2022 අප්‍රේල් 03 වන ඉරිදා

සාමාන්‍යයෙන් අසාමාන්‍ය හැමදේම පිස්සුවක්ද?

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 72

සාමාන්‍යයෙන් අසාමාන්‍ය හැම දෙයක්ම ඔබ සලකන්නෙත් උන්මාදයක් විදිහටද? එතකොට අසාමාන්‍යයෙන් සාමාන්‍ය හැම දෙයක්ම... මොකද්ද ඔයාගේ උත්තරය... මට හිතෙන්නේ යමක් සාමාන්‍යද අසාමාන්‍යයද යන්න තීරණය වෙන්නේ සාපේක්ෂව...මම හිතන්නේ ඔබ දකින සාමාන්‍ය තුළ යමක් අසාමාන්‍ය වූ පමණින් එය විකෘතියක් වෙන්න බෑ. විකෘතිය කියන දේ අපි නිර්වචනය කරන්නේ ප්‍රකෘතිය ඉක්මවා යන තැනක නිර්මිතයක් විදිහට... එහෙත් ප්‍රකෘතිය කියන්නෙත් නිරපේක්ෂ සිද්ධාන්තයක් නෙවෙයි... එතකොට ඔබ කොහොමද යමක් විකෘතියක් ලෙස අර්ථකථනය කරන්නේ.

ජංගි හොරා චිත්‍රපටය බලද්දි මගේ හිතට ආව සිතුවිලි තමයි ඒ.. සදාචාරය කියන එක හරිම ගෝත්‍රිකවාදී මානසිකත්වයකින් දෘෂ්ටියකින් දකින අමුතුම සංස්කෘතියක අපි ජීවත් වෙන්නේ. ජංගි හොරා චිත්‍රපටයෙන් කියවන්නේ ගැහැනුන්ගේ යට ඇඳුම්, යට කලිසම් සොරකම් කරන්න පුරුදු වුණු ඒවා ළඟ තබාගැනීමෙන්, ඉඹ බැලීමෙන් ආස්වාදයක් විඳින තරුණයකුගේ මානසිකත්වය සහ එම තරුණයාගේ මානසිකත්වය අවබෝධ කර නොගත් සමාජය විසින් විඳින අනේක විධ අඩන්තේට්ටම් ගැන ප්‍රස්තුතයක්. සාමාන්‍ය පොදු සමාජයට අනුව ඔහු විකෘති මිනිසෙක්. අපරාධකරුවෙක්. සමාජයෙන් දඬුවම් ලැබිය යුත්තෙක්. එහෙත් ඔහු සාමාන්‍යයෙන් අසාමාන්‍ය මානසිකත්වයක පසුවන සමාජයේ අනුකම්පාව ලැබිය යුතු පුද්ගලයෙක් විදිහට තේරුම් ගන්න හුඟාක් අයට බෑ.

ඔහු ලිංගිකමය තෘප්තියක් ලබන්නේ ගැහැනියකගේ ලිංගික අවයව අගතෑමෙන්, අල්ලා බැලීමෙන්, ස්පර්ශ කිරීමෙන් සහ එම යට ඇඳුම් එකතු කර ඔහු සන්තකයේ තබාගැනීමෙන්. 

එම සිනමාමය ප්‍රස්තුතයට බඳුන් වන ආකාරයේ පිරිමින් මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. ඇත්තටම එය පොදු සමාජයට අනුව විකෘතිමය මනෝභාවයක්. ඇයි ඔවුන් ඒ තත්ත්වයට පත්වෙන්නේ. මනෝ විද්‍යාත්මකව ඊට හේතු රුසක් තියෙන්න පුළුවන්. එහෙත් සැබැවින්ම එවන් පුද්ගලයන් විකෘති කාමතුරයන් ලෙස සලකමින් ඔවුන් එක හෙලාම සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීම කොයි තරම් දුරට මානුෂවාදී න්‍යායන් සමඟ සම්මුතිකද යන වග විචාරශීලී විමසුමකට ලක්විය යුතුමයි.

කෙනෙක් සමාජයෙන්, තමන් අසල සිටින්නන්ගෙන් ප්‍රතික්ෂේප වෙද්දි තමන්ගේ හිතට දැනෙන හැඟීම කනස්සල්ල කොයි තරම් වේදනාත්මකද කියලා අත්දැකීමෙන්ම අත්විඳිය යුතු දෙයක්. හුඟාක් දෙනෙක් සංවේදීව අනුකම්පා සහගතව නොසිතුවාට ඒ මානසිකත්වයට පත්වූ හැම කෙනෙක්ම ඉල්ලන්නේ හොයන්නේ ආදරය, අවධානය, සැලකිල්ල.

ඉස්මතු වී නොපෙනුණාට විකෘතිකාමී හැඟීම්, ආකල්ප, චර්යාවන් අපි හැමෝම ළඟ තියෙන්න පුළුවන්. එහෙත් ඒ දේවල් විශේෂීකරණය වී පෙනෙන තැන් විතරයි අපි විකෘතියක් ලෙස හෝ අසාමාන්‍යතා ලෙස අර්ථ දක්වන්නේ. ඒ වගේම අපි කවුරුත් නිශ්චිතව දන්නෙ නෑ ඊළඟ මොහොතේ අපි කොයි තරම් අවිනිශ්චිත දුෂ්කර මානසිකත්වයකට පත්වෙයිද කියලා. ඒ නිසා හුඟාක් දේවල් දිහා සමාජය බලන සමාජය නිරීක්ෂණය කරන පොදු දෘෂ්ටියෙන් නොව සංවේදී සානුකම්පික, මානුෂවාදී දෘෂ්ටියකින් ඔබ බැලිය යුතුයි කියන පණිවිඩය මේ සිනමා රෑපකාරකය ඔස්සේ සමාජයට ප්‍රදානය කරනවා.

සම්මතය කියන්නේ මිනිස්සු විසින් නිර්මාණය කරන ලද දෙයක්. අසම්මතය කියන්නේ සම්මතය ඉක්මවා යන තැන නිරායාසයෙන් ඇතිවන දෙයක්. එහෙත් මානව සමාජය ශිෂ්ඨාචාරගත වීමට පෙරාතුව මේ කිසිදු රාමුවක් තුළ මානව ආකල්ප හෝ සිතුවිලි මෙන්ම චර්යාවන් කොටු වී තිබුණේ නැහැ. මට හිතෙනවා මිනිසුන් සාමාන්‍යයෙන් අසාමාන්‍ය වුණේ අස්වාභාවික ලෙස ශිෂ්ඨාචාරගතකරණයට හා සංස්කෘතිකකරණයට මානවයා ලක්වීම නිසා කියලා.

එතකොට වරද තියෙන්නේ කොතනද? වරදේ මූලයන් සොයාගෙන අපි බොහෝ ඈත අතීතයකට යා යුතුයි කියලයි මට හිතෙන්නේ.

 

සංජු