පුදුමාකාර හමුවීම් පුදුමාකාර වෙන්වීම් බවට පත්වෙනවා ජීවිතයේදී.. ඒ සමුගැනීම්හි වේදනාවන් කාලය හුඟාක් දුරකට අරගෙන ගිහින් ඈතකට විසිකරනකම් ජීවිතයේ නොරිදෙන තැනක් දවසක් ගැන අත්දැකීම් කෙනෙක්ට ජීවිතයේදී ලබන්න පුළුවන්. ඒ වේදනාවන් ඈතකට විසිකර දැමුවත් එතැන ඇතිවෙන හිස්තැන තවත් රිදුමක් විදිහට ජීවිතයේ දැනෙන්න පුළුවන්.. මේ කියන්නෙ එහෙම කතාවක් ගැනයි..
ඩියා.. හින්දී චිත්‍රපටය තුළ කතා කරන්නේ හමුවීම සිහිනයක් සේ දකිමින් ඒ හමුවීම තුළ හිමිවීම පැතූ ආදරයක ශෝකාන්තය ගැන.
ඇය ඔහු දකින්නේ විශ්වවිද්‍යාලය තුළදී. ඒ දුටු මොහොතේ පටන් ඔහු තමයි ඇයගේ සිහිනය. ඒ සිහිනය තුළ තැවරිලා තියෙන්නේ පුදුමාකාර රොමාන්තික සුන්දරත්වයක්.
ඒත් සරසවිය තුළ ඔහු දකිද්දි ඔහුගේ දෙනෙත් දෙසවත් බලනු නොහැකිව ඇය පැකිලෙනවා. ඒත් ඇය සිහින දකින්නෙම ඔහු එක්ක වචනයක් කතා කරන්න. ඔහුට තමන් හඳුන්වා දෙන්නෙ කොහොමද කියලා ඇය පාඩම් පොත පැත්තක තියලා පුරුදු වෙනවා... ඔහුට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්.. ඔහු ඇඳ සරසවියේ පුවරුවක දාලා තියෙන චිත්‍ර ඇය සොරාගෙන ගෙදර අරගෙන ගිහින් ඒවා දිහා බලාගෙන ඉන්නවා.. ඇත්තටම ඇය ඔහුට ආදරය කරන්නෙ පිස්සුවෙන් වගේ..
දවසක් ඇය අද මම කතා කරනවාමයි කියලා සිතාගෙන ඔහු එනකම් පඩිපෙළක් පාමුල බිම හිඳගෙන බලාගෙන ඉන්නවා... අන්තිම ළමයත් යන්න යනවා. ඒත් ඔහු නෑ. ඇය යනවා ඔහුගේ පන්තියට... ඇය සිසුවියකගෙන් ඔහු ගැන අහනවා. ඒ අහන්නේ ඔහුගේ නැතිවුණු චිත්‍ර පිට්ටනිය ළඟ වැටී තිබී හමුවුණා... ඒවා දෙන්න ආවා කියලා ඒ චිත්‍ර පෙන්වමින් ඇය කියනවා. ආය ඔහු එන්නෙ නෑ.. ඔහු ඉංජිනේරැවරයකු වශයෙන් කොරියාවේ රැකියාවකට ගියා කියලා.. ඇය කියනවා. ඇගේ හිත ගිනි ඇවිලෙන්නේ ඒ මොහොතේ.. එදා පටන් ඇය ජීවත් වන්නේ වචනයෙන් කියන්න බැරි පාළුවකින්..
ලස්සනම දේ තමා ඇය සේම ඔහුත් ඇය ගැන මේ විදිහටම හීන දැක තියෙනවා. එහෙත් ඔහුට ඒ ආදරය කියාගන්න බැරුවයි ඉඳලා තියෙන්නේ.. ඔහු කොරියාවට ගියත් රාජකාරි වුවමනාවක් හදාගෙන බොම්බායට එනවා. ඒ ඇවිත් නවතින්න වෙන්කර ගන්නේ ඇය සිටින මහල් නිවාසයේ ඇගේ නිවසට ඉදිරිපස ගෙදර.. ඒ හමුවීම අහම්බයක් නෙවෙයි.. කියාගන්න බැරුව ලතැවුණු අප්‍රකාශිත ආදරය ප්‍රකාශිත යථාර්ථයක් බවට පත්වන්නේ බොම්බායේදී සිදුවූ ඒ හමුවීමේදී..
එහෙත් ඒ ආදර ගංඟාව ගලාගෙන යද්දි දවසක් නොසිතූ විදිහට ඔවුන් රිය අනතුරකට පත් වෙනවා.. ඔහු මොළයේ දරුණු අනතුරකට ලක්වෙනවා. වෛද්‍යවරුන් කියන්නේ ඔහුගේ මොළය මියයාමේ අවදානමක් ඇති බව.. ඔහුගේ සොයුරිය සිටින්නේ සිංගප්පූරුවේ. ඇය තම සොයුරාව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරැවට රැගෙන යනවා.
ඩියා සනීප වෙද්දි අහනවා ඔහු ගැන ඇගේ තාත්තාගෙන්. තාත්තා කියනවා ඔහු මියගිය බව. ඇයට එයා දරාගන්න බෑ.
ඒ වේදනාව ඇයට දරාගන්න අසීරුම වේදනාවක් වෙනවා.. ඇය ඇත්තටම හැසිරෙන්නෙ පිස්සියක් වගේ... ඒ නිසාම ඇගේ පියා ඇයව එම පරිසරයෙන් ඈත්කර ඔහුගේ ඥාති සොහොයුරියක් ළඟ නතර කරනවා. ඇය වරක් වේදනාව දරාගන්න නොහැකිව සියදිවි නසාගන්න උත්සාහ කරනවා..
වේදනාවන් සම්මිශ්‍රණය වූ හුදෙකලාවක් තුළ ගලාගෙන යන ජීවිතයේ එක් තැනකදි ඇයට එක්තරා තරුණයෙක් හමුවෙනවා.. ඔහු ටිකෙන් ටික මිතුරෙක් සේ ඇයට ළංවෙමින් ඇයව මානසිකව ටිකෙන් ටික සුවපත් කරනවා... එහෙත් කාලයක් යද්දි ඒ මිත්‍රත්වය ආදරයකට හැරෙනවා..
මේ අතර අවුරුදු ගණනාවකට පසු සිංගප්පූරැවේ ප්‍රතිකාරවලට ගිය ඔහු ආයෙමත් බොම්බායට එනවා.. ඇය දන්නෙ නෑ ඒ වනතෙක් ඔහු ජීවතුන් අතර බව.. ඒ මොහොතේ ඇගේ ආත්මයම තිගැස්සෙනවා... ඇය එදා තරම් ඇගේ ආධ්‍යාත්මයන් සමඟ කවදාවත් අරගල කරලා නෑ. අර තරුණයා කියනවා ඩියා ඔයා එයා ගාවට යන්න මම හිත හදාගන්නම් කියලා.. ඒත් ඔහුටත් ඒ සමුගැනීම දරාගන්න බෑ..
ඇගේ විවාහය දවසේ ඔහු යනවා ඇය බලන්න.. ඒත් ඒ විවාහය කියන්නේ ඇගේ සතුට නෙවෙයි. ඇය අවසානයේ ඇය අතින් ඔහු මියගියා යැයි සිතා සිටි අතීතය පුරා සිදුවූ සියල්ල ඔහුට කියනවා. මේ අතර ඔහු ඇයට කියනවා දෙදෙනෙක් දුකින් ඉන්නවාට වඩා එක්කෙනෙක් දුකින් ඉන්න එක හොඳයි.. ඔයා යන්න ඔයාගේ ආදරය සතුට ඔයා ඉල්ලන තැනට කියලා...
ඇය යනවා ඔහු හොයාගෙන. ඒ යද්දි ඔහුට ඔහුගේ මව අහිමිවෙලා.. ඒ ඔහුගේ මවගේ අකමැත්තෙන් ඔහු බොම්බායට ගිය ගමන ඇයට ඉවසාගන්න බැරුව හෘදයාබාධයක් ඇවිත්.. අවසානයේ ඇගේ ජීවිතය කලක් සුවපත් කළ ඔහු තීරණය කරනවා ජීවිතය හැරදා සියල්ලෙන් නිදහස් වන්න.
ඔහු කෝච්චි පාරකට වී කෝච්චිය එනතුරු බලා සිටිනවා.. ඇය ඒ මොහොතේ ඔහුගේ නම කියමින් කෑගසනවා.. ඒත් ඔහු අදහාගත නොහැකිව හැරී බලන ඒ මොහොතේ කෝච්චිය ඔහුව පහුකරගෙන යනවා.
අහිමිවීම ඒ තරම් රුදුරු විදිහට මිනිස්සුන්ට රිදවන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරිවෙන්න පුළුවන්.. ඒත් ඒ තමා ජීවිතය... දෙන්නෙ මොනවද? දීලා නැවත ඉල්ලාගන්නෙ මොනවද? දන්නෙ නෑ මේ ලෝකයේ කවුරුවත්. ඇත්තටම ඒ තමා ජීවිතයේ හැටි.
සංජු