයේ Lucid Dreams කියලා කියන්නේ සිහින දකින්නා තමා සිහින දකින බව දැනගෙන දකින සිහින වර්ගයක්. තවත් විස්තර කළොත් මචෝ සිහිනයක් ඇතුළේ සිහිනයෙන් දකින්න සිහින චරිත, සිහිනයේ ආඛ්‍යානය සහ පරිසරය සම්බන්ධ යම් පාලනයක් ලබාගන්න Lucid Dreams වලදී පුළුවන්. ඔන්න සමහරුන්ට මේ කතාව කිව්වාම කරකවලා අතහැරියා වගේ ඇති හරිය. ඒත් සිරාවට මේ හැකියාව ඔයා උපතින්ම අරගෙන ආපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ නැතත් අද අපි කතාකරන මේ Trend එක ඇතුළේ ඔයාට මේ හැකියාව පුරුදු කරලා ලබාගන්නත් පුළුවන්.
මේ සිහින සම්බන්ධ විශාල විද්‍යා පරීක්ෂණ ප්‍රමාණක් සිද්ධවෙලා තියෙනවා. මේවා ගැන විවිධ මත ඉදිරිපත් වෙනවා. කොහොම වුණත් ඉතා හොඳ මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීම් තියෙනවා අද වෙනකොට Lucid Dreams ගැන. අපි ඒවා ගැන ගැඹුර කතා කරන්නේ නෑ. කැමති නම් සුදාලට හොයා බලන්න පුළුවන්. කොහොම වුණත් විද්‍යාඥයින් Lucid Dreams හොඳ අරමුණු සඳහා භාවිත කිරීමට පටන් අරගෙන තියනවා. අපි මුලින්ම කිව්වානේ මේක පුරුදු කරලා කරන්න පුළුවන් දෙයක්. අන්න ඒ නිසා මානසික ආතතිය, කාංසාව සහ වෙනත් මානසික ගැටලුවලට මේ හරහා විසඳුම් දෙන්න මනෝ විද්‍යාඥයන් මේ වෙනකොට උත්සාහ කරනවා.
දැන් සුදාලා ප්‍රශ්නයක් ඇති කොහොම මේක Trend එකක් වෙන්නේ කියලා. හරි අපි ඒ කතාවත් සරලව කියන්නම්. හීන සම්බන්ධ හරි සංවාදායක් කවදාවත් ලෝකේ තිබ්බේ නෑ. හීන සම්බන්ධ විවිධ සංස්කෘති ඇතුළේ එකිනෙකට වෙනස් කතා මත තිබුණා. පොදුවේ ගත්තම ලොකු කුතුහලයක් තමා හීන ගැන මනුෂ්‍ය වර්ගයාට තිබුණේ. ඕ... ඕ... සමා වෙන්න ඕනෑ තාමත් එහෙමයි. ඒත් අන්තර්ජාලය වගේ විශාල දැනුම් අවකාශයක් නිර්මාණය වුණාම මිනිස්සු හීන ගැන වැඩි හොයන්න ගත්තා. හීනවල විද්‍යාත්මක පැත්තත් එළියට ආවා. මේ අතර තමා Lucid Dreams ගැන කතාවත් කරළියට ආවේ.
මේ ගැන හරි දැනුමක් නොතිබ්බත් යාන්තම් හරි හීනයක් පාලනය කරපු අත්දැකීම් තියෙන මිනිස්සු ලෝකයේ හිටියා මචෝ. ඔන්න ඒ එක්කම ඒ අත්දැකීම Blog, Vlog වගේ දේවල් භාවිත කරලා කට්ටිය Share කරගත්තා. මීට දශකයට විතර උඩදී තමා මේ වැඩේ මෙහෙම පටන් ගත්තේ. ඒ වගේම සිහින ගැන සාහිත්‍යය පුවත් පොත් පවා නිර්මාණය වුණා. විශේෂයෙන්ම සිනමාව නූතන Lucid Dreams Trend එකට ලොකුවට බලපෑවා. පස්සේ YouTube ඇතුළු සමාජ මාධ්‍ය ඇතුළේත් මේ සංවාද පටන් ගත්තා. ඔන්න මේ එක්කම Lucid Dreams වල විද්‍යාත්මක පැත්තත් සමාජ ගත වුණා. මෑත කාලීනව Lucid Dreams දකින උගන්වන්න ගුරුවරු සයිබර් ලෝකේ වගේම සැබෑ ලෝකයෙත් බිහිවුණා. ඉතින් ඔහොම තමා මේක Digital ලෝකේ පට්ට Trend එකක් වෙන්නේ. ඒ වුණත් සුදෝ එක දෙයක් කියන්න ඕනෑ. මේ හීන සීන් එක ගැන විද්‍යාත්මක සංවාද සියවස් දෙකක් තුනක් පරණයි හරිය.
දැන් ඔන්න සුදාලා බලන් ඉන්නේ අනේ මටත් එහෙම හීන දකින්න පුළුවන්ද කියලානේ. හරි අපි Tips ටිකක් දෙන්නම්. හැබැයි මේක අපි කිව්ව පළියට කරන්න යන්න එපා. හොඳ දැනුමක් වගේ අවබෝධයක් ඇතුව කරන්න ඕනෑ වැඩක්. මොකද අපි මේ ගනුදෙනු කරන්නේ තාමත් කිසිම විද්‍යාවකට හරියට තේරුම් ගන්න බැරිවුණු මනස කියන විස්මිත ඉන්ද්‍රියත් එක්ක. ඒ නිසා පරිස්සමට හරිය.
පළවෙනි දේ තමා රාත්‍රියේදී ඔයා කැමැති සිහිනයක් දකින්න අවශ්‍ය නම් දිවා කාලයේදී ඔයාගේ මනසෙන් ඒ ගැන දකිමින් පුහුණු වෙන්න ඕනේ මචෝ. මොකක්ද ඔයා මේ සීන් එක විශ්වාස කරන කල් ඔයාට මේ වැඩේ කරන්න බෑ. Lucid Dreams ගැන හොයලා බලන එකට අමතරව ඔයා දකින්න යන හීනය ගැන පරිසර ගැන චරිත ගැන මෙනෙහි කිරීමක් කරන්න ඕනෑ. ඒ වගේම සිහින දිනපොතක් තබා ගැනීමත් වැදගත්. ඔයා අවදි වුණු ගමන් ඔයාගේ සිහිනය ලියන්න. එතකොට ඔයාට ඒවා අමතක වෙන්නේ නැහැ. ලිව්වට මදි මචෝ දවල් වරුවේ වගේම රෑට නින්දට යනකොටත් ඒක කියවලා නින්දට යන්න පුළුවන් නම් වැඩේ ලේසියි.
කොහොම වුණත් වස්තු වැදගත්ම දේ තමයි හීනයකදී ඔයා මේ දකින්නේ හීනයක් කියලා අවබෝධයක් තියාගන්න එක. ඒකට හීන ඇතුළේ යථාර්ථය පරීක්ෂා කරලා බලන්න වෙනවා සුදාලට. ඒකට චූටි චූටි උපක්‍රම තියෙනවා. හරිම සරලයි. හැබැයි අපි කියලා දෙන්නේ නෑ. ඒක හේතුව තමයි අපේ Y Trend එක විතරක් කියලා මේ වැඩේ කරන එකට අපි කැමති නෑ සුදෝ. මේ ගැන හොඳ අවබෝධක් ලබාගන්න Lucid Dreams ගැන සුදාලට හොයලා බලන්නම වෙනවා. Reality Check එක මේ වැඩේට පට්ට වැදගත්.
හීන කියන්නෙ සාගරයක් වගේ විෂයයක්. අපි ඒකේ චූටි සීන් එකක් තමා සුදාලට අරගෙන ආවේ. මේ විදිහට හීන දකින්න උත්සාහ කරන අය දැන් ලෝකයේ ගොඩක් ඉන්නවා. ඒකට හේතුව අර අපි කිව්වා වගේ Lucid Dream කියන්නේ මේ වෙනකොට පට්ට Y Trend එකක්. ඉංග්‍රීසි භාෂාවෙන් වගේම සිංහලෙන් වුණත් මේ පිළිබඳ අන්තර්ජාලයේ ඕනෑතරමක් තොරතුරු තියෙනවා. වෙලාවක හිමිහිට හොයලා බලන්න සුදෝ. ඕන්න එහෙනම් අපි අදට සමුගන්නවා.
සුභ සිහින පෙනේවා...!
I නිසල්