මහමුහුදේ අමුතු ජීවිත ගැන කතාවේ දෙවැනි කොටසත් ලියන්න ඕනෑ. එහෙම හිතුණේ ගිය සතියේ. එතකොට අද හවස මට ඇමතුමක් ආවා. ''මචං මම අද රෑ පෑලියගොඩ යනවා මාළු ලෝඩ් එකක් අරගෙන. උඹට බලන්න ඕන කියලා කිව්ව නේද සීන් එක?'' ඉතින් දැන් මම ඉන්නේ පෑලියගොඩ. වෙලාව පාන්දර තුනට විතර ඇති. මිත්‍රයාගේ වාහනයට ගොඩවෙලා තමයි මේ කතාව ලියන්න පටන් ගත්තෙ. සෑහෙන්න වැස්ස. මට වාහනෙන් එළියට බහින්න බෑ. ඒ නිසා මුල ඉඳන්ම කතාව කියන්නම්.
අපි ගෙදරින් පිටත් වුණේ එකොළහමාරට දොළහට විතර. මිත්‍රයාගෙ බෝට්ටුවේ රස්සාව කරන තවත් කෙනෙක් අතරමගින් දාගෙන පාන්දර එකහමාර විතර වෙද්දී අපි මෙතෙන්ට ආවා. ඒ වෙනකොටත් අපේ ෆීෂර් ලොරිය මාළු එක්ක අදාළ තැන නවත්තලා. ලොකු කලබලයක් නෑ. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ නොනිදා රැය පහන් කරන මිනිස්සු බොහොමයි. මම හිතන්නේ තාමත් රාජකාරි ආරම්භ වෙලා නෑ. ලොරිනම් හතර අතේ නවත්වලා. මිත්‍රයා නම් අදාළ ගනුදෙනු රාජකාරිවලට ලෑස්ති වෙනවා. මම පොඩි වටයක් ගහලා බැලුවා. බූට් දාපු මිනිස්සු තැනින් තැන ලොරිවලින් මාළු බාන්න පටන් අරගෙන. තාම කාටවත් ලොකු හදිස්සියක් නැති පාටයි. සමහර ලොරිවලට අත තියලවත් නෑ. ම්ම්ම්... මම හිතන්නේ වේලාසන වැඩියි පළවෙනි රවුමට මගේ.
මම මේ රස්තියාදුව දාලා එනකොට, මෙන්න අපේ ලොරියෙනුත් මාළු බාන්න පටන් අරගෙන. මුලින්ම බාන්නේ මෝරු, ඩප්පරු, කොප්පරු, තලපත් වගේ ටික ලොකු මාළු. වැඩේ ලේසි නෑ. මම කලින්ම මෙතැන වෙන දේවල් ගැන ටිකක් විස්තර අහලා දැන ගත්තා. මෙතන කොටුවක් විදිහට වෙන්කරලා පොළොවේ කොටසක් තියෙනවා. ඒක තමා ලෑල්ල. ඒකට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ වගේම වෙනම සේවක පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ කොටසකට ලොරියක් අරගෙන එන්න කලින් කතාකරලා බුක් කරගන්න ඕනෑ. මෙතැන වෙන වෙළඳාමෙන් කොටසක් තමා මේ පිරිසට හම්බ වෙන්නේ. පේන විදිහට එක ලොරියක් නෙවෙයි දවසට ලොරි දෙක තුනක් මේ ලෑල්ලක විකිණෙනවා.
මුලින්ම වැස්ස පටන් ගත්තේ ඔය මාළු බාන්න පටන්ගත්ත වෙලාවේ. එතකොට මම පැත්තකට වෙලා බලාගෙන හිටියා සිද්ධ වෙන හැමදේම. මාළු බානවා හෝදනවා ලේ කානු දිගේ ගලාගෙන යනවා. අයිස් එහෙට මෙහෙට ඉහිනවා. ම්ම්ම්... මෙතන තියෙන්නේ වෙන්නම සංස්කෘතියක්. මිත්‍රයාගේ මාළුවලින් කොටසක් මේ වෙනකොටත් ලෑල්ලට දාලා. ඒ අතර පිටින් ආපු කිහිපදෙනෙක් වැඩිවෙන අතරම මුලින්ම බාපු ලොකු මාළුවලින් මාළු තෝරන්න පටන්ගත්තා. මේ අය වෙළන්දෝ. ම්ම්... ටිකක් ලොකු වෙළන්දෝ කල් ඇතිවම තමන්ට ඕන හොඳ මාළු ටික වෙන්කර ගන්නවා. මාළුවා අල්ලලා අතගාලා බලලා තමා මේ තෝරා ගැනීම කරන්නේ. ම්ම්... ඒකෙත් පොඩි කලාවක් තියෙනවා.
ඔන්න විනාඩි විස්සක් වගේ ඇතුළත හිතාගන්න බැරි කලබලයක් මේ මාළු වෙළඳ සංකීර්ණය ඇතුළේ ඇතිවුණේ. මහ වැස්ස වැස්සේ කුඩ සිලි කවර ඔලුවට දාගෙන මේකට ඇතුළු වෙන්නේ එක එක පරිමාණ වෙළෙන්දෝ. හැබැයි මෙතැනදී කවුරුත් කාටවත් ලොකු නෑ. ගනුදෙනු විතරයි තියෙන්නේ.
ඔන්න කවුරු හරි කෙනෙක් පොඩි මේසයක් අරගෙන ආවා අපි හිටපු ලෑල්ලට. මාළු වර ගෙනාපු මුදලාලිලා දෙතුන් දෙනෙක් ඊයේ ලෑල්ල වටේ වටවුණා. කැල් එකක් පොතක් හැමෝගෙම වගේ අතේ තියෙනවා. ඒ එක්කම ලොකු තරාදි දෙකකුත් අපේ ලෑල්ලට ආවා. දැන් රාජකාරි ආරම්භ වෙන්නයි යන්නේ. මෙතන ලෑල්ලෙ මාළු බෑවට, මෙතන ඉන්න සේවකයෝ වෙළන්දෝ එක්ක කතාබහ කරාට, මාළු කිරුවට, මිල තීරණය කරාට, මාළු අරගෙන ආපු මුදලාලියි ගෝලයයි තමයි ගනුදෙනු කරන්නේ.
මට මිනිත්තු හත අටක් ගියා වැඩේ සම්පූර්ණයෙන්ම පැහැදිලිවෙන්න. දැන් මෙතන දහස් ගණනක් මිනිස්සු ඉන්නවා. වෙළෙන්දො ඇවිල්ලා මාලුවා අල්ලලා බලලා ගන්නවද නැද්ද කියල තීරණය කරනවා. ගන්නවනං අදාළ මාළු ටික වෙන් කරගෙන මෙතන ඉන්න සේවකයෙක් ලව්වා ගන්නවා. ඊට පස්සේ කිලෝ ගාන සේවකයා හයියෙන් මේ මාළු අයිති මුදලාලිට කියනවා. එයා ඒ කිලෝ ගාන ලියාගෙන මේ වෙලාවේ ඒකට තීරණය කරලා තියෙන මිලත් ලියාගෙන ගාන වැඩිකරලා හදලා මිල කියනවා. එතකොට අර බෝට්ටුවේ සේවකයා තමයි සල්ලි එකතු කරන්නේ. මාළු ගන්න වෙළෙන්දෝ බෝට්ටුවේ සේවකයන්ට සල්ලි දෙනවා. මාළු මිල විටින් විට වෙනස් වෙනවා.
මෙතැන ඉන්නවා කූඩයෝ කියලා කට්ටියක්. තව කරත්තකාරයො වගේකුත් ඉන්නවා. ටිකක් වැඩි වෙන්න මාළු සල්ලිවලට ගත්තොත් ඒ ටික තමන්ගෙ වාහන ළඟට අරගෙන යන්න කුඩයක් හරි කරත්තයක් හරි අරගන්න මේ වෙළෙඳුන්ට සිද්ධ වෙනවා. ඔහුට කාරයෝ හතර වටේ ඇවිදිනවා මිනිස්සු කෑගහලා එයාලට කතා කරනවා. වැඩක් නැත්නම් වැඩක් තියෙනවද කියලා කූඩ කාරයෝ මාළු ලෑලිවලට කිට්ටු කරලා බලනවා. මාළු කිලෝ විස්සක් තිහක් වුණත් කූඩෙකට දාගෙන ඒ කූඩ ඔළුවේ තියාගෙන මෙයාලා යන හරිම පුදුමයි. පුංචි ශරීර තියෙන ශක්තිමත් මිනිස්සු. ආදරයක් ගෞරවයක් ඇති වෙනවා මේ මිනිස්සු ගැන. හ්..ම්ම්ම්... මෙතන භාෂාව නම් සභ්‍ය නෑ. ඒක මෙතන වැඩේ හැටි. ම්ම්... එහෙම නැතිව මේක කරන්නත් බෑ. ඒත් මේ හැමෝම අතර ඒ ගෞරවය ආදරේ තියනවා. ඒක තේරුම් ගන්න නම් බලන් ඉන්නම වෙනවා.
දැන් විඩෙන් විඩේ වහිනවා පායනවා මුළු පරිසරයම තෙතයි. මාළු පිළී ගඳ මුලින් දැණුනා. ඒත් ටිකක් වෙලා යද්දී අපි ඒකට ඉබේම හුරු වුණා. දැන්නම් ඒක පිළී ගඳක් කියලවත් හිතෙන්නෙ නෑ. ආ... හැමතැනම අයිස් තියෙනවා. පාන්දර වැස්සේ අයිස් එක්ක එක්ක අමුතු සීතලක් තියෙන්නේ පරිසරයේ. ඒත් ඝෝෂාව නම් අඩු නෑ. එකත් අපූරුයි. අද මේ රාත්‍රිය මහ පුදුමාකාර අත්දැකීම් තොගයක් ජීවිතයට එකතු කරනවා. දන්නවද ඕනෑ තැනක අපිට ඕනනම් සුන්දරත්වය ලස්සන දකින්න පුළුවන්. ම්ම්ම්... ඕනෑ නම් විතරමයි.
ආහ්... මෙතැන සේවකයෝ අතර ප්‍රධානියෙක් වගේ හිටපු කෙනෙක් පොඩි සිලි බෑග් එකට දාලා කෝපි කෝප්ප දෙකක් අරගෙන ආවා. එකක් මට. අනික මිත්‍රයාට. මේ වගේ තැනක ඉඳන් කෝපි කෝප්පයක් බොනවා කියන්නේ ඒක වෙනස්ම හැඟීමක්. අද කතාව තව හැඩවෙනවා.
එක තැන හිටගෙන ඉඳලා අමාරු නිසා පොඩි වටයක් ගහලා කාත් එක්ක හරි කතා කරලා කාර් එකට ගිහිල්ලා පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න හිතුවා. වැස්ස පොඩ්ඩක් තුරල් වෙලා නිසා මාළු වෙළෙඳ සංකීර්ණයේ වටයක් ගැහුවා. මෙතන නැති මාළු ජාතියක් නම් නෑ. පොඩි මාළු, ලොකු මාළු, ඉස්සො, දැල්ලො ඇත්තටම මොනවද නැත්තෙ. සමහර තැන්වල මාළු කපන අයත් ඉන්නවා. ඒක නම් ටිකක් බලන් ඉන්න හිතෙන වැඩක්. පලපුරුද්ද වගේම ඒකටත් කලාවක් ඕනෑ. ම්ම්ම්... මට නම් එහෙමයි හිතුණේ. කූඩකාරයෝ කරත්ත තල්ලු කරන අය එක්ක මේ අතරින් පතරින් යන ගමන ලේසි නෑ. මමත් සැලකිය යුතු තරම් වටයක් ගැහුවා.
ඒ දෙවැනි වටේ අවසානෙදී තමයි මම මිත්‍රයාගේ වාහනේ මෙහෙම නතර වුණේ. මෙතැනට ඇවිල්ලා ටික වෙලාවයි ගියේ මේ මහා වැස්ස පටන් ගත්තානේ. අපි එද්දී මෙතන තිබුණු වාහන ප්‍රමාණය දැන් දහ ගුණයකින් විතර වැඩිවෙලා. පාන්දර හතරට විතර ඇති දැන්. වැස්ස පොඩ්ඩක් අඩු වෙනකන් ඉඳලා මම ආයෙත් මිත්‍රයාගේ මාළු විකිණෙන ලෑල්ල ළඟට යන්න ඕනෑ. දකින දේවල් ඇහෙන දේවල් අකුරු කරන්න භාෂාව වගේම මමත් පොහොසත් මදී කියලා වෙලාවකට හිතෙනවා. මෙතන ගතකරන එක පැයකින් ඕනේ නම් පොතක් වුණත් ලියන්න පුළුවන්. ඇත්තටම වැස්ස දවසකම මෙතනට එන්න වුණ එකක් පුදුම වැඩක් තමා. කතාවේ ඉතුරු ටික කියන්නම් අපි යන්න පිටත් වුණාම. හ්..හා...
ඔන්න... දැන් වෙලාව උදේ 10ට කිට්ටුයි අපි ගෙදර යන්න පිටත් වුණා. සිද්ධ වෙච්ච හැමදේම කියන්න නම් අමාරුයි. මම වැස්ස පොඩ්ඩක් පෑව්වාහම එළියට බැහැලා ගියා ආයේම ලෑල්ලට. එතකොට තමයි සිල්ලර මාළු වෙළෙන්දො වගේම සාමාන්‍ය මිනිස්සුත් මෙතැනට ඇවිල්ලා හිටියේ. ලොරියෙන් මාළු බෑමේ කොටස් තුන හතරකට. අවසාන ඉතුරුවුණු මාළු කරෝලවලට විකුණුනා. මම තුන්වැනි වතාවටත් ලොකු වටයක් ගැහුවා. පුදුම හිතෙන ගොඩක් දේවල් දැක්කා. අකුරු මදී ඒවා ලියන්න. මහවැසි මැද පෑලියගොඩ කතන්දර. මිනිස්සුන්ගෙ ජීවිත හරිම පුදුමාකාරයි. අපි දන්නේ අපේ ජීවිත ගැන විතරමයි. ලෝකෙ දිහා බලන් ඉන්දැද්දී තමයි ගොඩක් දේවල් දැනෙන්නේ හැඟෙන්නේ. මේක මහා පුදුමාකාර තැනක්.
මම දෙතුන් දෙනෙක් එක්ක වචන කිහිපයක් කතා කළා. වැස්ස නිසා මාලු විකුණගන්න බැරිවෙයි කියලා සිල්ලර වෙළෙන්දෝ බයවෙලා හිටියෙ. ඒ නිසා වෙළඳාමක් වෙනදාට වඩා පොඩ්ඩක් අඩුවෙලා තිබුණයි කියලයි පෙණුනේ. ඉතින් ආයේම කියනවා... ඒ හැමදේම කියන්න ලියන්න ඉඩ මදි. මතක මගේ තවත් කොතැනක හරි අපි හම්බවෙමු. ඇත්තටම පොත් සීයක් කියවපු මනුස්සයෙක්ට වඩා එක පැයක් හරියට මිනිස්සු සීයක් එක්ක ජීවත් වුණු මනුස්සයෙක්ට තියෙන අත්දැකීම් ඔයාලට හිතාගන්නවත් බෑ.. ම්ම්... මට එහෙම හිතෙනවා.
I නිසල්