ආදරය දැනෙන තැනක හිත නවතිනවා... ආදරය නොදැනෙන තැන්වලින් අපි අපිටත් නොදැනීම දුරස් වෙනවා... දුරස් වෙන්නට නොහැකි තැනක ලිස්සා නොලිස්සා යමින් ඔහේ ජීවත් වෙනවා... එය ජීවත්වීමකටත් වඩා හුදෙක් රැඳීමක් පමණයි..
සංස්කෘතිය ඇතුළේ ආදරයට නිශ්චිත නිර්ණායක තිබුණට ආදරය ඇතුළේ ආදරයට නිශ්චිත නිර්ණායක කොන්දේසි නෑ... ගනුදෙනුවක් නොවී මානවීයභාවයක් පමණක්ම වී දැනෙන කල ආදරය කියන්නේ කොන්දේසි විරහිත බැඳීමක්.
ගිම්හාන ගීතය කියවද්දිත් මගේ හිත ඔහේ හුඟාක් තැන්වලට ඉගිල්ලිලා ගියා. ගිම්හාන ගීතය සිංහලයට පරිවර්තනය කළේ රන්ජිත් කුරුප්පු.. ඇත්තටම එය අමුතුම ගැහැනියකට ආදරය කරන සාමාන්‍ය පිරිමියෙක් ගැන කතාවක්... ඒ වගේම ඔහු කිසිවිටෙකත් අපේක්ෂා නොකළ අතීතයක් හිමි ගැහැනියක් පිළිබඳ කතාවක්...
ඔහුට ඇය මුණගැසෙන්නේ අහම්බයක් විදිහට... වෙලාවකට හිතෙනවා ජීවිතයේ සිදුවන සියල්ල අහම්බයන් ලෙස පෙනී සිටින එහෙත් කිසිදු ලෙසකින් අහම්බයන් නොවන සංසාර නිශ්චිතයන් කියලා...
ගිම්හාන ගීතයේදී හමුවෙන ගැහැනියගේ ජීවිතයට ළංවෙන්නේ ඇයට වඩා අවුරුදු පහළොවක් වයසින් බාල පාසල් ශිෂ්‍යයෙක්. දවසක් පාසල් ඇරී ගෙදර යද්දි ඔහුට වමනය යන්න එනවා... ඔහු වමනය දාද්දී ඔහුට උපකාර කළ ගැහැනිය තමා ඇය.
එදා ඒ හමුවීම අහම්බයක්. ඒත් ඒ අහම්බය ඔවුන්ගේ ජීවිත නොහිතන දුරකට රැගෙන ගියා. ඔවුන් අතර තිබුණේ ප්‍රේමයක්ද? ආදරයක්ද? කියන එක කවදාවත් ඔවුන් දෙදෙනාටවත් ලිහාගන්න බැරි ප්‍රශ්නයක් වුණා. ඒත් ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනා මඟහැරෙන හැම තැනකදිම මහා වේදනාවක්, පාළුවක්, සාංකාවක් හිතට වද දෙන්න පටන් ගත්තා. ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනා ප්‍රශ්න කරන්න පටන්ගත්ත හැම තැනකදිම ඔවුන් දෙදෙනාගේ සිතුවිලි ඇවිලෙන්න පටන් ගත්තා. ඒ නිසාම කවදාවත් ඔවුන් - ඔවුන්ව ප්‍රශ්න නොකර සිටීමේ සම්මුතියකට ආවා...
එහෙත් හිටපු ගමන් දවසක ඇය ඒ නගරය හැර යනවා... ඔහු කාලයක් ඇයව හොයනවා. ඒත් අවසානයේ ඇය ඔහුගේ ජීවිතයේ රැඳුණු මතකයක් පමණක් බවට පත්වෙනවා. නීති ශිෂ්‍යයෙක් ලෙස අධ්‍යාපනය ලබමින් සිටින ඔහුගේ ජීවිතය ආදරය නමින් ඔහු විසින්ම නිර්වචනය කර ගත්ත හුඟාක් තැන්වල නතර වුණත් ඔහුගේ යටි සිත සෑමවිටම සොයන්නේ ඔහුට ආදරයේත් රාගයේත් අ යන්නේ ඉඳන් අන්තිම අකුර දක්වා සියලු අක්ෂරයන් මැනවින් උගන්වාලූ ඇයයි. ඒ නිසාම ජීවිතයේ හමුවන හැම ගැහැනියක් තුළින්ම ඔහු ඇයව දකින්න ප්‍රිය කරනවා. ඒ නිසාම අවසානයේ දියණියකද ලද පසු ඔහුගේ විවාහ ජීවිතයත් බිඳී යනවා.
ජීවිතය මේ විදිහට ගලාගෙන ගලාගෙන යද්දි වරක් ඔහුට අහම්බෙන් ඇයව මුණගැහෙනවා. ඒ ඔහු නීති නීති ශිෂ්‍යයෙක් ලෙස කටයුතු කරමින් සිටියදී උසාවියේදී. ඇයගේ එතෙක් සැඟවූ අතීතයේ සියලු රහස් ඔහු දැනගන්නේ ඒ හමුවීමෙන් අනතුරුවයි. ඇය නාසි වධකාගාරයක ආරක්ෂක නිලධාරිනියක් ලෙස කටයුතු කළ කෙනෙක්. ඒ වගේම ඇය ඔහුට සැඟවූ තවත් රහසක් තමයි ඇය අකුරු ලියන්නට හෝ කියවන්නට නොදන්නා කෙනෙක් වීම. ඇය නාසි වධකාගාරයක සේවිකාවක් බවට පත් කරන්නේත් අන්න ඒ හේතුව විසින්මයි. ඇත්තටම ඒ හේතුව එක් අතකින් හරි මානුෂවාදී හේතුවක්. කෙසේ හෝ අවසානයේ ඇය සිරකාරියක් බවට පත්වෙනවා. ඇය එහිදී අකුරු ඉගෙන ගන්නවා. කවදාවත් ජීවිතයේ කිසිවක් වෙනුවෙන් බලා නොසිටි ඇය ඔහුගෙන් ලියුමක් එතැයි බලා සිටිනවා.
කෙසේ හෝ අවසානයේ වසර ගණනාවකින් පසු සිරගෙදරින් එළියට එන ඇයට නවතින්න නිවසක් හා රැකියාවක් ඔහු සොයා තැබුවත් ඇය ඒ කිසිවක් පිළිගන්න යළි මේ සමාජයට එන්නෙ නෑ. සිරගෙදරින් එළියේ ලෝකයට එන්නට තිබූ දින උදෑසන ඇය බෙල්ලේ වැල දාගෙන සියදිවි නසා ගන්නවා... ඉන්පෙර එක් දිනක් පමණක් සිරගෙදරට ඔහු පැමිණෙනවා... එදා ඇය ඔහුගෙන් අහනවා ඔබගේ ජීවිතය ඇතුළේ අල්පමාත්‍රයක හෝ ඉඩක් මා වෙනුවෙන් තියෙනවාද කියලා. ඔහුගේ උත්තරය නැහැ කියන එක... සමහරවිට ඇය මරණය කරා කැටුව යන්න ඇත්තේ ඒ උත්තරය වෙන්න ඇති. ඇය ජීවිතය හැරගිය පසු ඔහු එකම එක වතාවක් විතරක් ඇයගේ සොහොනට යනවා...
ජීවිතයේ හමුවීම්, බැඳීම්, වෙන්වීම් කියන්නේ මහා පුදුමාකාර නියතයක්... ඒ හැඟීම් ළයෙන් ළය සනසන කළඹන රිදවන විඳින විදිහ හරි වෙනස්... ඒත් ඒ සියල්ල මැද මට හිතෙන එක දෙයක් තියෙනවා...
ආදරය කියන්නේ ආදරයම විතරයි.
I සංජු