2017 මැයි 13 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

අහස හැරයමි 
සංසාර අහස හැර යමි 
තටු විහිදා ඉගිල ගිය 
සංසාර අහස හැර යමි....

විසුල තරු ආශා අහස් ගඟ 
ගිලී උන්නෙමි කරවටක් මම 
සෞම්‍ය සඳරුස් සිහිල විනිවිද 
රුදුරු ගිනිදන රැසින් දැවුණෙමි 

නේක පැහැ ගත් වලා බන්ධන 
චමත්කාරය අතැර තනිවෙන 
හුදෙකලා වීදියේ අරණක 
මඟ බලාගෙන හිඳී සැනසුම 

නිරාමිස දියවරක හුස්මක් 
රුගෙන සැනසෙන යාත්‍රාවක 
අනන්තයටම මුදා හැරියෙමි 
දෙඅත් තටුවල රැඳුණු ගිම්සර 

දුකකි ප්‍රේමය අවසනක් නැත 
සිනා පැහැසර අග කඳුළු ඇත 
නිවාලූ මුදු සතුට රැඳුණේ 
සොඳුරු තනිකම මිසක කවරෙක 

Saara