ප්‍රේමයේ අගනුවර ලෙස සැලකෙන පැරිසිය විලාසිතා ලොවේ මහ ගෙදර ලෙසත් හැඳින්වෙනවා. වාර්ෂිකව පැවැත්වෙන පැරිස් විලාසිතා සංදර්ශන විලාසිතා ලෝකයේ වැඩිම අවධානයක් දිනාගන්නවා. කොහොම වුණත් ප්‍රංශ විලාසිතා නිරූපණ ක්ෂේත්රයට අදාළව වැදගත් තීන්දුවක් ප්‍රංශය පහුගියදා ගනු ලැබුවා. ඒ තමයි නිරූපණ ශිල්පීනියන්ට අනවශ්‍ය ලෙස සිරුර සිහින් කරගැනීම තහනම් කිරීම.
2015 අවුරුද්දෙදි ප්‍රංශ දේශපාලනඥයින් පිරිසක් විසින් යෝජනා කරනු ලැබූ මෙය පසුගියදා ක්‍රියාත්මකවීම ආරම්භ වුණා. මෙහෙම තීරණයක් ගන්න ප්‍රංශයට සිද්ධ වෙලා තියෙන්නෙ එරට ජනගහනයෙන් සැලකිය යුතු විශාල පිරිසක් නිසි පරිදි ආහාර නොගැනීමේ රෝගයකට ගොදුරු වී සිටීමයි. එහිදී නිරෑපණ ක්ෂේත්රයේ නියැළී සිටින නිරූපණ ශිල්පිනියන් අතර මෙම රෝගී තත්ත්වය බහුලව දකින්න ලැබෙන බවත් ප්‍රංශයේ සමාජ සබඳතා ඇමැතිවරයා පවසනවා.
මේ නිසා ඉදිරියේදී ප්‍රංශයේ නිරූපණ කටයුතු සඳහා එක්වන ශිල්පිනියන්ට වෛද්‍යවරයෙකු ලවා තමන්ගේ උසට සරිලන මහත (Body Mass Index) තිබෙන බව සහතික කිරීම අනිවාර්ය දෙයක් බවට පත්වෙලා. අනෙක් අතට නිරූපණ ශිල්පිනියන් තමන්ගේ සිරුරු අධික ලෙස සිහින් කරගැනීමට කටයුතු කිරීම නිසා ප්‍රංශයේ තරුණ පරපුර අතරත් සිරුර අධික ලෙස සිහින් කිරීම විලාසිතාවක් බවට පත්ව තිබෙන බවත් ප්‍රංශ මාධ්‍ය වාර්තා කරනවා.
නව නීතියට අනුව අනවශ්‍ය ලෙස සිහින් සිරුරක් සහිත නිරූපණ ශිල්පිනියන් සේවයේ යොදවන්නන්ගෙන් යුරෝ 75,000ක දඩයක් අයකරගැනීමට හෝ හය මසක සිර දඬුවමක් හිමිකරදීමට ඉඩ තිබෙනවා.
ඒ විතරක් නෙමෙයි. පරිගණක ග්‍රැෆික්, ෆොටෝ ෂොප් ආධාරයෙන් අධික ලෙස සිරුර සිහින් වන ලෙස සකස් කරන ලද ඡායාරූප මුදාහැරීමත් මේ ඔක්තෝබර් මස මුල සිට ප්‍රංශයේ තහනම්. එසේ ඡායාරූප ප්‍රකාශයට පත්කරනවා නම් ඒවා පරිගණකය ආධාරයෙන් වෙනස් කළ ඡායාරූප බව දැක්විය යුතුයි. එම තහනම ප්‍රංශ සඟරා, වෙළෙඳ දැන්වීම් ආදී සියලු මාධ්‍ය වෙත බලපැවැත්වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට BMI හි අගය 18ක් වන්නේ නම් ඉන් අදහස් වන්නේ මන්ද පෝෂණ මට්ටමයි. එය 17ක් නම් දරුණු ලෙස මන්ද පෝෂණය වැළඳී ඇති බව කියැවෙනවා. මේ පසුබිම තුළ අඩි පහකුත් අඟල් 9ක් උසැති නිරූපිකාවකගේ බර කිලෝ ග්‍රෑම් 50ක් වන්නේ නම් ඇගේ BMI අගය 16ක්.
2015දී මීට අදාළ යෝජනා ගෙන ඒමට පෙරත් වරින් වර මේ ගැන ප්‍රංශය තුළ කතාබහට ලක්වුණා. නමුත් එරට විලාසිතා කර්මාන්තයේ තිබෙන බලසම්පන්න ස්වභාවය නිසාම ඒ යෝජනා යට ගියා. නමුත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත සිරුරේ සිහින් බව තීරණය කිරීමට ඉඩ ලැබීම යන කාරණයට යම් එකඟතාවයක් ඇතිව තිබෙනවා.
එසේ මූලික එකඟතාවක් ඇතිව මෙම නීතිය ක්‍රියාත්මක කළත් ප්‍රංශ විලාසිතා ක්ෂේත්රයේ නියැළී සිටින්නන්ගේ අදහස නම් අලුත් නීතිය විකාරයක් බවයි. ඔලිවියෙරො ටොස්කානි නම් ප්‍රංශ විලාසිතා ක්ෂේත්රයේ කටයුතු කරන ඡායාරූප ශිල්පියා අලුත් නීතිය පිළිබඳ දක්වන්නේ අප්‍රසන්නතාවක්. “අපි නිරූපණ ශිල්පිනියන්ව තෝරාගත්තට පස්සෙ ඇය නිරූපණයට පැමිණෙන අවස්ථාව වනවිට ඇගේ බර යම් විදිහකට අඩුවෙලා තියෙන්නෙ පුළුවන්. ඉතින් අපිට ඒවෙලේට වෙනත් නිරූපණ ශිල්පිනියක් කරා යන්න බැහැ. ඒ වගේම මට කියන්න පරිගණක ආධාරයෙන් වැඩිදියුණු නොකරන එක ඡායාරූපයක් හරි අද තියෙනවද කියලා. ෆොටෝ ෂොප් නොකළත් හැම පින්තූරයකම වගේ වර්ණ හදන්න විවිධ අලංකාර එකතු කරන්න පරිගණකය භාවිත වෙනවා” ඔහු පවසනවා.
ප්‍රංශය කියන්නේ මෙවැනි නීතියක් සම්මත කරගත් පළමු රට නෙමෙයි. මීට පෙර ඉතාලිය, ස්පාඤ්ඤය හා ඊශ්‍රායලය යන රටවලත් මෙවැනි නීති සම්මත කරගත්තා. කොහොමින් හරි ඉස්සරහට නම් සිහින් සිරුරු සහිත නිරූපිකාවන් ප්‍රංශයෙන් දකින්න නොලැබෙන බව නම් සහතිකයි.