2022 මාර්තු 27 වන ඉරිදා

චැට් සලාදෙන් ටිකක් කමු!

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 99

Omegle TV ගැන අහලා තියෙනවද මචෝ. මීට සෑහෙන කාලෙකට කලින් අපි සුදාලට කිව්වා Omegle කියන Website එක ගැන. සමහරවිට මතකත් ඇති. ඒ කාලේ ලෝකෙටම Omegle කියන්නේ පට්ට අලුත් අත්දැකීමක්. YouTube එක ඇතුළේ Omegle Videos හැදෙන්න පටන් ගත්තා අන්න ඒ කාලේ. කොහොම හරි අපි ඒ දවස්වල හිතපු විදිහ හරි වස්තු. මේ වෙද්දී Omegle මුළු ලෝකයම ආක්‍රමණය කරපු පට්ට Trend එකක් වෙලා. ඉතින් අපි Omegle TV මේ දවස්වල හිට්වෙන මේ Trend එක ගැන පොඩි කතාවක් දාමු මචෝ.

ගොඩක් දෙනෙක් මේ වෙනකොට YouTube එකේ Omegle Videos දැකලා ඇති. මේ වෙනකොට Omegle TV කියන Y Trend එක පට්ට ජනප්‍රියයි. ලෝකේ වගේම ලංකාවෙත් මේ සීන් එක්ක ජනප්‍රිය චරිත ඉන්නවා. පොඩ්ඩක් ග්‍රීක් වගේ නේද? ඒත් Omegle සීන් එක තාමත් නොදන්න පැංචෝ පැංචියොන්ට සීන් එක සරලව පැහැදිලි කරන්නම් මුලින්ම. මේ පැහැදිලි කිරීම කලිනුත් කරලා තියෙනවා. හරි කමක් නෑ.. මෙහෙමයි මේ සීන් එක හැදෙන්නෙ.

Omegle කියන්නේ Free Online Chat කරන්න පුළුවන් Website එකක් සුදෝ. මේකේ Video Chat වගේ Normal Text  විදිහටත් Chat කරන්න පුළුවන්. විශේෂත්වය තමා මේ Chat එකට ලියාපදිංචි වෙන්න ඕනේ නෑ. ඒ කියන්නේ මචෝ Facebook, WhatsApp, Snapchat වගේ Account එකක් නමක් ගමක් දුරකථන අංකයක් ඊමේල් එකක් ඔයාට ඕනේ නෑ. නිකම්ම chat එකට යන්න පුළුවන්. Chat කරන්න කට්ටියව හම්බවෙන්නේ අහඹු විදිහට. ඒ කියන්නේ වස්තු ඔයා Video Chat එක On කරගෙන ඉන්නවා නම් ඔයාගේ ඉස්සරට එක එක එක්කෙනා එනවා. ඔයාට පුළුවන් එයාලා එක්ක කතා කරන්න. අකමැති නම් Skip කරන්නත් පුළුවන්. ඔයාට විතරක් නෙවෙයි ඒ එන අයටත් ඔයාට අකමැති නම් ඔයාව Skip කරන්න පුළුවන්.

අවශ්‍ය වෙන්නේ Chat එකට ඇතුළු වෙනකොට තමන් කැමති Tag එකක් දාන එක. උදාහරණක් විදිහට YouTube, Tik Tok වගේ Tag දාන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ අහඹු ලෙස Chat එකට එන අතර යම් පොදු සමානකමක් ගොඩනැගෙන එක. වැඩේ කියන්නේ මේ සම්බන්ධව තවත් පැහැදිලි කරන්න පුළුවන්. ඒත් සීන් එක නොදන්න සුදාලා YouTube පැත්තේ ගිහිල්ලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ඒක තමා හොඳම. මොකක්ද නැත්නම් සීන් එක Boring වෙනවා වස්තුලාට.

කොහොම හරි Omegle TV කියන සීන් එක ටිකක් විතර අලුත්. මුලදී මේ සීන් එක අපි කිව්වා වගේ Website එකක් විදිහට තිබුණේ. 2009 දි විතර අවුරුදු 18ක කොල්ලෙක් තමා සීන් එක ආරම්භ කරලා තිබුණේ. කොහොම හරි සීන් එක නැගලා යනකොට වැඩේට App එකක් ඕනෑ වුණා. අන්න එතැනදී තමා Omegle TV කියන මේ App එක හැදෙන්නේ. දැන් මේ App එක මිලියන 500 ක් විතර Download කරලා තියෙනවා මචෝ.

ඒ කතා කොහොම වුණත් Omegle කියන්නේ YouTube එකේ වෙනම කොටසක් වගේ  දැන්නම්. Omegle Video කරන YouTubers ලා තමා මේකට හේතුව. ඒ වගේම වෙනත් ජනප්‍රිය YouTubers ලාත් මේ වෙද්දි Omegle Videos කරන්න පටන් අරගෙන තියෙනවා. මෙයාලා කරන්නේ Omegle Video Chat Record කරලා Youtube දාන එක. මේක වෙනම ආතල් එකක්. මේ අය Omegle Chat එක ඇතුළේ ආතල් දෙනවා. ආතල් කියන්නේ එක එක ජාතියේ ආතල් මචෝ. සමහරු Music කරනවා. සමහරු Beet Box කරනවා. හිනස්සනවා, බොරු කියනවා, නටනවා... එක එක ජාතියේ ඒවා තමා ඉතින්. ෆ්‍රොන්තොලට මේ සීන් එක පැහැදිලි වෙන්න නම් මේ වැඩේ කරන ලෝකේ ජනප්‍රිය YouTubers ලා දෙතුන් දෙනෙක්ගේ වැඩ බලන්නම වෙනවා. ආ... අපි දෙක තුනක් කියන්නම්. SniperWolf, Thedoo, Marcus Veltri ඔය වගේ ගොඩක් දෙනෙක් ඉන්නවා.

කොහොම වුණත් Youtubers ලා හැරුණාම ගොඩක් දෙනෙක් Omegle මේ වෙනකොට භාවිත කරන්න ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තනිකම පාළුව මකාගන්න. දෙවැනි දේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩිදියුණු කර ගන්න. තව හේතුවක් තියෙනවා. ඒ අතර අර අසහනකාරයෝ කියන ජාතියත් මේ Omegle භාවිත කරනවා. ඒ නිසා මේ Videos Chat Platform එක වඩාත් සුදුසු අවුරුදු 18ට වැඩි අයට තමා. ඒත් අමෙරිකාව යුරෝපයේ Teenager ලා විශාල වශයෙන් Omegle ඇතුළේ ඉන්නවා බලාගන්න පුළුවන්.

ආසියාව පැත්තට ආවොත් මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය වගේ රටවල Omegle සෑහෙන්න ලොකු Trend එකක්. ලංකාවේත් දැන් YouTube එකේ Omegle නැඹුරැව එන්න එන්න වැඩි වෙනවා. අපි මේ සීන් එකේ මුල් අවස්ථාවේ සුදාලට කිව්වා මතක ඇති Praviya, Kaviya, ZikkaMalli, PasiYa වගේ සෙට් එකක් මේ සීන් එක පටන් ගත්තේ. දැන් නම් චරිත ගොඩක් ඉන්නවා. 

අපි ගිය පාර මේ සීන් එක ගැන අනාවැකියක් කිව්වා. ''හෙට අනිද්දාට ලංකාවේ මේක පට්ට Y Trend එකක් වෙන එක නවත්වන්න බෑ සුදෝ. තාම මේ ගැන දන්නේ නැති නිසා විවේචන නම් ගොඩක් අඩුයි. හෙට අනිද්දාට විවේචනත් සෑහෙන්න තියෙයි.'' ඔන්න ඉතින් මේක ගැන විවේචන වගේම ගැටලුත් ගොඩක් මේ දවස්වල කතා වෙනවා සයිබර් ආරක්ෂක පෞද්ගලිකත්වය වගේම දරුවන්ට අහිතකර බලපෑම් ඇතිවීම ගැන. ඒ කොහොම වුණත් Omegle මේ වෙනකොට ලෝකය ආක්‍රමණය කරලා ඉවරයි. දවසින් දවස මේක ඇතුළේ තව Trend හැදෙනවා. අපි ඒ ගැනත් කතා කරමු දවසක. අදට ඇති සුදෝ.

I නිසල්