2022 මාර්තු 27 වන ඉරිදා

සඳ හොරු අරන්!

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 104

හඳ ගැන නම් කවි ගී කොයිතරම් ලියවෙන්න ඇද්ද? හඳ දිහා බලාගෙන කවියක් ලියන්න සිතුවිලි බැඳුණේ පෝය දවසේ. ඒත් කවියකට වඩා දෙයක් හිතට ආපූ නිසා ජංගමයාගේ අකුරු පොත පෙරළා ගත්තා. වෙලාව රෑ දහය පහුවෙලා. කාමරේ ජනේලෙත් ඇරගෙන ලියන මේසේ වාඩිවෙලා ඉන්නේ. ජනෙල් කවුළුවෙන් ඈත වළාකුළු අතර හඳ පේනවා ලස්සනට. වැහි වලාකුළු සැරින් සැරේ සඳ ගිලගන්නවා. ඒත් සඳක් ගිලගන්න පුළුවන්ද වැහිළාවකට. සඳ ආයෙම මොහොතකින් මතු වෙනවා.

ජනේලේ ඇරලා මිදුලේ විදුලි එළිත් නිවලා තියන මේ මොහොතේ හිතට දැනෙන්නේ පුදුමාකාර අධ්‍යාත්මික සුවයක්. කවුළුවෙන් ඇවිත් හීන් සීරුවට ගත සිඹින සුළඟ නම් තරමක් බරයි. වැහි වළාකුළු නිසා තමා මේ තෙත සුළඟක් හමන්නේ. කිසිම හාවක් හූවක් නෑ පරිසරයේ. ඇළ පැත්තේ මැඩියන්ගේ සද්දේ යාන්තමට ඇහෙනවා. හුරුපුරුදු පළඟැටි ගී තනුවල නම් අඩුවක් ඇත්තේම නෑ.

ඇත්තම හඳ ගැන නෙවෙයි මේ කතාව ලියන්න හිතුවේ කාමරේ ජනේලය ගැන. මේ ජනේලෙන් පේන්නේ සීමිත දසුනක්. ඒත් හැමදාම මේ දසුන එකින් එකට වෙනස්. මම මේ කල්පනා කලේ ඒ ගැන. පොඩ්ඩක් දෙන්න මේ දසුන ජංගමයාගේ සටහන් කරගන්න ඕනෑ. මේ කතාවට හැඩයක් එක්කරයි ඒ දසුන... ඉන්න.

හරි ඔන්න ඒ වැඩෙත් හරි. දන්නවාද ලෝකේ දිහා බලන්න අපි හැමෝටම ඒ මේ  වගේ ජනෙල් කවුළුවක් තියනවා. ඒක තනි තනිව අපි අපිටම නිර්මාණය කරගත්තු කවුළුවක්. ඒ කවුළුවෙන් ලෝකේ දිහා බලලා තමයි අපි ලෝකය මේ වගේ කියලා අවබෝධ කරගන්නේ. මේ කවුළුවේ ප්‍රමාණය, හැඩය, වර්ණය ගොඩක් වැදගත්, අපේ ජීවිතවලට. සමහරුන්ගේ කවුළු පටුයි, කුඩායි. මහා පරිමාණ කවුළු නිර්මාණය කරගෙන ඉන්නේ නම් මුළු ලෝකයෙන්ම හරිම සීමිත ප්‍රමාණයක්. ඒ කොහොම වුණත් තමන්ගේ කවුළුවෙන් ලෝකේ දිහා බලලා තමයි අපි ලෝකය මේ වගේ කියලා කියන්නේ.

ඔන්න ආයේම වැහි වළාකුළුක් පෝය හඳ බිලි ගත්තා. ඒක ලොකු වලාකුළුලක් මිදුලේ තිබුණ හඳ එළිය හොරු අරගෙන ගියා වගේ. බටපඳුර හරියේ කලාමැදිරි කිහිප දෙනෙක් ඉන්නවා. දැන්නම් උන්ව පවා පේනවා. ඉස්සල්ලත් උන් එතැන ඉන්න ඇති මම දැක්කේ නෑ. ලොකු ලොකු එළිවලින් පුංචි පුංචි එළි යටපත් වෙනවා. ම්...ම්... ඒක තමා ලෝකේ හැටි. ආයේ ම්... හඳ එනකල් මං පොඩ්ඩක් නතර වෙනවා.

ම්..ම්... මිනිත්තු පහළොවක් විස්සක් විතර ගියා ඒ වළාකුළුලෙන් පෝය හඳ මිදෙන්න. ආයේම කවුළුව ගැන හිත සිතුවිලි බඳිනවා. ඔන්න ළඟදී දවසක ප්‍රේමය ගැනයි විවාහය ගැනයි පොඩි තර්කයක පැටලුණා මිත්‍රයෙක් එක්ක. පුදුමේ කියන්නේ ඔන්න ඒ වෙලාවෙත් මේ කවුළුව මට මතක් වුණා. ඉතින් මම ඒ ගැන ජංගමයාගේ අකුරු පොතේ සටහනක් තිබ්බා. ඉන්න කෝ... ඒක මෙතැට අරගෙන එන්නම්.

''කිසිදාක සියල්ල කවුළුවකින් දකිනු නොහැකිය. එහෙත් සබඳ, ඔබ මෙන්ම මාද ලෝකය දකින්නේ කවුළුවලිනි. ජීවිතය පුරා අපි අපේ සියතින්ම ඒ කවුළු නිමවා ඇත්තෙමු. ඔබේ කවුළුවෙන් ඔබ දකින ලෝක මගේ කවුළුවෙන් මා නොදකිනු ඇත. මගේ කවුළුවෙන් මා දකින ලෝකය ඔබ ඔබේ කවුළුවෙන් නොදකිනු ඇත. එබැවින් ඔබේ කවුළුව වසා මගේ කවුළුවෙන් ලොව දකින්නට මා ඔබට ඇරයුම් නොකරමි. ඔබද ඔබේ කවුළුවෙන් ලෝකය දකින්නට මට ඇරයුම් නොකරනු මැන.''

දැන්නම් වළාකුළු සෑහෙන්න අඩුවෙලා හඳ බබලනවා කිරිපාටට. තරුනම් වළාකුළුවලට ගිලිලා එකක් දෙකක් තැන තැන දිලිසෙනවා. නොදැනීම හොරා එක හමාරක් විතර ගෙවිලා ගිහින්. හැබැයි පෝය හඳ දැන් තියෙන්නේ ඉස්සෙල්ලා තිබුණු තැන නෙවෙයි. ඇත්තටම දැන් හඳ බලන්න ජනේලෙන් ඔළුව එළියට දාලා උඩ බලන්න ඕනෑ.

ආ... අර මිත්‍රයාට කිව්ව කතාවට ඌණපූර්ණයක් තියෙනවා එකතු කරන්න. අපිට පුළුවන් අපේ කවුළුවලින් දකින දේවල් මේ විදිහය කතා කරන්න. එහෙම කරන කොට අපිට අනෙක් කවුළු ගැන වගේම ලෝක ගැන අවබෝධ කරගන්න පුළුවන්. අපේ කවුළුව තවත් පුළුල් කරගන්නත් පුළුවන්. දන්නවාද? අපි ජීවිතය දකින කවුළුව විශාල වෙන්න වෙන්න වැඩි ගැඹුරක් වගේම වැඩිදුරක් අපිට පේන්න ගන්නවා. ඒක තමා අපි මෙහෙම කතාකරන එකේ තියෙන වාසිය.

බණ කතාවක් වගේද? හම්ම් කමක් නෑ.... අද පෝයනේ. අද නම් රීතිය ටිකක් වෙනස් වුණා. හඳ ගැන නොකියා මේ කතාව ඉවර කරන්න බෑ. සඳ චපලයි කියලා කවියක් ලියන්න හිතාගෙන තමා මෙතෙන්නට අවේ. අතර මඟ නතර වුණත් අකුරු කිහිපයක් ලිව්වා. ඒක ඕනේ නෑ දැන්.

මුලදී සඳ චපලයි කියලා හිතුණා... ඇත්ත, ඒත් දැන් නම් අදහස වෙනස් වෙලා සඳට රුඳු වෙන්න බෑ වගේ. ම්..ම්... කවුළුවක් කරපු හරියක්. ම්ම්ම්... එන්න එන්න සුළඟේ හීතල වැඩි වෙනවා. හඳත් කවුළුවෙන් දුර යනවා. මේ කවුළුව වහලා නිදාගන්න ඕනෑ. ඒත් මේ අරුම රාත්‍රියෙන් මිදෙන්න හරිම ලෝබයි. ගතවෙන දවස් ආයේ එන්නේ නෑ. ඒ නිසා හැම දවසකම අපි විඳින්න ඕනෑ. හෙට අලුත් දවසක්

කළුවරට පෙම් බඳිමි
සෙවණැල්ල ඇති නිසා
සඳට රුදු නොවෙමි මං
සෙවණැල්ල මැව් නිසා

I නිසල්