එයාලා කියනවා ළමයා මෝඩයිලු. අකුරු බෑලු. ලොකු වෙද්දී මොනවා කරගනීද දන්නේ නෑලූ
මට ඉස්කෝලෙ 1 වසරෙ ඉගෙන ගන්න පුතෙක් ඉන්නවා. දාංගලේ වැඩියි. විනාඩි පහක් එක තැන ඉඳගෙන ඉන්නේ නෑ. කියන දේ අහන්නේත් නෑ. කවාගන්න ගියාම මුළු ගමටම ඇහෙන්න කෑගහනවා. මහත්තයාට බබා ගැන බලන්න වෙලාවක් නෑ. එයා ගොඩාක් කාර්ය බහුලයි. මම ගෙදරදී අකුරු කියා දෙද්දී බබා ඉන්නේ නෑ. ඇවිද ඇවිද ඉන්නවා. එයා ගණන් ගන්නේ නෑ. අපේ නම් කොහොම වුණත් අඩුම තරමේ බබා බබාගේ නමවත් කියන්නේ නෑ තවම. යාළුවන්ගෙ ළමයි හොඳට වැඩකරනවා. කතුරු වගේ කතා කරනවා. මගෙ බබාට ඇයි බැරි? මම මොකද කරන්න ඕනෑ. මම බබා ගැන මගේ යාළුවන්ට කිව්වාම එයාලා කියන දේවල්වලින් මාව තවත් ඇවිස්සෙනවා. එයාලා කියනවා ළමයා මෝඩයිලු. අකුරු බෑලු. ලොකු වෙද්දී මොනා කරගනීද දන්නේ නෑලු. මේ හැමදේම අහගෙන මම ඉවසනවා. මට එක එක්කෙනාගෙ උපදෙස් අහලා ඇතිවෙලා. මේවා මහත්තයාට කිව්වාම එයාත් මට බනිනවා එක එක්කෙනාගෙන් මම උපදෙස් ගන්න යනවාට හොඳ වැඩේ කියලා. මම ලොකු පීඩනයක ඉන්නේ. මට හරි උපදෙසක් දෙන්න.
දර්ශිකා - පොෙළාන්නරුව
පිළිතුර:
මේ මව කලබල වෙලා වැඩි ගතියක් ප්‍රශ්නයෙන් පෙනෙනවා. අම්මලා කලබල වන්නේ අම්මලාගේ තිබෙන කාංසාව කියන තත්ත්වය නිසා. පොඩි දේ ලොකුවට හිතනවා. ළමයාට ඉගෙන ගන්න පුළුවන් වුණත් අම්මලා බය වෙනවා ළමයාට ඉගෙන ගන්න බෑ කියලා. අන්තර්ජාල ක්‍රීඩාකළ පමණින් හැම ළමයෙක්ම විනාශ වෙන්නේ නෑ. ළමයා පිළිබඳ දකින්න ඕනෑ සෘණාත්මක ආකල්පයකින් නොව ධනාත්මක ආකල්පයකින්ය. කිවයුතු මූලිකම දේ ළමයින්ගෙ ප්‍රශ්න තැන තැන කියව කියවා ඇවිදින්න එපා. සමාජයෙන් ලැබෙන පිළිතුරු සියල්ල හොඳ ඒවා නොවේ. දහදෙනෙක් ළඟට ගියොත් උත්තර 10ක් ලැබෙන බවත් මතක තබාගත යුතුයි. මාර්ටින් වික්‍රමසිංහ, මැක්සිම් ගෝර්කි ආදී මේ ලෝකෙ යුග පුරුෂයන් ගෙන බැලුවොත් ඒ සියලු දෙනා දුක් වින්ද මිනිසුන්. මේ උපදෙස් ලබාදෙන මම ලංකාවේ දැනට මනෝවිද්‍යාවට සිටින ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයෙක්. එහෙත් පාසල් කාලයේ මම පන්තියේ හතළිස් ගාණකින් තිස් නව වැනියා. අපේ අම්මා එකඑක්කෙනාගෙන් මම ඉගෙන ගන්නවද නැද්ද කියලා අහ අහ ගියා නම් මට නෙමෙයි ප්‍රතිකාර කරන්න වෙන්නේ අපේ අම්මාට. ඒ නිසා මේ මවට පැවසීමට ඇත්තේ තවදුරටත් ප්‍රශ්නයක් ඇත්නම් සුදුසුකම් ඇති විශේෂඥයකුගෙන් උපදෙස් ලබාගන්න කියලයි. ළමයා පිළිගන්න. දරුවන්ට ආදරය කරන්න. ඕනෑම දරුවෙක් කැමැතියි තමන් අගයනවාට. ඒ නිසා දරුවන් අගයන්න.
වෙන ගෑනු එක්ක 'චැට්' කරලා මට අහුවුණා
මට මේ කතාව කාටවත් කියන්න බෑ ලැජ්ජයි. මම විවාහ වෙලා දැනට අවුරුදු 2ක් විතර වෙනවා. මගේ සැමියා මට ගොඩාක් ආදරෙයි. අපි ගොඩාක් ආදරයෙන් ඉන්නවා. දැන් ටික කාලයක ඉඳන් සැමියා නිල් චිත්‍රපටි බලන්න පුරුදු වෙලා ඉන්නවා. එයා ඒකට ඇබ්බැහි වෙලා කියලයි මට හිතෙන්නේ. මට ඒක කියන්න තේරෙන්නෙත් නෑ. මට නින්ද යනකම් ඉඳලා එයා තනියම ඒවා බල බලා සතුටු වෙනවා. මට දවසක් අතටම අහුවුණා. එකම ගෙදර ඉඳගෙන මෙහෙම වෙන එක මට මානසික ලොකු වදයක්. වෙන වෙන ගෑනු අය එක්ක 'චැට්' කරලා මට අහුවුණා. අපි දෙන්නා අතරෙ ලිංගික සම්බන්ධතා පවත්වන්නෙ ඉඳලා හිටලා. මට තේරෙන්නේ නෑ ඇයි එයා මම ඉද්දි වෙන වෙන වීඩියෝ බලන්නෙ කියලා. මේක මට මානසික වදයක්. මට උදව් කරන්න.
කාවින්දි - මාතලේ
පිළිතුර:
ඔබ අප වෙත යොමුකර ඇති ප්‍රශ්නයෙන් පෙනෙන්නේ නිවෙසේ අන්‍යොන්‍ය අවබෝධය දුරස් වී ඇති බවයි. මෙහි ප්‍රධානම ගැටලුව මේ හේතුවෙන් ඔවුනොවුන් හුදෙකලා වී සිටිනවා. අද ගොඩාක් මිනිසුන් මානසික ආතතිය එක්ක ජීවත් වෙනවා. කාර්යබහුලත්වයත් එක්ක පවුල සහ රැකියාව යන ලෝක දෙකක ජීවත් වෙනවා. එහෙත් මේ ලෝක දෙක බොහෝ දෙනකුගෙ අසමතුලිතයි. මෙයින් ඔවුන් ප්‍රශ්න එක්ක තනිවෙනවා. එවිට මේ තනිවීම පිටකරගන්නේ බොහෝම ආත්මාර්ථකාමී විදිහටයි. එයින් තමා මෙවැනි ප්‍රශ්න ඇතිවන්නේ. බොහෝ මිනිසුන් ලිංගික පීඩනයකින් සිටිනවා. ඔවුන් එම පීඩනය පිටකරගැනීමට අනෙකා සමඟ ප්‍රශ්න කතා කරන්නේ නෑ. ලිංගික ජීවිතය ගැන ස්වාමියා සහ බිරිඳ සාකච්ඡා කරන්නේ නෑ. එසේ සාකච්ඡා නොකිරීමෙන් මෙවැනි ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තිබෙනවා.
මෙම ප්‍රශ්නය යොමු කර ඇති බිරිය අවසානයේ චෝදනාවක් කරනවා සැමියා අයුතු සම්බන්ධතාවලින් සතුටු වෙනවා කියා. මෙම ප්‍රශ්නයේ ආරම්භය සැලකීමේදී කාන්තාව පිරිමියා ආකර්ෂණය කරගැනීම ඉතාම වැදගත්. එය කළ යුතු වන්නේ කාන්තාවයි. පිරිමියා සතුටු නොකිරීමෙන් ඔහු හුදෙකලා වීමට උත්සාහ ගන්නවා. පවුලේ සබඳතා කළමනාකරණය කර නොගැනීමත් මෙයට හේතුවක්. ප්‍රශ්න කතා නොකිරීම, ප්‍රශ්නත් එක්ක හුදෙකලා වීම, ලිංගික ජීවිතයේ විනෝදයක් නොමැතිවීම, බිරිය ලිංගික කාර්යයට අනුකූලතාවක් නොදැක්වීම ආදී කරුණු කාරණා බොහොමයක් බලපායි. මෙයට සුදුසුම පියවර වන්නේ පළමුව ස්වාමියා සහ බිරිය සාකච්ඡා මාර්ගයකට පිවිසිය යුතුයි. එයින් තම තමන්ගේ ඕනෑ එපාකම් සන්නිවේදනය කරගත යුතුයි. එයින් පමණයි තේරුම් ගැනීම, අවබෝධය ඇතිවන්නේ. තම තමන් අවංකව සතුට පිළිබඳ සාකච්ඡා කරන්න. ඉන්පසුව මෙම ප්‍රශ්නය විසඳීමට ඇති දැනුම දෙදෙනා සතු අඩු බවක් දැනෙනවා නම් පමණක් සුදුසුකම් ඇති පවුල් චිකිත්සකවරයකු ළඟට යාම වැදගත්. එහිදී සාර්ථක ඵලදායී විසඳුම්වලට යාමට හැකිවේවි. අද සමාජයේ සුළු ප්‍රශ්නවලට පවුල් භේද බින්න වෙනවා. දික්කසාද සිද්ධි බොහොමයක් වාර්තා වෙනවා. පවුල්වල ප්‍රචණ්ඩත්වය ඇතිවෙනවා. පවුල් උපදේශනයේදී නිසි පළපුරුද්දක් නොමැති උපදේශකවරුන්ගෙන් ලබාගන්නා උපදෙස් නිසාම පවුල්වල අසමගිය ඇති වන අවස්ථාද නැතුවාම නොවේ. ඒ නිසා අවසාන වශයෙන් මට මෙම තරුණියට ලබාදීමට ඇති උපදෙස වන්නේ ඔබ සහ සැමියා පළමුව සාකච්ඡා කරන්න. එසේ සාකච්ඡා කර විසඳුමක් සොයාගැනීමට නොහැකි නම් පමණක් පවුල් චිකිත්සකවරයකුගේ සහාය ලබාගන්න.
රස්සාවක් නැතිව අන්තෙටම වැටිලා
මගේ වයස අවුරුදු 28යි. රස්සාවක් නැතුව මට මුළු ජීවිතේම එපා වෙලා තියෙන්නේ. මට උදවු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද නැද්ද දන්නේ නෑ. මම උසස්පෙළත් සමත් කෙනෙක්. අවුරුද්දක විතර ඉඳන් රැකියා පුරප්පාඩු ගොඩකට දැම්මත් තවම එකකින්වත් කැඳවීමක් නෑ. හිතටත් මාරම අවුල්. මට කන්න බොන්නවත් හිතෙන්නෙ නෑ. බඩගිනි දැනෙන්නෙත් නෑ. ගෙදරට වෙලා කකා බිබී ඉඳලා මට ඇතිවෙලා. හැමෝම අහනවා රස්සාවකට දැම්මෙ නැද්ද ඕනෑතරම් රස්සා තියෙනවානෙ වගේ කතා. ඒත් මම විඳින දුක දන්නෙ මම විතරයි. මට මගෙ හිත හදාගන්න උදවු කරන්න.
මල්ෂාන් - හක්මණ
පිළිතුර:
රැකියාවක් නොමැතිකම, ලැබුණ රැකියාවෙන් සතුටු නොවීම, ඉගෙනගත් සුදුසුකම්වලට ගැළපෙන රැකියාවක් නොලැබීම මේ සමාජයේ බොහොමයකට බලපා තිබෙන ප්‍රශ්නයි. එයට වර්තමාන අධ්‍යාපන ක්‍රමයේත් බරපතළ ගැටලුවක් තිබෙනවා. තමන් ඉලක්ක කරන රැකියාව නෙමෙයි බහුතරයකට ලැබෙන්නේ. මේ හේතුවෙන් තාරුණ්‍යය අනන්‍යතා අර්බුදයකට මුහුණ දෙනවා. යමකුට රැකියාවක් නෑ කියන්නේ රැකියාවකට සුදුසු අධ්‍යාපනයක් ලබා නොතිබීමත්, ලැබෙන රැකියාවකට නොයාම, තමන් බලාපොරොත්තු වන ඉලක්කගත රැකියා ලැබෙන තුරු සිටීම ආදී හේතු නිසායි අපේක්ෂා භංගත්වය ඇතිවන්නේ. මේ තරුණ සමාජය යථාර්ථයට පත් කරන්න ඕනෑ. ව්‍යාපාරයක් කරන්න විශාල අධ්‍යාපනයක් අවශ්‍ය නෑ. එයට ඕනෑ හැකියාව සහ කුසලතා. මේ හැමදේටම අවශ්‍ය දේ පෙළඹුමයි (Motivation). හැකියාවෙන් තොර රුකියාව අර්ථශුන්‍යයි. ඕනෑම රැකියාවකින් වේතනයක් ලැබෙයි. එහෙත් ධාර්මිකව උපයාගන්නා වේතනයකින් අප සතුටු වන්නේ කෙසේදැයි පැනයට පිළිතුරු සෙවීමෙන් මෙම ප්‍රශ්නය විසඳාගත හැකිය. උදාහරණයකින් මෙය පැවසුවහොත් ආර්ථික විද්‍යා ගෞරව උපාධිධාරියකු රජයේ පාසලකට පත්වීමක් ලබා ගියවිට ඔහුට ඉගැන්වීමට සිදුවූයේ සිංහල විෂයය. එයට හේතුව එම පාසලේ ආර්ථික විද්‍යා විෂය නොමැතිවීමයි. මොහුගේ තීරණය වූයේ ඔහු එම රැකියාවෙන් ඉවත් වීමයි. එහෙත් එහි ඔහු කළ යුතු වන්නේ රැකියාවෙන් ඉවත් වීම නොව ලැබී ඇති රැකියාවෙන් තම ඉලක්ක කරා යාමයි. වර්තමානයේ කී දෙනෙක් රජයේ රැකියාවක් නොමැතිවීමෙන් දුක් වෙනවා ඇත්ද? බලාපොරොත්තු වූ දේ අපට නොලැබුණා නම් අපි කළ යුතු හොඳම දේ අපට ලැබුණු දේ තුළින් බලාපොරොත්තු නිර්මාණය කර ගැනීමයි. රැකියාවක් මට ලැබෙන්නේ නෑ කියන චින්තනය වෙනස් කර ගත යුතුයි. රැකියාවක් නොමැතිවීමෙන් පෞරුෂ ආබාධ ඇතිවන්නටත් පුළුවන. රැකියාව කවදාවත් අප ළඟට හෝ අපේ ගෙදරට එන්නේ නෑ. අපි රැකියාව ළඟට යන්න ඕනෑ. අපි රැකියා සොයන්න ඕනෑ. මුළු තරුණ පරපුරම එය හිතට ගත යුතුයි. මෙවැනි ගැටලු විසඳාලීමට වර්තමාන තරුණ පරපුරට 21 වැනි සියවසේ කුසලතා පිළිබඳ පුහුණුවක් ලබාදිය යුතුයි. එය කාලීන අවශ්‍යතාවක්.
(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.
ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්.
ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com
සංස්කාරක,
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.
I සසංක චලන ගිම්හාන