2022 අප්‍රේල් 03 වන ඉරිදා

එයාට අමුතු අමුුතු ආසාවල් තියෙනවා

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:01 1505

නිදියහනේ සැමියාගේ හැසිරීම් දරාගන්න අමාරුයි

මම එක්දරු මවක් වෙමි. කාලයක ඉඳන් කාටවත් කියාගන්න බැරි ලොකු ප්‍රශ්නයක් හිතේ හිරවෙලා තියෙනවා. අපි විවාහ වෙලා දැනට අවුරුදු 9 ක් වෙනවා. මගේ සැමියා මටයි දරුවාටයි ගොඩාක් ආදරෙයි. අපි අපේම ගෙදරක ජීවත් වෙන්නේ සමගියෙන් සහයෝගයෙන් ගොඩාක් නිදහසේ. ඉතින්  මා සමඟ ලිංගිකව එක්වෙන්න සැමියා ගොඩාක් වෙලාවට උනන්දුයි. මම ඔහු තේරුම් අරගෙන සිටින නිසාත් ඔහු මගේ සැමියා නිසාත් මගේ ඒකට විරෝධයක් නෑ. ඒත් සැමියාට අමුතු අමුතු ආසාවන් තියෙනවා. සමහර ආසාවන් මට ඉෂ්ඨ කරන්නත් අමාරුයි. සමහර ආසාවන්ට මම ගොඩාක් බයයි. එයා ගොඩාක් කැමතියි කියනවා මගේ ඇඟට. එයා මාව නිරුවත් කරලා මගේ දිහා බලාගෙන ඉන්නවා ගොඩාක් වෙලා. මගේ හැඩ බලනවා. අපි දෙන්නා නිදි යහනේදී ලිංගිකව එක් වෙද්දී එයාගෙ අස්වභාවික හැසිරීම් ගොඩාක් තියෙනවා. බොහෝ ඒවා ගොඩාක් වේදනාකාරීයි. එයා මට ගොඩාක් ආදරේ වුණත් එයා ඒ වෙලාවට හැසිරෙන්නේ වෙනස්ම කෙනෙක් විදිහටයි. එයා ඒ වෙලාවට දරුණු වෙනවා. ඒ වෙලාවට මගේ ගැන හිතන්නේ නෑ. ලිංගිකව එක්වුණාට පසුව මට ගොඩාක් වේදනාකාරීයි. සමහර වෙලාවට තුවාල පවා ඇතිවෙලා තියෙනවා. ඇත්තටම මේ නිසා මම ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ. මගේ සැමියා නිසා මේ ගැන මට කාටවත් කියන්නත් බෑ. ප්‍රතිකාර ගන්නත් යන්න බෑ. හැම අමාරුවක්ම ඉවසා දරාගෙන ඉන්නවා. මට මේ ගැටලුව විසඳාගන්න සහායක් වන්න.

සඳරුවනි - කොළඹ

පිළිතුර:

අසාමාන්‍ය ලිංගික චර්යා දක්වන්නන්ගේ යම් යම් මානසික ආබාධ තිබෙන්නට පුළුවන. සමහර ඒවා ලිංගික අපගමණ ලෙස හඳුන්වනවා. ලිංගික සංසර්ගයේ තිබෙන ඇතැම් දේවලට සංස්කෘතිකමය වශයෙන් සමහර කාන්තාවන් අකමැතියි. එහෙයින් ඔබට ඇති වී තිබෙනවා කියන මෙම ගැටලුව සඳහා ඔබ කළ යුතු සුදුසුම දේ වනුයේ ඔබට ආසන්නම ප්‍රදේශයක සිටින සුදුසුකම් ඇති මනෝ වෛද්‍යවරයකු හෝ මනෝ උපදේශකවරයකු හමුවී සැමියාගේ ලිංගික හැසිරීම කෙබඳුදැයි සාකච්ඡා කරන්න. ඔබ යොමුකර ඇති ප්‍රශ්නයට නිසි විසඳුමක් දීමට පෙර මෙම සිදුවීම සැමියාගේ ලිංගික හැසිරීම වෙනස්වීමේ ගැටලුවක්ද එසේ නැතිනම් බිරිඳ සිතන විදිහේ ගැටලුවක්දැයි සාකච්ඡා කළ යුතුයි. සුදුසුකම් ඇති මනෝ වෛද්‍යවරයකු හෝ මනෝ උපදේශකවරයකු හමුවී සාකච්ඡා කිරීමෙන් ඔබට මෙම ගැටලුව ක්‍රමයෙන් නිරාකරණය කරගැනීමට හැකිය.

නිතරම අත හෝදන්න ඕනෑ 

මම රජයේ ආයතනයක සේවකයෙක්මි. පොඩි කාලේ ඉඳන් පුරුද්දක් විදිහට මම නිතරම අත හෝදනවා. නිතරම සබන් දාලා මට ඇතිවෙනකල් නිදහසේ අත හෝදන්න ඕනෑ. සාමාන්‍යයෙන් එක පාරකට විනාඩි තුන හතරක් යනකල් වගේ අත හෝදනවා. හදිසියට ලාවට අත හේදුවාම මදි කියා හිතෙනවා. යාළුවො කියන්නේ මම වැඩකරන මේසෙට වැඩිය ගොඩක් වෙලාවට ඉන්නේ වතුර කරාමය ළඟ කියලයි. සමහරු අහනවා ගෙදර වතුර ගාස්තුව අඩු කරන්නද මෙහෙදී ඔච්චර අත හෝදන්නේ කියලා. කවුරුන් ඒ මොනවා කිව්වාත් මගේ මේ පුරුද්ද මට නවත්තගන්න බෑ. එක වෙලාවකට ලජ්ජත් හිතෙනවා. ඒත් හැම වෙලාවෙම අත හෝදන්නෙ නැතුව ඉන්න බෑ. ගෙදර ඉඳිද්දිත් හැමවෙලාවෙම අත හෝදන පුරුද්ද නිසා මම ගෙදර අයගෙන් අනන්ත අප්‍රමාණ බැනුම් අහනවා. එක වෙලාවකට කරදරයක් වගේත් දැනෙනවා. මේ පුරුද්ද මට නවත්තගන්න තේරෙන්නෙ නෑ. මට උපදෙසක් දෙන්න.

අනුපම - ඇහැළියගොඩ

පිළිතුර:

මේ ආබාධය හඳුන්වන්නේ ග්‍රස්ථීය අනිවාර්ය අක්‍රමතාව (OCD) ලෙසයි. මෙය සරල ගණයේ මානසික ආබාධයක්. මනෝ වෛද්‍යවරයකු හමුවී ඖෂධ ප්‍රතිකාර ගන්න ගමන් සුදුසුකම් ලත් මනෝ උපදේශකවරයකු මගින් චර්යා ප්‍රතිකාර සැලැස්මක් සකස් කර ප්‍රතිකාර කළ යුතුයි. මෙම ප්‍රතිකාර දෙකම කිරීමෙන් ඔබට මෙය පහසුවෙන් සුව කරගැනීමට හැකිය.

පොඩි කාලේ දුවට කළ විහිළුවට තවම විඳවනවා

මට ඉන්නේ එකම  දුවයි. දූගේ වයස අවුරුදු 16යි. පිරිසක් ඉස්සරහ දූ තවම කෑම කන්න ලජ්ජයි. කොහේ ගියත් කොහෙන් කෑම ලැබුණත් දූ කන්න කැමති නෑ. එයාට එපා කියනවා. සමහර වෙලාවට මේ නිසා අපිත් අපහසුතාවට පත් වෙනවා. දූ අවුරුදු 6දී  විතර  කෑම කකා ඉඳිද්දී එයාගෙ නැන්දලා කිහිපදෙනෙක් එයාට විහිළු කළා. නැන්දා කෙනෙක් එයාට කියලා බත් කටක් කවා ගත්තා. දූත් නොතේරුම් කමට පුළුවන් විදිහට කැව්වා. ඊටපස්සෙ එදා දූ ඒ පිරිස ඉන්න තැන ඔළුව පහත් කරගෙනමයි කෑම කෑවේ. ඒකටත් ඒ නැන්දලා ආයෙත් විහිළු කරන්න ගත්තා. ඒ වෙලාවෙ මම දූගේ ඔළුව අතගාලා හිත හැදුවත් දූ ඔළුව ඉස්සුවේ නෑ. දිගින් දිගටම කරපු විහිළු නිසා දැනටත් දුව සමහර දවසට ඉස්කෝලෙ ගෙනියන කෑම එක කන්නෙ නැතුව ගෙදර ගේනවා. අදටත් පිරිසක් ඉන්න තැන දූ ඔළුව පහත් කරගෙන පිඟාන දිහාම බලාගෙනයි කන්නේ. එහෙම කන්නත් ලොකු වෙලාවක් ගන්නවා. කකා ඉද්දි බාගෙට නවත්තපු වෙලාවල් තියෙනවා. මට දුව ගැන දුකයි. අපි ගෙදරදී දූගේ මේ පුරුද්ද වෙනස් කරන්න උත්සාහ කළත් ඒක කරගන්න අපට බැරිවුණා. දූගේ මේ පුරුද්ද වෙනස් කරගන්න අපි මොකක්ද කරන්න ඕනෑ.

නිලානි - වේයන්ගොඩ

පිළිතුර:

මෙවැනි එක් සිද්ධියකින් යම් චර්යාවක් ඇතිවන්න පුළුවන්. හැබැයි ඒ චර්යාව එක දිගට පැවතීම, දිගටම පවත්වාගෙන යාම සිදුවන්නේ එම චර්යාව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ඇයට සැකසී තිබීමෙන්. කුඩා කල පටන් මෙම පුරුද්ද දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය උපස්ථම්භනයට එනම් එය සරලව කියනවා නම් මේ පුරුද්ද දිගටම කරන්න ගෙදරින් පෝර වැටෙන්න ඇති. මෙලෙස අසාමාන්‍ය චර්යාවක් දීර්ඝකාලීනව ඇතිවන්න නිවෙසේ පරිසරයත් බලපාන්න ඇති. එයට අමතරව මෙම දැරියගේ තක්සේරුවක් කර මෙම චර්යාවට හේතුව ඉහත කී සිද්ධිය පමණක්ද එසේ නැතිනම් විශාදය කාංසාව වැනි ආබාධ තිබෙනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. මනෝ වෛද්‍ය සායනයකින් මේ පිළිබඳ තක්සේරුවක් කළ යුතුයි. සමහරවිට මෙම තනි සිද්ධිය මානසික ගැටලුවක එක් කොටසක් පමණක් විය හැකියි. මේ සඳහා සුදුසුම පියවර වන්නේ ඔබ ‍ප්‍රදේශයේ ඇති මනෝවෛද්‍ය සායනයට ගොස් මෙම සිද්ධිය පවසා මේ පිළිබඳ තක්සේරුවක් කරගන්න. මේ ආකාරයට ඔබේ දුවගේ පුරුද්ද පහසුවෙන් වෙනස් කර ගත හැකියි.

ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන්  හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන