2022 අප්‍රේල් 10 වන ඉරිදා

වීදි බැස්ස කලාකරුවන්ගේ වේදනාව

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, ප.ව. 02:06 285

ඔලමොට්ටල තක්කඩි බඩගෝස්තරවාදීන් රටට එපා

- දුලීකා මාරපන

මේ පවතින ජනතා අරගලය සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි. ඕනෑම රටක ජනතාව සමඟ කලාකරුවන් සිටගත යුතු වෙනවා. කලාකරුවා කියන පුද්ගලයා ජනතාවාදී විය යුතුමයි. ඒ වගේම ජනතා අරගලය කියන්නේ මොකක්ද කියලත් අපිට යම් අවබෝධයක් තිබිය යුතු වෙනවා. මේ වෙද්දී සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙන ඇතැම් දේවල් එක්ක මේ ජනතා අරගලය යම් දියාරුවීමක් සිදුවන බවත් පෙනෙන්න තියෙනවා. අපි රැල්ලට ජනාධිපතිවරු ගෙනාවා. රැල්ලට ගෙනාපු නිසා, බුද්ධියෙන් තෝරා නොගත් නිසා අද මේ වගේ තත්ත්වයකට රට පත්වෙලා තියෙනවා. ජීවිතේ බොහෝ අවස්ථාවල අපි බුද්ධිමත්ව තීන්දු තීරණ ගත්තේ නැහැ. අපි හදවතින් තීන්දු ගත්ත නිසා තමයි අපි මේ විදිහට රැල්ලත් එක්ක තීන්දු අරගෙන රැල්ලත් එක්කම වැල්ලේ ඉන්න සිදු වුණේ. ඒ නිසා මේ ජනතා අරගලය මේ රැල්ලට කරලා හරියන්නේ නැහැ. මේ ජනතා අරගලයේ තේරුම අපි අවබෝධ කරගත යුතු වෙනවා. අපි රැල්ලට නායකයෙක් ගෙනාවා. ඒ රැල්ලට තව රැල්ලක් ගෙනත් නායකයා ඉවත් කරන්න උත්සාහ කරනවා. ඊළඟට තව රැල්ලක් ගෙනත් තවත් ඔලමොට්ටල තක්කඩි බඩගෝස්තරවාදී කිඹුලෙක් මේකට ආපහු ගෙනේවි. කිඹුලන් බඩගින්නට නෙමෙයි කෑම කන්නේ. මේ රටේ තියෙන සම්පත්, මුදල් කාබාසිනියා කරලා ගිල දාන තවත් කෙනෙක් මේකට ආවොත් මොකද අපි කරන්නේ. ඒ නිසා මේ ජනතා අරගලය ඔස්සේ මේ රටේ හැමෝටම රටේ ජනතා අරගලයේ තේරුම තමන්ගේ ඔළුවට ගන්න යැයි කියනවා. මේක අපි හැමෝගෙම ජීවිත වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් කරන ජනතා අරගලයක්.

ලංකාව කියන්නේ මෙහෙම වැටෙන්න ඕන රටක් නෙවෙයි

- නිමන්ති පෝරගේ

අපි කලාකරුවන් විදිහට පාරට බැස්සේ අපි ගැනම හිතලා නෙමෙයි. අපි මෙහෙම පාරට බැස්සේ අපේ රට ගැන හිතලයි. අපේ දරුවන්ගේ, අපේ දරු පරපුරේ අනාගතය වෙනුවෙන්. මේ කාලයේ එළියට බැහැලා යද්දි හිතට දැනෙන්නේ පුදුම දුකක්. ගිනි අව්වේ, කට්ට කරුවලේ, ඩීසල් කෑන්, භූමිතෙල් කෑන් උස්සගෙන පාරේ මිනිස්සු හිටගෙන ඉඳිද්දි ඇත්තටම දුකයි. මේ රටේ මිනිස්සු එහෙම දුක් විඳින්න ඕන මිනිස්සු නෙමෙයි. නමුත් ඒ තත්ත්වයට මේ රට පත් කළා. අද මේ රට ගැන අපිට තියෙන්නේ පුදුම දුකක්. අපිට මිනිසුන්ගේ දුක දැනෙනවා. රටක් විදිහට මේ රටේ මිනිස්සු හැමෝම එකතු වුණේ නැත්නම් අපේ රට විනාශ වෙලා යාවි. එක පිරිසක් නිසා අද මුළු රටක් දුක් විඳිනවා. අද දරුවන්ට දෙන්න කිරිපිටි නැහැ. ගෑස් නැහැ. විදුලිය නැහැ. භූමිතෙල් නැහැ. කුලී වැඩ කරන මිනිස්සුන්ට තමන්ගේ රස්සාව කරන්න යන්න විදිහක් නැහැ. මිනිස්සු පාරේ ඇදගෙන වැටෙනවා. කාටත් අත නොපා ජීවත් වුණු මේ රටේ මිනිස්සු එක්තරා හොරු පිරිසක් නිසා පුදුම අසරණ තත්ත්වයට පත් වුණා. මම මීට කලින් කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කතා කරලා නැහැ. ඒ දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ ගිහිල්ලත් නැහැ. යන්නෙත් නැහැ. වැරදි දැක්කහම අපි ඒ වෙනුවෙන් කතා කළා. මගේ ජීවිතේ කොතනකවත් ඡන්දය ඉල්ලන්න අදහසක්වත් නැහැ. අපි අමාරුවෙන් දුක් මහන්සිවෙලා හම්බකර ගත්තු දේවල් හැරෙන්න පිනට ඉඩකඩම්, අඩුම තරමේ ඔය දේශපාලකයන්ගෙන් ගත්තු ගඩොල් කැටයක්වත් නැහැ. ඒ නිසා අපි බය නැතිව කතා කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ මෙහෙම වැටෙන්න ඕන රටක් නෙමෙයි. හැම පැත්තෙන්ම සෞභාග්‍යයෙන් පිරුණු රටක්. ඒ රට මේ එක පිරිසක් නිසා විනාශවෙලා ගියා. හිතට දැනෙන දැඩි දුක, වේදනාව, කැක්කුම නිසාම තමයි අපි පාරට බැස්සේ.

කිසිම පාලකයෙක් රටට ආදරේ නැහැ...

- රූකාන්ත ගුණතිලක

කලාකරුවන් මේ රටේ ජනතාව එක්ක පාරට බැස්සේ නැත්නම් මේ ගමන අසම්පූර්ණයි. රචකයෝ, ලේඛකයෝ, ගායකයෝ, නළු නිළියෝ ඇතුළු සියලු දෙනා මේ රටේ පිටකවරය ලෙසයි අපි හඳුන්වන්නේ. ඉතින් ජනතාවත් එක්ක මේ අය එකතුවීමෙන් මේක සම්පූර්ණ වුණා කියලයි මට හිතෙන්නේ. කලාකරුවන් මිනිස්සු එක්ක එකතුවීම ලොකු දෙයක්. ඒ නිසා අද වෙද්දි මේ වෙනුවෙන් මුළු රටම පාරට බැහැලා ඉවරයි. මේ වෙනුවෙන් හරි විසඳුමක් අවශ්‍ය වෙනවා. කිසිම පක්ෂ භේදයකින් තොරව මේ රටේ සියලුම මිනිස්සු මේ පාරට බැස්සේ බොහෝ දේවල්, බොහෝ කැපකිරීම් කරලා. මේ මිනිස්සු අතරේ එදා වේල හම්බකරගෙන ජීවත් වෙන, ස්වයංරුකියා කරලා කීයක් හරි හොයාගත්ත මිනිස්සු ඒ හැමදේම කැප කරලා රට වෙනුවෙන් එකට එකතු වුණා. මේ හැම කැපකිරීමක්ම ඔවුන් කරන්නේ රටට තිබෙන ආදරය නිසයි. ඉන්ධන ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, භූමිතෙල් ප්‍රශ්න වගේම රටේ ආර්ථිකය මේ රටේ මිනිස්සුන්ව හෙම්බත් කළා. අද සමහර පවුල්වල අයගෙන් මේ පෝලිම්වල ඉන්න කෙනෙක් නැහැ. වයසක අම්මා තාත්තා ඉන්න ගෙදරක ගෑස් එක උස්සගෙන යන්නේ කවුද? ඒ පෝලිමේ හිටගෙන ඉන්නේ කවුද? ඒ වගේ ගැටලු බොහොමයකට අපිට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා රටට ආදරේ කරන්නේ මිනිස්සුන්ට ආදරේ කරන අයයි. හැබැයි රටට මේ පාලකයන්ගේ ආදරයක් නම් නැහැ. එහෙම ආදරයක් තියෙනවා නම් මේ රටේ කෑලි කෑලි අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවත් එක්ක මේ රටේ කලාකරුවන් අද එකතුවෙලා ඉන්නවා. ඒ රට වෙනුවෙන්.

පාලකයන්ට තවමත් මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැහැ

- චන්ද්‍රලේඛා පෙරේරා

අනිවාර් යෙන්ම මේ රටේ ජනතාවත් එක්ක මේ රටේ කලාකරුවන් එළියට බහින්නම ඕනෙ. එකට එකතු වෙන්න ඕනෙ. අද රටේ තියෙන තත්ත්වය හරිම අවදානම්. ඉතිහාසයේ මම මෙහෙම දෙයක් මේ දැක්කමයි. මේ තරම් මිනිස්සුන්ට අමාරු කාලයක් මගේ ජීවිතය පුරාවට වෙලා නැහැ. හැටනම ලක්ෂයක් මේ රටේ මිනිස්සු තමන්ගේ වටිනා ඡන්දය දීලා අද පුදුමාකාර දුකක් විඳින්නේ. ඇත්තටම තාමත් මේ රටේ පාලකයන්ට මේ රටේ මිනිස්සුන්ගේ දුක දැනෙනවා හරිම අඩුයි. ගෑස් පෝලිම්වල, කිරිපිටි, ලාම්පු තෙල්, පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල මිනිස්සු විඳින දුක ඇත්තටම හරි පව්. පැය ගණන් දුක් විඳින්න මේ රටේ මින්ස්සු ඡන්දය දුන්නේ නැහැ. අපිත් මේ පෝලිම්වල ඉඳගෙන මේ දුක අදටත් විඳිනවා. එක පැත්තකින් මේ රටේ කෑලි විකුණනවා. ඒ නිසා මේකට මේ රටේ මිනිස්සු එකතුවෙලා විසඳුමක් හොයන්න කාලය ඇවිල්ලා.

ජාතික කොඩිය වනමින් නිස්කාරණේ විනෝද වෙන්න එපා

- දිනූපා කෝදාගොඩ

කලාකරුවෙක් ගත්තත් මුලින්ම අපි හැමෝම මිනිස්සු. මේ රටේ පුරවැසියන්. ඒ නිසා අපි හැමෝම මේ රටේ තියෙන මේ තත්ත්වයට අද මුහුණපාමින් ඉන්නේ. ඒ නිසා රටේ මිනිස්සු එක්ක මේ රටේ කලාකරුවන් සිටගැනීම හොඳ තත්ත්වයක් විදිහටයි මම හිතන්නේ. මේ වගේ තත්ත්වයක් මීට පෙර අපි දැකලා තිබුණේ නැහැ. රට විනාශ වෙන එකට විරුද්ධව කලාකරුවන් වගේම මේ රටේ මිනිස්සු එකට සිටගැනීම පළමු වතාවටයි මේ සිදුවන්නේ. මේ වනවිට රට ඉතාම අනතුරුදායක තත්ත්වයක තියෙන්නේ. හැබැයි අපි පොදු ජනතාව විදිහට, පුරවැසියන් විදිහට බුද්ධිමත්ව මේ කාලසීමාව ගත කළ යුතු වෙනවා. විශේෂයෙන් ප්‍රචණ්ඩකාරී නොවී අපේ විරෝධතාවය දක්වන්න ඕනෙ. අපේ ඉල්ලීම් දිනාගන්න බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන් ජනතාවට ඒ වෙනුවෙන් නිවැරදි මඟපෙන්වීමක් කරන්න කලාකරුවන්ට වගකීමක් තියෙනවා. ජාතික කොඩිය වනමින් නිස්කාරණේ විනෝදයක් ලබනවාට වඩා පොදු ජනතාවට නිවැරදි මඟපෙන්වීමක් කිරීම ඉතාම වැදගත් වෙනවා.

මිනිස්සු පෝලිම්වල දුක් විඳිද්දි එයාලා විනෝද වෙනවා

- කුමුදු නිශාන්ත

මගේ විශ්වාසයට අනුව මේක හරියට දෛවයේ සරදමක් වගේ. ජීවිත කාලයටම මේ විදිහේ සමාජ පෙළඹවීමක් මම දැකලා නැහැ. මිනිස්සු පුදුම විදිහට අසරණ වෙලා. දේශපාලන වෙනස්වීම්, ආණ්ඩු වෙනස්වීම්, සමාජ කැරලි, යුද්ධයට මුහුණදීම වැනි අසීරු කාරණා පසු කරගෙන ආපු ගමනෙදි අවිධිමත් පරිපාලනය සහ සොරකම අපි දැක්කා. රටක් කියන දේ අද වෙද්දි පවුලක විනෝදාංශයක් බවට පත්වෙලා. සත පහක ආදායමක් ලබන්නේ නැති දරුවන් කෝටි ගණන් වියදම් කරගෙන තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් රොකට් අරිනවා. ඒ අය ඔවුන්ගේ විනෝදාංශය වෙනුවෙන් වියදම් කළේ මේ රටේ අපේ මිනිස්සුන්ගේ මුදල්. අද අපි ගෑස් පෝලිම්වල, භූමිතෙල් පෝලිම්වල ඉඳිද්දි ඒ අය විනෝද වෙනවා. ඒ තාත්තලා පුතාලා ලෝකේ තියෙන බ්‍රෑන්ඩ් නිව් ඇඳුම් ලැජ්ජාවක් නැතිව අඳිද්දි තමන් ජාතක කරපු දරුවකුට යටට අඳින්න ඇඳුමක්වත් තමන්ගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු මුදලින් අරගෙන දෙන්න බැරි පාලකයෝ, නායකයෝ ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෙ. පදික වේදිකාවේ මුට්ට කරගහන මිනිස්සුන්ගේ වටිනාකමක්වත් ඒ අය ළඟ නැහැ. අපේ දහඩිය මහන්සියෙන් හම්බ කරන මුදලින් නිකම් කකා බිබී සුර සැප විඳින මිනිස්සුන්ගේ මේ වැඩ නතර කරන්න කාලය දැන් ඇවිත් තියෙන්නේ. ඒ වෙනුවෙන් මෙච්චර කාලයක් ඉවසපු ඉවසීම හොඳටම ඇති.

ඡන්දෙ දුන්නෙ පිස්සු නටන්න නෙවෙයි

- දමිතා අබේරත්න

රජෙක් වුණත් බලුකම් කළොත් ඒවා පල දෙන දවසක් එනවා. අද මේ රටේ මිනිස්සු බඩගින්නේ. කිරිපිටි අද හැඳි ගාණට ගන්නේ. මේ රටේ මිනිස්සු ඔවුන්ගේ වටිනා ඡන්දය දුන්නේ මේ විදිහට පිස්සු නටන්න නෙමෙයි. අද රටේ ඉන්න මිනිස්සුන්ගේ දෙසිය විසිපහක් ඇරුණම අනිත් හැමෝම පාරට බැහැලා ඉවරයි. කවදා හරි ජනතාව එපා කියපු දවසට මම යනවා කියලා කියපු අය මුළු ජනතාවම මේ තරම් එපා කියද්දිත් තාම යන්නේ නැහැ. ඒ තරම් තණ්හාවක් ඇතිවෙලා. මොනවටද මේ තණ්හාව. ඔළු ගෙඩි මාරු කර කර තාමත් අලුත් නාට්‍ය පෙන්වනවා. මේ රටේ මිනිස්සුන්ගේ එකම හඬට ඇයි කන් දෙන්නේ නැත්තේ? අද මේ තත්ත්වයට පාට පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලකයන් වගකියන්න ඕනෙ. එක එක අයගේ නම්වලින් ගිණුම්වලට දාපු සල්ලි මේ රටට ගේන්න. මේ රටේ මිනිස්සුන්ගේ කතා පෙනි පෙනී, අහ අහා ඒ අය කොහොමද තවත් සැප විඳින්නේ.

 දිශානි ජයමාලි