2022 අප්‍රේල් 10 වන ඉරිදා

මහමුහුදේ අමුතු රසට අමුතු ජීවිතයක්

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 136

මේ ලෝකය කොතරම් පුදුමාකාරද? මිනිස්සුන් ජීවත්වීම වෙනුවෙන් කොතරම් පුදුමාකාර දේ කරනවද? ධීවර වරායේ සිට ගෙදර එන ගමනේ තමා ඒ සිතුවිලි සිත ඇතුළේ විසිරුනේ. යතුරුපැදිය සුළං කපා ඉදිරියට ඇදෙන කොට මේ ධීවර ජීවිත ගැන තව තව දේවල් ඔළුවට ආවා. හම්..ම්... ''මේ සතියේ මම මේ කතාව ලියනවා'' ඉතින් එහෙම හිතාගත්තේ ධීවර වරායේ ඉඳලා මරදාන පාරේ මුහුදු හුළං වැදි වැදී ගෙදර එද්දී... හවස්වරුවේ ගෙදර හිටපු නිසා යාළුවෙක් කතාකරලා ඇහුවා ''වරාය පැත්තට පොඩ්ඩක් ගිහින් එමුද මචං'' කියලා. ඉතින් මාත් හා කියලා යාළුවගේ යතුරුපැදියේම ගියා ඒ පැත්තට. මිත්‍රයාගේ බෝට්ටුවට බඩු පටවනවා. මසෙක විතර ගමනකට බඩු... අනික් පැත්තේ ඒ වගේම ගමනක් ගිහිල්ලා ආපු බෝට්ටුවක මාළු බානවා. ඇත්තම ජීවිතය ගැන මහ පුදුමාකාර හැඟීමක් මට ඒ වෙලාවේ ඇති වුණේ.

ලීටර් පහේ හිස් වතුර කෑන් කපලා ඒවට එළවළු ජාති පුරවලා ආයේ වහනවා. බෝට්ටුව තල්ල මත්තේ කිහිප දෙනෙක් මේ වැඩේ කරන අතරේ බොට්ටුවේ ස්කීපර් තැන වැඩ වෙන්න ඕනෑ විදිහ ගැන උපදෙස් දෙනවා. මෙහෙම මාළු, මිරිස්, එළවළු ජාති පුරවපු බෝතල් බෝට්ටුවේ අයිස් තිබෙන කාමරයට තමා යවන්නේ. එක්කෙනෙක් ඒ රාජකාරි බාරගෙන ඉන්නේ. අයිස් අස්සේ තමා මේ කෑම බීම ගබඩා වෙන්නේ මට හිතෙනව විදිහට.

රැකියාව කියන්නේ මහා පුදුමාකාර දෙයක්. ජීවිතය රැකෙන්න මිනිස්සු මහ පුදුම විදිහේ දේවල් කරනවා. බහුදින ධීවරයා කියන්නේ ජීවත් වෙන්න පුදුමාකාර අවදානමක් ගන්න මනුස්සයෙක්. නැවක වගේ පිළිවෙළට කිසිම දෙයක් නෑ. ඒත් මෙයාලාට එයාලාගේ පිළිවෙළක් ක්‍රමයක් තියෙනවා. මාසයක් හමාරක් මහ මුහුද මැද්දේ අඩි පනහක් හැටක් දිග බෝට්ටුවක පස් හයදෙනෙක් ජීවිතය ගැට ගහගෙන මාළුත් අරං ගොඩට එනවා කියලා කියන්නේ පුදුමයක් නෙවෙයිද?

ගෙදර ඇවිල්ලා සිද්ධිය අකුරු කරන්න පටන් ගත්තත් මම ජීවත් වෙන්නේ ඒ ඇසිල්ලේ. ඒ හැඟීම් කිසිම දෙයක් අකුරු කරන්න ලේසි නෑ. ඒ මුහුදු යන මිනිස්සු එයාලා හරියට දිය කිඳුරෝ වගේ. අවුරුද්දේ වැඩිම කාලයක් ජීවත් වෙන්නේ මහ මුහුදේ. ඒ ජීවිතය තේරුම් ගන්න ගොඩබිම ජීවත් වෙන අපිට ලේසි නෑ. මම ඒ බෝට්ටුවේ හිටපු මුළු කාලය පුරාම උත්සාහ කළේ තෙරක් නොපෙනෙන මහ මුහුද මැද්දේ මේ අය ගෙවන දවස් තේරුම් ගන්න. ඒක මට අර මාළු බාන බෝට්ටුවේ දසුන උදව් වුණා.
බෝට්ටුවක මාළු බානවා කියලා කියන්නේ වෙනම රාජකාරියක්. ටොන් ගණනක් මාළු මේ වගේ බෝට්ටුවල අරගෙන එනවා. ආ... එහා පැත්තේ මාළු ලොරියක් නවත්වලා තියෙන්නේ. ඒකට තමා අයිස් ගගහා කට්ටිය මාළු පටවන්නේ. මේ බෝට්ටුව කොප්පරු ඩප්පරු අල්ලන්න ගියපු බොට්ටුවක්ද කොහෙද? මෝරුත් ඉන්නවා මම හිතන්නේ. ඉරාදාපු කඳන් වගේ මාළු කෑලි කොක්කක අමුණලා බොට්ටුව ඇතුළේ අයිස් කාමරෙන් එළියට ගන්නවා. දෙන්නෙක් එක්ක ඒක උස්සලා පියර් එකට දානවා. ඒකෙන් වතුර හෝස් එකකින් අර ලී කඳන් වගේ මාළු කෑලි හෝදනවා.

එතකොට මෙහෙම මුහුදු යන මිනිස්සු නේද අර වගේ මාළු අල්ලන්නේ. මම මේ අය දිහා හොඳට බැලුවා. අපි වගේ සාමාන්‍යය ඇඟපත තියෙන මිනිස්සු. ඇත්තටම පුදුමයි. අද මේ බෝට්ටුව පිටත් වෙනවා. මිත්‍රයා ආවේ බෝට්ටුව පිටත් කරන්න. ආ... ලූනු නම් අර විදිහට අයිස් අස්සේ ගහන්නේ නෑ. එක්කෙනෙක් ලූනු ටික දැලකට දාලා ඒක බෝට්ටුවේ පිටිපස්සේ එල්ලුවා. එතකොට බුලත් එහෙම අරගෙන ආවේ දැන්. බුලත් විට කියන්නේ මේ ගමනේ අනිවාර්ය අංගයක්. කතාවේ විදිහට පිරිසෙන් එක්කෙනයි විට නොකන්නේ. බුලත් මිල ගැන කතා අතරේ ස්කීපර් තැන අපූරු යෝජනාවක් ගේනවා.

''කවුරු හරි ගිහින් පාන් අරගෙන එන්න අද යන ගමන් පාන් කමු....'' මුහුදු ගමනකදී කොහොමද පාන් කන්නේ. ඒ නිසා පිටවෙන දවසේ රූට තමා ඒ වගේ කෑමක් කන්න පුළුවන්. ඔන්න එක්කෙනෙක් ඒකට ඉදිරිපත් වෙලා පාන් ගේන්න ගියා. ආ... අමතක වුණා... මගේ මිත්‍රයා කියන විදිහට මේ ගමන කෑම බීමවලින් අඩුපාඩුවක් කරන්න බෝට්ටු අයිතිකාරයෝ වගේම මේ ධීවරයොත් අකමැතියි. ඒ නිසා කෑම බීම උපරිමයක් මෙයා අරගෙන යනවා. ඇත්ත තමා මේ වගේ ගමනක කෑම තමා වැදගත්ම. ආ ඒ වගේම වතුර. බෝට්ටුවේ පල්ලෙහා තියන වතුර උඩට ගන්න මෙන්න මෙතන නළ ලිඳක වගේ ලීවරයක් තියෙනවා.

ඔන්න එක්ෙකනෙක් මගේ මිත්‍රයාට දුම් කබලක් දුන්නා සුවඳ දුම් කුඩු එක්ක. මේ වගේ ගමනක් යනකොට වෙනම විශ්වාස පද්ධතියක් තියෙනවා. දෙවියන් සම්බන්ධව මේ අයට තියෙන්නේ ලොකු විශ්වාසයක්. මේ ගැන මිත්‍රයා වගේම ධීවර කර්මාන්තයේ නිරතවෙන අය මීට කලින් මාත් එක්ක කියලා තියෙනවා. දැන් බෝට්ටුව වටේ මිත්‍රයා දුම් අල්ලනවා. අස්සක් මුල්ලක් මඟ හරින්නේ නැතුව හැම තැනකටම. ස්කීපර් තැනත් පිටත්වෙන්න කලින් කළයුතු රාජකාරි ටික කරනවා. මම හිතන්නේ දැන් හැමදේම ලෑස්තියි. අන්න පානුත් අරගෙන ඇවිල්ලා.

අපි මේ හැම දෙයක්ම දකින්නේ මතුපිටින්. ඒත් මේ හැමදේකම ගැඹුරක් තියෙනවා. හරියට මහ මුහුදේ වගේ. මම මෙතැනට පිටස්තරයෙක්. අල්පමාත්‍රික දැනීමක් මට මේ ගැන නෑ... ඒත් අර කොප්පරු ඩප්පරු දැක්කම මට මේ ගමන ගැන පුදුම හිතෙනවා. හැම රස්සාවකට හැඩක් තියනවා. ඒත් මේ රස්සාවට තියෙන්නේ වෙන රස්සාවක් කරන කෙනෙක්ට හිතාගන්න බැරි අමුතුම හැඩක්. මේ අයගේ කතා බහ බලාපොරොත්තු හරිම වෙනස්. ඒත් ඒ හැමෝම කරන්නේ ඔයාලා අපි වගේ ජීවත් වෙන්න උත්සාහ කරන එක තමා.

ම්ම්ම්... ඒ ගතකරපු හැන්දෑව ගැන නැවත නැත සිහිකර කර මේ සටහන ලියන එකත් හරි අමුතු වැඩක් නේද? ඒ කියන්නේ අපේ රස්සාවලත් මහා අමුතු වැඩ තියෙනවා. මේ ලියවිල්ලත් ඒ ජාතියේ එකක්.

කොහොම හරි බෝට්ටුව දැන් පිටත් වෙන්න ලෑස්තියි. මගේ මිත්‍රයයි මමයි බෝට්ටුවෙන් බැහැලා මේ අයට ගමනට සුභ පැතුවා. ඊට පස්සේ බෝට්ටු අතරින් බේරි බේරී බෝට්ටුව වරායෙන් පිට වෙන්න ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තා. ඒ වැඩේ ලේසි නෑ. බෝට්ටු සිය ගණනක් ධීවර වරායේ තියෙනවා. ඇත්තමයි ගොඩබිම වගේ නෙවෙයි මුහුදේ. හරිම සීරු මාරුවට මේ බෝට්ටු අතරින් ඉස්සරහාට යන්න ඕනෑ. මේ අතර අපි දෙන්නා යතුරු පැදියට ගොඩවෙලා කෙච්චිමලේ පල්ලිය පැත්තෙන් දිය කඩනයේ කෙලවරට ආවා. දැන් මෙතැනින් තමා බෝට්ටුව පිටවෙන්න ඕනෑ.

අපි ටිකක් වෙලා බලාගෙන හිටියා. මිත්‍රයා කියන විදිහට නාවික හමුදා පරීක්ෂාවන් සහ නීතිමය කටයුතු ටිකක් සිද්ධවෙනවා මේ දිය කඩනයෙන් බෝට්ටුව පිටත් වෙන්න ඉස්සෙල්ලා. ඒකයි මේ පමාව. ''ආ.. අන්න බෝට්ටුව'' මිත්‍රයා ටික වෙලාවකට පස්සේ පෙන්නුවා. බෝට්ටුව හිමිහිට දිය කඩනය අද්දරට එනකොට අපි අත වැනුවා. එකෙන් බෝට්ටුවේ තල්ල ළඟට ගිහිල්ලා බෝට්ටුවට තට්ටුවක් දැම්මා. හැමෝම ආගම සිහිකරනවා. ම්ම්... මාත් හිතින් ප්‍රාර්ථනා කළා මේ හැමෝට යහපතක් වෙන්න ඕනෑ. වැඩි වැඩියෙන් අස්වනු අරන් එන්න පුළුවන් වෙන්න ඕනෑ....!

I නිසල්