ත්‍රීවිලර් රියදුරුගෙන් බේරුමක් නෑ
මා වයස අවුරුදු 21ක ගැහැනු ළමයෙක්. මේ දවස්වල පෞද්ගලික ආයතනයක පාඨමාලාවක් හදාරනවා. මා සාමාන්‍ය පෙළ කරන කාලේදී මුහුණු පොතෙන් හමුවුණු අයියා කෙනෙක් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා. දැනට මාස හයකට විතර කලින් ඒ සම්බන්ධය නැවතුණා. නමුත් මට තවමත් ඒ අයියාව අමතක කරන්න අමාරුයි. ඒ අයියා ඇත්තටම හොඳ කෙනෙක්. මාව ගොඩක් හොඳින් බලාගත්තා. අපි හඳුනගෙන අවුරුදු ගණනාවක් වුණත් හැමදාම එයා මාව ගොඩක් පරිස්සම් කළා. මට ඉගෙනගන්නත් උදව් කළා. ඒත් අපි දෙන්නාගේ සම්බන්ධයට ගෙවල්වලින් විරුද්ධ වුණා. ඒ අයියාට හිටියේ තාත්තා විතරයි. පොඩි කාලෙදිම අම්මා නැතිවෙලා. තාත්තා තමයි එයාව බලාගෙන තියෙන්නේ. ඉතින් තාත්තා අකමැති නිසා ඒ අයියා මගෙත් එක්ක තිබුණ සම්බන්ධය නැවැත්තුවා. එදායින් පස්සේ මට ඉගෙනීමත් එපා වුණා. එයා කරපු දේ නිසා එයාගෙන් පළිගන්න මම ත්‍රීවීල් රියැදුරෙක් එක්ක යාළු වුණා. තවම මේ ගැන අපේ ගෙදරින් දන්නෙ නැහැ. හැබැයි මම කලින් යාළුවෙලා හිටිය අයියා දන්නවා. එයා මාව අත්හැරලා ගියත් මට කියනවා ජීවිතේ විනාස කරගන්න එපා කියලා. මම දන්නවා ත්‍රීවීල් රියැදුරෙක් එක්ක මම යාළු වුණ නිසා එයා ගොඩක් දුකෙන් ඉන්නේ. එයා කරපු දේ නිසා දුක් වෙන්නම තමයි මම ඒ දේ කළේ. ඒත් දැන් මට තියෙන ප්‍රශ්නය ත්‍රීවීල් රියැදුරුගෙන් මට බේරෙන්න අමාරුයි. ඒ මනුස්සයා තැන තැන ගෑනු ළමයි අමාරුවෙ දාපු කෙනෙක් කියලා මට පස්සේ ආරංචි වුණා. මාවත් එක එක තැන්වලට අරන් යන්න උත්සාහ කළත් මේ වෙනකල් මම බේරිලා හිටියා. දැන් එයා අපේ ගෙදර ඇවිත් මම ගැන අහන්න හදනවා. මම කැමති නැහැ ඒ කෙනාව කසාද බඳින්න. ඇත්තටම කිව්වොත් මම එයාට ආදරය කරන්නේ නැහැ. ඒත් දැන් මට හිතෙනවා මට එයාගෙන් බේරුමක් නැහැ කියලා. සමහර වෙලාවට ඔළුව හැරුණ අතේ යන්න හිතෙනවා. දැන් ඉගෙනගන්න වුණත් හිත හදාගන්න අමාරුයි. මම දැන් කාමරේටම වෙලා ඉන්න පුරුදුවෙලා. අම්ම තාත්තා ගැනත් දුකයි. මට විසඳුමක් හිතාගන්න බැරුව ඉන්නේ.
තිලිණි - ඇඹිලිපිටිය
පිළිතුර:-
පළමුව කිව යුතු වන්නේ ආදර සබඳතාවක් බිඳ වැටීමකදී අනුන්ට පාඩම් උගන්වන්න තමන් අමාරුවේ වැටීම එතරම් නුවණට හුරු කාර්යයක් නොවන බවයි. ඔබට මෙන්ම මෙරට සියලු දියණිවරුන්ට මෙම සිදුවීම ඇසුරෙන් උපදේශයක් ලබාදීමට මම මෙය අවස්ථාවක් කරගනිමි. ප්‍රේම සබඳතා ඇතිවීම නැතිවීම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත් ඔබ හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය රිදවීමට, පාඩම් උගැන්වීමට පීඩනය පිටකර ගැනීමට ඔබ ඔබේ වටිනා කාලය, ජීවිතය නිරපරාදේ විනාශ කරගැනීම ඔබ විසින්ම ඔබට කරගනු ලබන දරුණු අපරාධයකි. එය වරදකි. එය කිසිදා නොකිරීමට සිහි තබාගත යුතුය. ඔබට යම් පාඩමක් උගැන්වීමට අවශ්‍ය නම් එය ඉගැන්වීමට සුදුසු හොඳම ක්‍රමය වන්නේ වඩාත් යෝග්‍ය මාර්ගවලින් ඔබ ඔබේ දියුණුව ළඟාකර ගැනීම පමණමය. අතීතය වළලන්න. එයින් වර්තමානය නිවැරදිව සකසාගෙන අනාගතයට පියමනින්න. ඔබ යොමු කර ඇති ප්‍රශ්නය අනුව මෙම ගැටලුව ඔබට තනිවම විසඳාගැනීමට අපහසු අවස්ථාවක් උද්ගත වී ඇති බවක් පෙනේ. එවන් අවස්ථාවලදී සහාය කණ්ඩායම් (Support Group) ක්‍රමය වැදගත්ය. මවුපියන් දැනුවත් කර ඒ මාර්ගයෙන් මෙම දෙවැනි සම්බන්ධය ප්‍රශ්නයක් නොවන ආකාරයට නවතා දමන්න කටයුතු කරන්න. හැකිතරම් ඔබට සුරක්ෂිත පරිසරයක් (safe environment)සකසා ගැනීමට යොමුවීම උචිතය. අපි සමාජ යථාර්ථයට මුහුණ දිය යුතුම වෙමු. ආදරය ප්‍රේමය වැනි දෙයක් කිසිවකුගෙන් බලෙන් ලබාගැනීමට නොහැකිය. එහෙයින් මවුපියන් වැඩිහිටියන් මාර්ගයෙන් මේ සම්බන්ධය නවතා දමන්න කටයුතු කරන්න. හැකිනම් දුරකතනය ටික කාලයකට ඈත් කර තබාගන්න. දුරකතනයේ අතීත මතක ස්මරණය නොකරන්න. ඔබ පවසා ඇති පරිදි ඔබේ වයස 21යි. මේ ගෙවන්නේ ඔබට වැඩිදුර අධ්‍යාපනයට යොමු විය හැකි හොඳම කාලයයි. එම කාලය අපතේ නොහරින්න. ඔබේ හැකියා ප්‍රයෝජනයට ගන්න. නිතරම වැඩක නිරත ෙවන්න. සුදුසු වෙනත් කාර්යයක නිරත වීමෙන් මෙම ප්‍රශ්න කාලයත් සමඟ විසඳෙයි. ඔබේ හැකියා දියුණු කරගන්න. වැඩිදුර අධ්‍යාපනයට යොමුවී ජීවිතය ජයගන්න.
විභාග ළංවෙද්දී වෙව්ලලා උණ ගන්නවා
මා පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න ගැහැනු ළමයෙක්. වයස 28යි. විශ්වවිද්‍යාලයට යන ගමන් පෞද්ගලික ආයතනයක තාවකාලිකව සේවය කරනවා. නෑදෑ ගෙදරක ඉඳලයි රැකියාවට යන්නේ. පොඩි කාලේ ඉඳලම මම පොඩි දේටත් හරිම ඉක්මනින් බයවෙනවා. මට යාළුවො ගොඩක් නැහැ. විශ්වවිද්‍යාලයේත් මම වැඩකරන ආයතනයේදී මට යාළුවො කවුරුවත් නැහැ. පුංචිම කාලේ නම් යාළුවෝ හිටියා. ලොකු වෙද්දී කවුරුවත් යාළුවො හිටියෙ නැහැ. මම සාමාන්‍ය පෙනුම තියෙන කෙනෙක්. මේ වෙනකල් මම කිසිම පිරිමි ළමයෙක් එක්කවත් යාළුවෙලා නැහැ. යාළුවො ආශ්‍රය කරන්නත් සමහර වෙලාවට මට බයයි. ඒ අය මාව ප්‍රතික්ෂේප කරයි කියලා හිතෙනවා. ඒ නිසා කවුරු එක්කවත් බලෙන් කතා කරන්න මම යන්නෙ නැහැ. පාඩුවේ මගේ වැඩ කරගෙන ඉන්නවා. ඒත් හැමදාම මට මෙහෙම ඉන්න බැහැ කියලා මම දන්නවා. මාව බන්දලා දෙන්න මේ දවස්වල ගෙදර අය කවුරුහරි හොයනවා. ඒත් මම තවම කසාද බඳින්නත් බයයි. ලබන මාසයේ මට විභාගයකට මුහුණ දෙන්නත් තියෙනවා. ඒත් විභාගයට මුහුණ දෙන්න තියෙන බය නිසා පාඩම් වැඩ මොකුත්ම කරන්න හිතෙන්නෙත් නැහැ. ඉස්කෝලේ යද්දීත් විභාග තියෙන දවස්වලට මට අනිවාර්යෙන්ම මොකක් හරි අසනීපයක් හැදෙනවා. සමහර දවස්වලට විභාගයට කලින් දවසේ වෙව්ලලා උණත් හැදෙනවා. මට මේ දේවල් පාලනය කරගන්න අමාරුයි. මගේ තනියට කවුරුවත් මට නැහැ. මට මේවට තනියම මුහුණ දෙන්නත් බැහැ. මේ නිසා මම ලොකු පීඩනයක ඉන්නේ.
සමනලී - දෙබරවැව
පිළිතුර:-
තමන් පිළිබඳ තමන් ධනාත්මක චින්තනයක සිටිය යුතුයි. සෘණාත්මක ආකල්ප බැහැර කර මනස ධනාත්මක ආකල්පවලින් පුරවා ගැනීමට ඔබට විධිමත් සහායක් අවශ්‍ය වෙනවා. ඔබ යොමුකර ඇති ප්‍රශ්නයේ සඳහන් ආකාරයට ඔබට කාංසාව වැනි තත්ත්වයක් ඇත්දැයි පරීක්ෂා කර ගැනීමට මනෝ වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි. ඔබගේ හැකියාවන් පිළිබඳ මෙහි කිසිදු සඳහනක් නොමැති බැවින් ඔබේ හැකියාවලින් ඉදිරියට යා හැකි ආකාරය පිළිබඳ උපදෙසක් ලබාදීමට නොහැකිය. සංගීතයට කැමති අයකුට තමන් කැමති වාදන, ගායන ශ්‍රවණයට, ගීත ගායනයට, වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමට පුළුවන. එලෙසින් තමන්ගේ හැකියාව තිබෙන විශේෂතා හඳුනාගෙන ඒවා දියුණු කරගැනීමට උත්සාහ දැරීමෙන් කාංසාව වැනි තත්ත්වය පහසුවෙන් මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වාගේම මනෝ උපදේශකවරයකු මුණගැසී තමන් පිළිබඳ හිතන විදිහ එනම් ස්වයං තක්සේරුව වැඩිකරගන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම සුදුසුයි.
කසාද බැන්දාට ගැහැනු අයට කැමති නැතිලු
මා විවාහවෙලා දැන් අවුරුදු හතරක්. යෝජනාවකින් තමයි කසාද බැන්ඳේ. යාළුවෙලා හිටිය කෙනාට අම්මා තාත්තා අකමැති වුණා. එයාලා බලෙන් තමයි මාව බන්ඳලා දුන්නේ. එදා ඉඳලම මගේ ජීවිතේ අපායක් වගෙයි මම ගෙව්වේ. මට මේ විස්තර කියන්න කවුරුවත් නැහැ. අම්මා තාත්තා වුණත් මාව දැන් ගණන් ගන්නේ නැහැ. අපිට තවම දරුවෙක් නැති එක ඒකට එක හේතුවක්. අපි දෙන්නා කසාද බැන්දත් මේ වෙනකල් කවදාවත් එකට ඉඳලා නැහැ. කසාද බැන්දට පස්සෙයි මම මගේ සැමියා ගැන හරියටම දැනගත්තේ. කලින් පෙන්වපු රූපය නෙවෙයි එයාට තියෙන්නේ. එයාත් මාව බැඳලා තියෙන්නේ අම්මලාගේ බලකිරීම නිසායි. බැන්ද දවසෙම එයා මට ලොකු විස්තරයක් කිව්වා. එයා ගැහැනු අයට කැමති කෙනෙක් නෙවෙයිලු. පිරිමි අය විතරක් ආශ්‍රය කරන්න කැමති කෙනෙක් කිව්වා. ඉතින් එයා මාව බැන්දාට පස්සෙත් වෙන වෙන පිරිමි හමුවෙන්න ගියා. එහෙම අය අපේ ගෙදර ආවා. මම ඒ දේවල් වළක්වන්න ලොකු උත්සාහයක් දැරුවා. රණ්ඩු කළා. ඒත් එයාව ඒ වරදින් මුදවගන්න තාම බැරිවෙලා තියෙනවා. සැමියාගේ ගෙදරින් පවා මේ දේවල් දන්නවා. එයාලා දැනගෙනමයි මාව මේ අමාරුවෙ දාලා තියෙන්නේ. එයාලට මේවා කිව්වම කිව්වේ එයාව හදාගන්න පුළුවන් වෙයි කියල හිතලා බැන්දුවා කියලයි. ඒත් එහෙම වුණේ නැහැ. ලෝකෙට පේන්න විතරක් අපි ඉන්නවා. ඒත් දැන් මට මේක ඇතිවෙලා තියෙන්නේ. මගේ යාළුවො කසාද බැඳලා දරුවො හදලා සතුටෙන් ජීවත් වෙනවා. මට ඒ සතුට කවදාවත් ළඟා කරගන්න නැහැ. මේ ගැන හිතලම ජීවිතයට හානියක් කරගන්න පවා හිතුණ වාර අනන්තයි.
සචිනි - දෙමටගොඩ
පිළිතුර:-
මෙම ප්‍රශ්නය යොමුකරන මෙම යුවළට පවුල් ජීවිතයේ ගැටලුකාරී අවස්ථාවක් මතුව ඇත්නම් මේ සඳහා දෙපාර්ශ්වයේම මවුපියන් මැදිහත් විය යුතුමයි. මෙය යෝජිත විවාහයක් නිසා මෙතැනදී මවුපියන්ට වගකීමක් තිබෙනවා මෙම ප්‍රශ්නයට මැදිහත් වී විසඳාගැනීමට සහායක් වීමට. මෙම ප්‍රශ්නය විසඳාගැනීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ නිසි මනෝ උපදේශකවරයකු හමුවී ඔහු සමඟ සාකච්ඡා කර සාකච්ඡා මාර්ගයෙන් දෙදෙනාගේම එකඟතා මත විසඳුමක් ලබාගැනීමයි. සමලිංගික සබඳතා සමාජයේ අහන්නට දකින්නට ලැබෙන කාරණයක්. සැමවිටම පවුල් ජීවිතයක පැවැත්ම රඳා පවතින්නේ ඔබ දෙදෙනාගේ අන්‍යොන්‍ය අවබෝධය මතයි. මෙයින් ඔබ සිටිනවා යැයි කියන දැඩි මානසික පීඩනය දුරුකර ගැනීමටත් හැකිය.
(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.
ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්.
ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com
සංස්කාරක,
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.
I සසංක චලන ගිම්හාන