ඔහු උදයකාන්ත වර්ණසූරිය. හඳුන්වාදීමට අවශ්‍ය නැති තරමට අද වෙද්දි ඔහු කේෂ්ත්‍රයේ නමක් හදාගෙන තිබෙනවා. මේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයා සිනමාවේදියෙක් ලෙස ආ දිගු ගමනේ අයනු ආයනු කොතනද? My Path විශේෂාංගය තුළින් අපි කතා කරන්ෙන් ඒ සමාරම්භය ගැනයි.
මතකද බලපු මුල්ම චිත්‍රපටය?
අවුරුදු 8දී රන්මුතු දූව චිත්‍රපටය.
බලපු සිනමා ශාලාව එහෙමත් මතකද?
ඔව්... ඔව්... නුගේගොඩ ක්වින්ලන්ඩ් සිනමා ශාලාවේදී. ගෙදර අයත් එක්ක පෝලිමේ තෙරපිලා ගිහින් තමා බැලුවේ.
රන්මුතු දූව චිත්‍රපටය බැලුවට පස්සේ මොකද හිතුණේ?
එතැනින් තමා මට සිනමාවට ආදරයක් ආසාවක් ඇති වුණේ. මම ඒක දැක්කේ මැජික් එකක් වගේ. මොකද කුඩා කාලේ ඉඳන්ම මම චිත්‍ර ශිල්පයට හැකියාවක් තිබ්බා. ඉතින් මේ චිත්‍රපටය බැලුවට පස්සේ තමා මගේ ඇඟට සිනමාව කියන දේ දැනිලා උනන්දුවක් ආවේ. ඊට පස්සේ මම සිනමාව හොයාගෙන ගියා.
කොහොමද ගෙදර තිබ්බේ සිනමාවට ඇළුම් කරන පරිසරයක්ද?
ඔව්, මගේ තාත්තාත් පවුලේ හැමෝමත් හොඳ සිනමා රසිකයෝ. ඉතින් අලුත් චිත්‍රපටයක් එහෙම ආවම අපිව එක්කගෙන යනවා. ඒ කාලේ සිනමාව කියන්නේ හරිම සුන්දර ෙදයක්. සිනමාවෙන් තොර වෙන මාධ්‍යක් නෑනේ අපිට. මට මතකයි නුගේගොඩ ක්වින්ලන්ඩ් සිනමා ශාලාව, මෙට්රෝ සිනමා ශාලාව, මරදානේ ගාමිණී සිනමා ශාලාවේ එහෙම අපි චිත්‍රපට බැලුවා.
සිනමාව හදාරන්න පටන ගත්තේ ?
සිනමාවට සම්බන්ධ වෙන්නේ කොයි කාලෙද කොහොමද කියලා නම් ලොකු අදහසක් තිබ්බේ නෑ. යමක් තේරෙන කාලය ආවම සිනමාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා හිතුණා. ඒත් සිනමාව හදාරන්න කියලත් හරි තැනක් තිබ්බෙත් නැහැනේ. පිටරට ගිහින් නම් ඉගෙන ගන්න තිබ්බා. නමුත් ඉතින් අපිට ඒ කාලේ ඒ තරම් වත්කම් තිබ්බෙත් නැහැ. ඒත් සිනමාව ගැන තියෙන ආදරය නම් දවසින් දවස වැඩි වුණා.
ඉතින් කොහොමද ඒ වෙනුවෙන් මඟ හදාගත්තේ?
පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මම සිනමාව ගැන තියෙන පොත පත හදාරන්න පටන් ගත්තා. හොඳ සිනමා නිර්මාණ බලන්න පුරැදු වුණා. විශේෂයෙන් ඒ කාලේ තිබ්බා හොඳ චිත්‍රපට පෙන්වන තැන්. ඉතින් ඒ තැන්වලට ගිහින් චිත්‍රපට බැලුවා. ඒ කාලේ අද කාලෙට වඩා චිත්‍රපට පෙන්වන තැන් තිබ්බා. මට මතකයි මම චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට එහෙම ගිහින් චිත්‍රපට බැලුවා. එහෙම තමා සිනමාව ඉගෙන ගත්තේ.
කොහොමද මේ කර්මාන්තයට අාෙව්?
ඒක මෙහෙමයි. මම චිත්‍ර ශිල්පියෙක් විදියට අර මගේ තිබ්බ චිත්‍ර හැකියාවෙන් චිත්‍ර කතා වලට චිත්‍ර ඇඳලා නමක් හදා ගෙන තිබ්බේ. ඔය කාලේදී තමා රූපවාහිනිය ආවේ. ඉතින් ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා රූපවාහිනියට සම්බන්ධ වෙන්න. එතැනදී මම නාට්‍ය කිහිපයක්ම කළා. ඊට පස්සේ තමා සිනමාවට ආවේ.
මුල්ම චිත්‍රකතාව මොකක්ද?
මම ඇන්දේ බුදු සරණ පත්තරේට ජාතක කතාවක්.
හරි එතකොට මොකක්ද මුල්ම නාට්‍ය?
මැණික් කැටයම කියන ඒකාංගික නාට්‍යක් කළේ. හැබැයි නාට්‍ය හදන කාලෙත් මගේ ඔළුවේ තිබ්බේ සිනමාව. ඒ නිසා සිනමා රූපරාමු තමා ඒ නාට්‍යවල තිබ්බෙත්.
කොහොමද ලැබුණු ප්‍රතිචාර?
ඉතාම ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. මට මතකයි මහජන බැංකුව තමා අනුග්‍රහය දුන්නේ. ඊට පස්සේ මම නාට්‍ය කිහිපයක්ම කළා. හුමාලය, දිය සුළිය, එක ගෙයි කුරුල්ලෝ වගේ නාට්‍ය. ඒ හරහා මට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදියට හොඳ පිළිගැනීමක් ලැබුණා. ඊට පස්සේ තමා සිනමාවට ආවේ.
සිනමාවේ ඔබේ මුල්ම චිත්‍රපටය?
මහමෙර උසට - 1995 දී
මංගල දර්ශනය තිබ්බේ කොහේද?
ග්‍රෑන්ඩ් පාස් හි අශෝකා සිනමා ශාලාවේ දී
මුලින්ම තමන්ගේ නිර්මාණයක් දැවැන්ත තිරයක දකිද්දී මොකද හිතුණේ?
පුදුමාකාර සතුටක් මම ලැබුවා. මොකද මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුණානේ කියන එකත් එක්ක.
ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මම බලාපොරොත්තු වුණ තරම් සාර්ථක වුණේ නම් නැහැ. ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණේ මගේ දෙවැනි නිර්මාණය වන ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයට.
පළමු චිත්‍රපටය සාර්ථක නොවුණු පසුබිමකදී ඔබ දෙවැනි චිත්‍රපටය කරද්දී මොකද හිතුවේ?
හොඳ වෙලාවට මම පළමු චිත්‍රපටය තිරගත කරන්න කලින්ම දෙවැනි චිත්‍රපටය පටන් අරන් තිබ්බේ.
ඒ කියන්නේ පටන් ගෙන නොතිබුණා නම් දෙවැනි නිර්මාණය නොකර ඉන්න තිබ්බද?
නැහැ නැහැ. එහෙම එකක් නැහැ. හැමෝගෙම ජීවිතවල සාර්ථක අසාර්ථක වීම් තියෙනවා නේ. ඒ වගේම මම ලොකු දුර ගමනක් යනවා කියන අධිෂ්ඨානේ හිටියා. ඒ නිසා ඒවායෙන් සැලුනේ නැහැ. ඒකනේ මේ වෙද්දී චිත්‍රපට 22ක් කළේ.
වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු චිත්‍රපටය මොකක්ද?
මෑත කාලේ කරපු කොස්තාපල් පුඤ්ඤසෝම. ගින්දරී වගේ චිත්‍රපට වැඩිම ආදායමක් සහ වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඊට අමතරව රෝස වසන්තේ, බහු භූතයෝ, යකඩ පිහාටු, බහු භාර්යා වගේ චිත්‍රපට අතිශයින් සාර්ථක වුණා.
ඔබ සිනමාවට එන කාලෙයි අද කාලෙයි බලද්දී දැනෙන වෙනස මොකක්ද?
මම සිනමා සෞන්දර්ය සහ රසිකත්වයේ නම් ලොකු වෙනසක් දකින්නේ නැහැ. මම ප්‍රධාන වශයෙන් දකින්නේ තාක්ෂණයේ දියුණුව තමා. මම වැදගත් විදියට දකින්නේ සිනමා සෞන්දර්යයේ ගුණාත්මක භාවය කියන දේ.
අපි දකින්නේ ඔබ අභියෝග භාර ගන්න කැමති කෙනෙක් වගේ?
ඔව්. මම කැමති අභියෝගවලට. ඒ නිසා තමා එකිනෙකට වෙනස් චිත්‍රපට මම කරන්නේ
බන්ධන කියන්නේ ඔබ මෑතකදී අරගෙන තියෙන අභියෝගය කිව්වොත් හරි. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඔව් බන්ධන කියන්නේ කළු සුදු වගේම ත්‍රිමාන තාක්ෂණය එක්ක කරපු චිත්‍රපටයක්. ඉතින් එවැනි චිත්‍රපටයක් ලාංකික සිනමාවට එක්කරන්න ලැබීම ගැන සතුටුයි. ප්‍රතිචාර ගැන කතා කරද්දී නම් මේක භයංකාර චිත්‍රපටයක් නිසා අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ලැබෙන්නේ නැහැ. නමුත් මම මේ චිත්‍රපටය ගැන තෘප්තිමත් සහ මගේ ඉලක්ක සපුරා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඒ වගේම ලාභ මිස පාඩු ලබන්නේ නම් නෑ.
එදා රන්මුතු දූව බලද්දී ඇති වුණ හැඟීම එක්ක අද ඉන්න තැන ගැන හිතද්දී මොකද හිතෙන්නේ?
ඇත්තටම මේ තත්ත්වය ලබා ගන්න මම බොහෝ කැපකිරීම් කළා. අභියෝගවලට මුහුණ දුන්නා. එහෙම නැතිව උදේ නැගිටලා කාලා බීලා මොනවා හරි කරලා ජීවිතය ගොඩනගා ගන්න බැහැ. ජීවිතයට දැනෙන වෙනස් දෙයක් කරන්න ඕනේ කියන අදහසේ මම හැමවෙලේම හිටියේ. ඉතින් ඒ දේවල් කරන්න හැකියාව ලැබීම ගැන සහ සිනමා කර්මාන්තයේ ස්ථාවරත්වයක් හදා ගන්න ලැබීම ගැන සතුටුයි. ඉදිරියේදී තවත් හොඳ නිර්මාණ කරලා ප්‍රේක්ෂක්යින්ට හොඳ සිනමා ආස්වාදයක් ලබාදෙන්න තමා උත්සාහ කරන්නේ.