2022 මාර්තු 27 වන ඉරිදා

වැරදෙන්න ගතවෙන්නේ එක මොහොතයි!

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 69

ජීවිතය වරෙක සෙලවෙන වැල් පාලමක යන ගමනක් වගේ. අනතුර කොයි මොහොතකද කියන්න අපි කවුරුත් දන්නෙ නෑ. යන්නෙ කොහාටද කොහොමද ඒ යන ගමනේ අනතුරු මොනවද කියලා කලින් දැනගෙන ජීවිතයේ මේ ගමන යන්න තියෙනවා නම් හොඳයි...... ඒත් ඇත්තටම ජීවිතය කියන්නෙ එහෙම නොවැටී සෙමෙන් පරිස්සමෙන් යන්න පුළුවන් ගමනක් නෙවෙයි.

අපි ජීවිතය බෙදාගන්න අය අපිට ජීවිතයේ නොයෙක් තැන්වලදී හමුවෙනවා. එහෙත් ජීවිතය බෙදාගැනීමේ ස්වරූප එදාට වඩා අද හුඟාක් වෙනස් වෙලා. අත් අල්ලාගෙන ඇස් දිහා බලාගෙන කතාකරද්දී ගොඩනැගෙන පයුරු පාසානමක සුන්දරත්වය අන්තර්ජාලය ඔස්සේ දුරකථනය ඔස්සේ ගොඩනැගෙන සබඳතාවයක තියෙනවාද? නැහැ මට හිතෙන්නේ ඒ සබඳතා හරි කෘත්‍රිමයි කියලා.

අද හුඟාක් අයට ළඟම ඉන්න කෙනා දුරම ඉන්න කෙනා බවට පත්වෙලා. දුරම ඉන්න කෙනා ළඟම ඉන්න කෙනා බවට පත්වෙලා. තමන් ළඟ ඉන්න කෙනා එක්ක ජීවිතය බෙදාගන්න තත්ත්පරයක් නැති වුණත් ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයෙන් සබඳතා සොයාගෙන සැරිසරන්න සක්මන් කරන්න ඒ හුඟාක් දෙනාට හුඟාක් වෙලා තියෙනවා..... ඒ යථාර්ථය සොඳුරු නොවන බව ඇත්ත... ඒත් ඒ තමයි අපි අත්විඳින යථාර්ථය...

Warning හින්දී චිත්‍රපටය ඔස්සේ කතා කරන්නෙත් එහෙම අමුතු කතාවක්. ඇය මුහුණු පොත ඔස්සේ තරුණයෙක් හඳුනා ගන්නවා... ඇත්තටම අද ලෝකයේ විවාහයන්හි ප්‍රබල කපුවෙක් වෙලා ඉන්නෙත් මුහුණු පොතයි. ඉතින් ඔහු ඇය හඳුනාගෙන ටික දවසකින්ම ඔහු ඇයට ආදරය ප්‍රකාශ කරන්නෙ ඉතා සියුම්ව ඇගේ විශ්වාසය දිනාගෙන.

අවසානයේ ඔහු ඇගෙන් අසන්නෙ අපි විවාහ වෙමුද කියලා......... ඇය එක්වරම නිරුත්තර වුණත් ඇය අවසානයේ ඒ තීරණයට එකඟ වෙනවා. ජීවිතයේ කවදාවත් හැබැහින් නොදුටු නොහඳුනන ඔහු සමඟ විවාහ වෙන්න අවසානයේ ඇය එකඟ වෙනවා. ඇගේ අම්මා තාත්තා දෙන්නම ඒ වෙද්දී ජීවතුන් අතර නෑ...... ඔහු කියනවා මම ඔබට පාර කියන්නම් මගේ ගෙදරට ඔබ එන්න කියලා....... ඇය අවදානම දෙවුර දරාගෙන ඔහු සොයා යනවා.....

ඔහු විවාහයට පෙර ඇයව තමා අවශ්‍යතා පූරණය කරගන්න ඇඳට ගන්නවා... ඇයට  ඔහු පොරොන්දු වෙනවා මම ඔයාව ඉක්මනින් විවාහ කරගන්නවා........ මම හවස එළියට යනවා ඒ ගිහින් එනතුරු ඔබ මෙහෙ ඉන්න කියලා.......

එහෙත් රුය ගෙවෙන තුරුත් ඔහු එන්නෙ නෑ.... ඇත්තටම මේ ඇය ආවේ ඔහුගේ නිවසට මද කියලා ඇය දන්නෙත්. ඒ ප්‍රදේශය මිනිස් වාසයෙන් තොර හුදෙකලා ප්‍රදේශයක්. දින ගණනාවක් යනතුරු ඇය ඒ නිවසේ සිරකාරියක් වෙනවා. ඔහු දොරට පිටතින් අගුලු දාලා විදුලියත් විසන්ධි කරලායි ගිහින් තියෙන්නේ. ඒ නිසා බැටරි බැස්ස ඇගේ ජංගම දුරකතනය යාවත්කාලීන කරගන්නත් ඇයට විදිහක් නැහැ. ඇය බය, බඩගින්න මේ හැමදේම ළයට තුරුල් කරගෙන අඬනවා කෑ ගහනවා. මේ අතර ඇය දකිනවා ඔහු සතු පරිගණක යන්ත්‍රයක්. ඇය එය පරීක්ෂා කරනවා. ඇය තමන් කොයිතරම් මුලාවක අතරමං වී සිටියාදැයි තේරුම් ගන්නෙ ඒ මොහොතේදී. ඔහුගේ පරිගණකයේ ඔහු ඇය රුවටූ ලෙසින්ම රවටා ගෙන්වාගෙන රමණයේ යෙදුණු යුවතියන් රුසකගේ වීඩියෝ තියෙනවා... ඇය එය පරීක්ෂා කරමින් සිටියදී ඔහු එනවා... ඇය සියල්ල තේරුම් ගෙන නිවෙසින් පැන යනවා........ ඉන්පසු දිනෙක රෑපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඇය තමන් විඳි කටුක අත්දැකීම විස්තර කරමින් සමාජ මාධ්‍ය හමුවේ රුවටී ජීවිතය විනාශ කර නොගන්නා මෙන් ඉල්ලා සිටිනවා.

වැරදෙන්න ගතවෙන්නෙ එක මොහොතයි..... ඒත් ඒ වරද නිවැරදි කරන්න සමහරවිට ජීවිතයේ තවත් කිසිම දවසකට බැරිවෙයි.

සංජු