ත්‍රිරෝදයෙන් එක්කගෙන ගිය තරුණිය මහ රෑට මා ඇහැරවනවා
(1) මගේ ගම ගාල්ල. මම රස්සාව විදිහට ත්‍රීවිල් හයර් කරලා කීයක් හරි හොයාගන්නවා. මේක මට ටික කාලෙකට කලින් වෙච්ච සිද්ධියක් වුණත් මේකෙන් මම තවම දුක් විඳිනවා. දවසක් කරාපිටිය රෝහල ළඟදී තරුණ ජෝඩුවක් මගේ ත්‍රිරෝදයට අත දාලා ඇහුවා කළුතරට යන්න පුළුවන්ද කියලා. ලොකු හයර් එකක් නිසා මාත් එකපයින් කැමති වුණා. ජෝඩුව නංවාගෙන මම ත්‍රිරෝදය පදවන්න ගත්තා. මාත් එක්කත් ටිකක් කතා කළා. තරුණියගේ සුන්දර සිනහවත්, ආදර බස්වලින් සහ තරුණයාගේ නෝක්කාඩු කළුතර දක්වා යන ගමනේ මහන්සිය අඩුකළා. යන අතරමඟ ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු කන්දරාවම එක මිටට රෝද තුන උඩ ඔවුන් දිගහැරියා සේ මට දැනුණා. ඔවුන්ගේ හැසිරීම මාවත් මීට වසර හත අටක අතීතයකට රුගෙන ගියා. ඒ ඇසෙන වදන්වලින් මෙම දෙදෙනා බඳින්න ඉන්න තරුණ ජෝඩුවක් කියලා මට හිතුණා.
මතක විදිහට අම්බලන්ගොඩ බලපිටිය හරියෙන් වගේ එද්දී අමුතු අමුතු සද්ද වගේ ඇහෙන්න ගත්තා. විසිල් සද්දයක් වගේ ඇහුණත් මං ඒක වැඩිය ගණන් ගත්තේ නෑ. කොහොමහරි කළුතරට පැමිණ තරුණියගේ උපදෙස් මත නොදැනීම අතුරු මාර්ගයක ගිහින් ගෙයක් ළග නැවතුවා. එතකොට වේලාව සවස 6.30 පසුවෙලා මයෙ හිතේ. අඩ අඳුරේ තිබුණු සාමාන්‍ය ගෙයක්. ත්‍රිරෝදයේ හඬ ඇසී නිවෙසේ ඉදිරිපිට එළියක් දැල්වුණා.
“අයියේ මං ගාව සල්ලි මදි. තාත්තාගෙන් ඉල්ලල ගෙනත් දෙන්නම්. ටිකක් ඉන්න.”
බෑගයත් අරන් තරුණ ජෝඩුවම ගේ ඇතුළට ගියා. ඒත් එක්කම අඩ අඳුරේ තිබූ ගෙදර දැල්වුණු එළිය එකවර නිවුණා. මඳ වේලාවක් සිටියත් නැවත කිසිවකු එළියට ආවේ නෑ. බලාඉන්න බැරි තැන මම ගෙදර ගිහින් දොරට තට්ටු කළාම පිරිමියෙක් ඇවිත් දොර හැරියා. ඔයාගෙ දුව වෙන්න ඇති ගෙදර ආවා මාත් එක්ක. සල්ලි ගේන්නම් කියලා ගේ ඇතුළට ගියා. මම ආයෙ ගාල්ලට යන්න ඕනෑ. මට මගෙ හයර් එක දෙන්න. මගේ ඉල්ලීමෙන් බලා ඉඳිද්දීම ඔහුගේ මුහුණ රතු වුණා.
“මොන දුවෙක්ද?”
“ඇයි මේ දැන් ආවෙ තව පිරිමි ළමයෙක් එක්ක?”
“මහත්තයෝ ඔයා මාව විහිළුවකට ගත්තාද?” ඔහු මගෙන් ඇසීය.
“මට පරක්කු වෙනවා මගෙ හයර් එක දෙන්න.” මම ඉල්ලුවා.
අපි දෙන්නාගෙ සංවාදෙ ඇහිලා අල්ලපු ගෙදර මනුස්සයාත් වැට පැනලා ආවා. පස්සේ ඔහු ගේ ඇතුළට ගිහින් මල් මාලයක් දාපු ඡායාරූපයක් අරන් ඇවිත් මට පෙන්නුවා. මට මුකුත් හිතාගන්න බැරිවුණා. ඊට ටික වෙලාවකට කලින් හයර් එක ආපු තරුණිය ඒ ඡායාරූපයේ හිටියා. පස්සේ ඔහු මට හයර් ගාස්තුවට වැඩියෙන් සල්ලිත් අතට දීලා පරිස්සමෙන් යන්න කියලා කිව්වා. මම පුදුම අමාරුවෙන් ආයෙ ගාල්ලට ආවෙ. මේ සිද්ධිය මට හීනෙන් පේනවා. තනියම මතක් වෙනවා.මේ තරුණිය මට කතා කරනවා වගේ දැනෙනවා. ඒ තරුණ ජෝඩුවගේ සංවාද මගේ මනසේ දෝංකාර දෙනවා. ඊටපස්සෙත් තරුණ ජෝඩු හයර් යන්න කතා කරද්දී රස්සාව නොකර බැරිකමට ගියාට මට මේ සිද්ධිය මැවි මැවී පේනවා. මේ සිද්ධිය මතක් වෙලා මම සමහරදාට මහ රෑට හීනෙන් බයවෙනවා. මේක මට හිසරදයක්.
කැළුම් - ගාල්ල
පිළිතුර
මෙය සිතිවිලි සහ සංවේදන වෙනස්වීම්වලින් එන මානසික තත්ත්වයක්. ඒ තත්ත්වය තුළ මේ වගේ අමුතු අමුතු දේවල් දැනෙනවා , හිතෙනවා සහ එවැනි දෑ ඔවුන් කරනවා. මෙම ගැටලුවේ හැටියට කරන්න සුදුසු හොඳම දේ ආසන්නම සුදුසු තැනකින් මනෝ වෛද්‍ය උපදෙස් ලබාගැනීමයි.
සායන උපදෙසින් අම්මයි නෝනායි ගෝරි
(2) අපි විවාහවෙලා අවුරුදු හයකට පස්සෙ අපිට පුංචි පුතෙක් ලැබුණා. අපේ ගෙදර ඉන්නේ මමයි මගෙ නෝනයි බබයි අම්මයි තාත්තයි. බබාට දැන් මාස දෙකයි. මගේ අම්මා හැමතිස්සේම දරුවාගේ අඩුපාඩු කියනවා. නහය, අත්, කකුල් ඇදයි, කන් ඇකිලිලා ඔළුව දිගයි වගේ එක එක දේවල් කියනවා. ඒ නිසා ඒවා අතගාලා හදන්න කියනවා. ඒත් මගේ නෝනා ඒ දේවල් කරන්න කැමති නැහැ. එයා කියන්නේ එයාලට සායනවල උපදෙස් දීලා තියෙන්නෙ එහෙම හදන්න එපා කිව්වා කියලයි. ඒත් මේ ප්‍රශ්නය නිසා අම්මයි නෝනායි දෙන්නා හැමදාම රණ්ඩු වෙනවා. අම්මලව තනියම දාලා අපි දෙන්නාට වෙනම ගෙදරක යන්නත් බැහැ. මට දැන් මේ ප්‍රශ්නය මානසික ගැටලුවක් වෙලා. මට දෙන්නාගෙන් එක පැත්තක්වත් ගන්න බැහැ. මම මොකක්ද කරන්න ඕනෑ.
හසරංග - අනුරාධපුර
පිළිතුර
මෙම ප්‍රශ්නයෙන් පැහැදිලි වන්නේ නැන්දම්මා ලේලි අර්බුදයේ එක් පැතිකඩක්. නැන්දම්මා කියන දේ ලේලි පිළිගන්න කැමැති නෑ. ලේලි කියන දේ නැන්දම්මා පිළිගන්න කැමැති නෑ. ඔබ කළ යුතු හොඳම දේ අම්මාත් බිරියවත් දෙන්නාවම ළමා සායනයට කැඳවාගෙන ගොස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව ලවා ඔවුන් ඉදිරිපිටදීම දරුවාගේ කටයුතු කරන නිසි පිළිවෙත පැහැදිලි කර දීමයි. එවිට මවටත් වෛද්‍ය උපදෙස් පිළිබඳ අවබෝධයක් ලැබෙයි. එහෙත් තවදුරටත් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් මව ගැටුම් ඇති වන ආකාරයේ කටයුතු කරනවා නම් මවට වෙනමම මනෝවෛද්‍ය සායනයකින් ප්‍රතිකාර කිරීමට සිදුවෙයි. ඔබ මැදිහත් වී මෙම ප්‍රශ්නය විසඳන්න කටයුතු කරන්න. සැමවිටම නිසි වෛද්‍ය උපදෙස් පිළිපදින්න.
වැරදියට හිතයිද බයයි
(3) මට වයස අවුරුදු 25යි. ගෙවල් දෙකේම මවුපියන්ගේ කැමැත්තෙන් ආශිර්වාදයෙන් මගේ පෙම්වතා එක්ක ගිය අවුරුද්දේ විවාහ ගිවිස ගත්තා. විවාහ උත්සවය තියනකම් අපි දෙන්නා අපි දෙන්නාගේ ගෙවල්වලම දැනට ඉන්නවා. විශ්වාසය අපි දෙන්නාටම ලොකු හයියක් වුණා. මම ආසයි ඇවිදින්න යන්න. ඉතින් අපි ගොඩක් ඇවිදින්න ගියා. මම එයා ළඟ ඉඳිද්දී හිතේ නිදහසේ සැනසීමේ ඉන්නවා. එයා මට ගොඩාක් ආදරෙයි. එයා මාව ගොඩාක් පරිස්සම් කරනවා. මට එයා ළඟ ඉඳිද්දී මුළු ලෝකෙම ලැබුණා වගේ දැනෙනවා. ඒත් දැන් මට බබෙක් හම්බවෙන්න ඉන්නවා. දැන් මාස එකහමාරක්. අපි දෙන්නාගේ විවාහ උත්සවය තිබුණෙ නැති නිසා අපි දෙන්නාටම මේ ගැන අම්මලා තාත්තලා කාටවත් කියන්න බැහැ. එයාලා අපි ගැන වැරුදි විදියට හිතයිද කියලා අපිට බයයි. මට ලොකු බයක් දැනෙනවා මම ගැනම. අපේ දරුවා අපිට නැතිකරගන්නත් බැහැ. අපි දෙන්නම දැන් මානසිකව වැටිලා ඉන්නේ. හැකි ඉක්මනින් අපේ ගැටලුවට විසඳුමක් දෙන්න.
කසුනි - පානදුර
පිළිතුර
ඔබ යොමුකර ඇති ප්‍රශ්නය අනුව වෙනත් විකල්පයකට ඔබ සූදානම් නැත්නම් මෙම ගැටලුවට තිබෙන ප්‍රායෝගිකම විසඳුම වන්නේ ඔබට විශ්වාසවන්ත ඔබේ සමීපතමයකුට මෙම ප්‍රශ්නය පහදා දී විවාහ උත්සවය ඉක්මන් කරගන්න. නොපමාව විවාහය සඳහා කටයුතු කරන්න.
(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න.)
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.
ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රැකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්.
ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com
සංස්කාරක,
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.
I සසංක චලන ගිම්හාන