2022 අප්‍රේල් 03 වන ඉරිදා

එහෙව් පූස් ප්‍රේමයක්!

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 69

ලෝකය කියලා කියන්නේ දස දහස් ගණනක් බැඳීම් නිසා නිර්මාණය වුණු වියමනකට. මානවයෝ විදියට ලෝකයේ බැඳීම් පිළිබඳ කෙළ පැමිණි පිරිස අපි. ඒත් බැඳීම් තියෙන්නේ මිනිස්සුන්ට විතරද? නෑ. එතකොට හැඟීම්. මේ ඇසිල්ලේ ඒ ගැන හිතන්න අපූරු නිමිත්තක් හම්බවුණා.

අපූරු පෙම්වතෙක් අපේ ගෙවල් පැත්තේ මේ දවස්වල කැරකෙනවා. පෙම්වතිය ඉන්නේ අපේ ගෙදර. ඒ ප්‍රේම කතාවේ ඇසිල්ලක් සජිවීකරණය කරන්නයි ලෑස්තිය. තාමත් අපේ මිදුලේ කතාව රෑපගත වෙනවා. මේක වෙනස්ම බැඳීමක්. පූස් ප්‍රේමයක්. විශ්වාස කරන්න ඔයාලා හිතනවට වඩා මේ ප්‍රේම කතාව සුන්දරයි. ඒ වගේම සංවේදියි.

උදේ අව්වේ අමුතු සනීපයක් තියෙන නිසා නිවාඩු දවස්වල මම මෙහෙම මිදුලට බහිනවා ඉඳලා හිටලා. ගහ කොළවල සිසි සිලිය කුරුල්ලන්ගේ කිචි බිචිය හම පිච්චෙන ඒත් සීතල අව්ව... මේ වගේ උදෑසනක් ගැන හැඟීම අකුරින් වදනින් ලියා තියන්න බැරි තරම්. මේ වෙලාවට මිදුලට බහින තවත් කෙනෙක් ඉන්නවා. එයා තමා මේ කතාවේ කතා නායිකාව. කිටී එහෙම නැත්නම් බන්චී එහෙමත් බැරිනම් කිට්සං... මේ වගේ නම් තව සෑහෙන එයාට තියනවා ඉතින්.

කිට්සං කොල්ලෙක් කියලා කියන්නෙ මම එයාට එයාගේ හිත හදන්න, ඒත් එයා කෙල්ලෙක්. එයාට පුංචි කාලේම සැත්කමක් කරලා නිසා එයා පූස් පිරිමි ළමයින්ට හරි බයයි. කොහොම හරි මේ දවස්වල එයාගේ පස්සෙන් එනවා කෙනෙක් එයාගේ නම ජපන් පූස්. එයා ඇස් හීනී මූණ ලොකු ටිකක් මහත පිරිමි ළමයෙක්. ඇත්තටම අපි දන්නේ නෑ එයාගේ අයිතිකාරයෝ කවුද කියලා. හැබැයි මෙයා කලබලකාරයෙක් නම් නෙවෙයි. ඒ වගේම ජපන් අපිට එච්චර බයත් නෑ.

ඉතින් මෙයා සෑහෙන්න කාලෙක ඉඳලා අපේ ගෙවල් පැත්තේ කැරකෙනවා. අද තමා හරියට හේතු පැහැදිලි වුණේ. ඔන්න මම උදේ එළියට බහිනකොට අපේ කිට්සං ඉන්නවා මිදුලේ කළු ගල් උඩ වැතිරිලා. ඒක නම් ඉතින් සාමන්‍ය දෙයක්නේ. මෙන්න ඊට ටිකක් එහායින් පරණ දෙල් මුල ලඟ ජපනුත් ඉන්නවා කිට්සං දිහා බලාගෙන. ජපන් ඤාව් ඤාව් ගානවා හරිම හිමීට අමුතු ස්වරයකින්. මට මුලින්ම හිතුනේ ජපන්ව එළවලා දාන්න. ඒත් සිතුවිල්ලට ගොඩක් ආයුෂ තිබ්බේ නෑ.

මම පුළුවන් තරම් ඉක්මනට  ඉස්තෝප්පුවට ගොඩවුණා. ගැලරියේ සුවපහසු ආසනයකට ඇවිල්ලා දැන් මේ සජීවී පූස් ප්‍රේම කතාව බලාගෙන ඉන්නවා. මුලදී කිසිම හැල හොල්මනක් තිබ්බේ නෑ. ජපන් ඉඳලා හිටලා දාන අමුතු සද්දේ විතරයි. අපේ කිට්සං ජපන් දිහා බලාගෙන ඉන්නවා. මේක හරිම සාමාන්‍ය දෙයක් වගේ පෙනුණාට ඒක එහෙම නෙවෙයි. සාමන්‍යයෙන් අපේ කිට්සංට තව පූසෙක්, බල්ලෙක්, කපුටු බෑනෙක් මෙහෙම පාට් එකක් දැම්මොත් අපේ කෙනා කෙන්ම ගේ ඇතුලේ මුල්ලක තමා නතර වෙන්නේ.

ඒත් මෙයා ජපන්ට බය නෑ. ඒ වගේම ජපනුත් මෙයාට තග දාන්නේ නෑ. හැබැයි දැන් මෙතෙන මුකුත්ම සිද්ධවෙන්නේ නැති නිසා මගේ අවධානය බිඳිලා මම හිටියේ සිතුවිලි වියමනක් කරන ගමන්. මෙන්න මාර වැඩේ. අපේ කිට්සං එකපාරටම පෙරලිලා දික් ඇදිලා බඩ පෙන්නලා අමුතු පූස් පාට් එකක් දැම්මා. සාමාන්‍යයෙන් නම් මෙයා මේ පාට් එක දාන්නේ අපි කවුරු හරි කොහේහරි ගිහිල්ලා ගෙදර එනකොට නැත්නම් එයා එක්ක සෙල්ලම් කරන කොට.

මේ පාට් එක එක්ක ජපන් පූසා හරියට කලබල වුණා. එකපාට නැගිටලා කිට්සං පැත්තට ටිකක් ඇවිල්ලා. එකපාරට කිට්සං කරා වගේ බිම පෙරළිලා අර පූස් පාට් එකම දැම්මා. ඈ... මොකක්ද ඒ වුණේ ජපන් දැන් හරිම උද්දාමයට පත්වෙලා ඉන්නේ හරිය. මාස ගාණක් පස්සෙන් ගියපු ගෑනු ළමයා එක දවසක ලස්සනට හිනාවෙලා පියාම්ඹන හාදුවාක් දුන්න වගේ වැඩක් ජපන් පූස්ට වුණේ. ඉතින් දැන් මෙයා අර අමුතු ස්වරේ ඤාව් ඤාව් එක උච්ච ස්වරවලට ගෙනත්.

කොහොම හරි ජපන් පූස් ළඟට ඒමත් එක්ක අපේ කිට්සං ටිකක් කලබල වෙලා. මුලින්ම කිව්වානේ පොඩි කාලේම සැත්කමක් කරපු නිසා මෙයා පිරිමි ළමයින්ට බයයි. ඒත් අවුරුදු පහක් විතර කිට්සං ගතකළේ තනිකඩ අමුතු ජීවිතයක්. මට හිතෙන විදිහට මේ කිට්සං පළවෙනි වතාවට තමා මෙහෙම හැසිරුනේ. ජපන් පූස් ඇස් හීනි මහත තඩියෙක් වුණත් තරමක් නිවුණු පිරිමි ළමයෙක්නේ. ජපන් කිට්සංට බැල්ම දැම්මට අනික් අය වගේ එච්චර කරදර කරන්න ආවේ නෑ මෙච්චර කාලෙකට.

ඒත් ඔන්න ජපන් හිමීට හිමීට කිට්සංට කිට්ටු වෙනවා. කිට්සං නැගිටලා පස්සට යනවා. දැන් කතාව උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. ජපන් පූස්ට පියාම්ඹන හාදුවක් දිපූ අපේ එක්කෙනා දැන් හැසිරෙන්නේ ''මට ඈණුමක්නේ ගියේ, ඕවට නම් එන්න එපා හරිද'' වගේ. ඒත් ලොකු කලබලයක් නෑ කෑකෝ කසා ගැනීම් නෑ ජපන් පූස් නම් හිමීට මුමුණනවා. දෙන්න එක තැන වටයක් කැරකුණා. කිට්සං හිමීට ගේ පැත්තට ටිකක් ආවා. ආ අයියෝ.. අකමැත්ත ප්‍රකාශ කළාද කොහෙද?

අන්න ජපන් පූස් බලාපොරොත්තු අතහැරලා... පාර පැත්තට යනවා. යන ගමන් බාල ස්වරයකින් මොනවද මුමුණනවා. ආ එයා ගියා. කිට්සං ගේ ළඟ ඒත් තාම මිදුලේ ජපන් පූස් ගියපු පැත්ත බලාගෙන. ම්ම්ම්... මොකක්ද ඒ වුණේ බැඳීම් කෙළපැමිණි මනුෂ්‍ය වර්ගයාට අයිති වුණත් ඒ සිද්ධ වෙච්ච දේ පැහැදිලි කරන්න ලේසි නෑ. කිට්ටසංට ජපන් ගැන ආදරයක් ඇති වුණා. ඒත් අර සැත්කම නිසා කිට්සං බයයි. හිතට පොඩි දුකකුත් දැනෙනවා. එතකොට ජපන් පූසාත් එහෙම හැසිරුනේ ඇයි...? අනේ මන්දා.

පූස් යුද්ධ ගහ මරාගැනීම් තුවාලවීම් නම් මම ඕනෑතරම් දැකලා තියනවා. ඒත් මේ වගේ දෙයක් දැක්කේ පළවෙනි වතාවට. බැඳීම් කියන්නේ හරි පුදුම දෙයක්. ඒත් ඊටත් වඩා පුදුමාකාර දෙයක් තියනවා. ඒ තමා බැඳීම් ඇතිකරන හැඟීම්. ඇත්තට සතුන්ට හැඟීම් තියනවාද? ඒවා ඇතිවෙන්නේ කොහොමද? ම්ම්ම්... හිතන්න ඕනෑ. ආ අද ඕනෑ තරම් වෙලාව තියනවා. එහෙනම් ජංගම අකුරු කිරිල්ල නතර කරනවා.

ඔන්න දැන් ටිකකට කලින් කිට්සං ගෙට ගියා. ආ... මහන මැෂිම උඩ නිදි.

I නිසල්