2022 අප්‍රේල් 24 වන ඉරිදා

මං කියන්නද රහසක් මේ අහස ලස්සන ගීයක්...

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 85

ළය ලෙය විනිවිද සිත හෙමින් කොනිත්තන ස්වරයකින් ඒ ගී පද ඇසුණේ Happy Birthday දවසේ. ඒ උපන් දිනේ නතාලිගේ. 

නතාලි මට මුණගැසුණෙත් Happy Birthday දවසේ. රැයක් පහන් වනතුරු සීතල මිහිදුම් සළු එලුණු කළුවර මැද බංගලාවක සිදුවූ නපුරු බියකරු සංසිද්ධියක් කරණ කොටගෙන ගෙතුණු සොඳුරු සිනමා රූපකාරකයක් ලෙස Happy Birthday නිර්වචනය කිරීම මම හිතනවා යම් දුරකට සාධාරණයි කියලා. අධි යථාර්ථවාදී සිනමා රීතියෙන් ඔබ්බට විශ්වාස කළ හැකි සංසිද්ධීන් වෙත ප්‍රේක්ෂක විඥානය නන් විධ මනෝභාවයන් ඔස්සේ රුගෙන යාමට දැරෑ ප්‍රයත්නයක් ලෙස Happy Birthday සිනමා රෑපකාරකය මම හඳුන්වන්නේ අති ධාවනකාරී පාරිභෝගිකවාදී හුදෙක් ගනුදෙනු මත බොහෝ මානවීය සබඳතාවන් තීරණය කරන, තක්සේරු කරන, අගයන අධි ස්වභාවික සමාජ යන්ත්‍රණයක් තුළ එවන් සංසිද්ධීන් නිතැතින්ම නිර්මාණය වීමේ ඉඩ හසර සුලභ නිසා.

නතාලි කියන ලස්සන පොහොසත් ගැහැනු ළමයාගේ උපන් දිනය සමරන්න ඇය තම මව සහ නැගණියසමඟ යන්නේ ඔවුන්ගේ සීයා සතු වූ වතුකරයේ බංගලාවකටය. ඒ දිනය උදාවීමට මෑත දිනයකදී ඇගේ සීයා මෙලොව හැර යන අතර ඔහු සතු ධනයෙන් විශාල ප්‍රමාණයක් ඔහු අයිතිය පවරා ඇත්තේ තමන්ගේ ආදරණීයම මිනිබිරිය වූ නතාලිට.

එහෙත් ඒ රුය වඩාත් දිගු අඳුරු අනපේක්ෂිත නිරන්තරයෙන් මරණයේ සෙවණැලි ගැවසුණු බියකරු රාත්‍රියක් බවට පරිවර්තනය වන්නේ එම නිවසේ සිටි සේවිකාවක්, ඇගේ සීයා සමීපයේ සිටි තවත් තරුණ සේවකයෙක් සහ ඔහුගේ සහචරයනුත් ඒ රාත්‍රියේ නතාලිගේ සීයා සතු වූ සේප්පුවේ තබා තිබූ විශාල ධනස්කන්ධය තමන් සතුකර ගැනීමට නතාලිත් ඇගේ මව සහ සොයුරියත් ප්‍රාණ ඇපයට ගනිමින් සිදු කරන ක්‍රියාදාමය නිසා.

සේප්පුව විවෘත කරන රහස් අංකය ඉල්ලමින් ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන දියත් කරන ඒ සංග්‍රාමයේ අවසන රාත්‍රිය පහන් වනවිට තීරණය වී හමාරයි. නතාලිට ඇගේ උපන් දිනය සොඳුරු සතුටකින් සමරන්න අවසානයේ ඉඩක් හිමිවෙනවද? ඈ වටකර උන් දාමරිකයන්ගේත් ඔවුන්ට සූක්ෂම ලෙස උදව් කළ සේවිකාවගේත් අවසන් ඉරණම කුමක්ද? කාලය ඒ සියල්ල අරභයා ලබා දුන් විනිශ්චය කුමක්ද? ඒ ප්‍රශ්නවලට උත්තර Happy Birthday සිනමා සිත්තම නැරඹීමෙන් ඉනික්බිති ඔබට ලැබෙයි.

M Entertainments වෙනුවෙන් අරුණ ජයවර්ධනගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු දිල්හානි අශෝකමාලා, ටාෂියා කාලිදාස, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සූර්යා දයාරුවන් ආදී රංගවේදීන්ගේ රංගනයෙන් පෙළගැසුණු Happy Birthday සිනමා වියමන රෑප රාමුවෙන් රාමුවට නරඹද්දි අපූරු සංධ්වනියකින් එය හැඩවත් කළ මේ ගී පද ළඟ මගේ හිත නැවතුණේ නිරායාසයෙන්.

මං කියන්නද රහසක්
මේ අහස ලස්සන ගීයක්
එකම පිටුවක
පාට පාටින්
මං ලියූ පෙම් ගීයක්
මගේ විතරමයි අහසත්
මගේ විතරමයි අහසත්

කඳුළු දෙනෙතේ රෑරා වැටෙනා රූ පුරා - කෝල වීලා බලනවා සඳ මා දිහා
දන්නවාද හිත අහනවා මේ ඇයි කියා - මමත් තාමත් හිතනවා ඒ ඇයි කියා
දින ගණන් ඔහේ ගෙවෙනවා
නුහුරු හැඟුමන් ළය පුරා - කිති කැවෙනවා - රෑ පුරා

රෑට අඳුරේ පීරා තරු මං හොයනවා - වැස්ස වැටිලා පාළු පොළවම ඉඹිනවා
දැනෙනවාද මනමාල හිත අහස හොයනවා - මටත් රහසක් තියනවා අහස දන්නවා
දින ගණන් ඔහේ ගෙවෙනවා
තුරුලු කරගෙන මේ හැඟුමන් මං ඉන්නවා - රෑ පුරා

අයිෂා ශම්රින් ගැයූ චින්තක ජයකොඩි සංනාදවත් කළ ඒ ගීත පද සමුච්චයේ අයිතිකාරිය මල්කි විජේමාන්න. සෞන්දර්යාත්මක ලෙස සුපෙම් හැඟුමන් රොමාන්තික පද සමුච්චයක් ඔස්සේ විවරණය කරන්නට මල්කි දැක්වූ සමත්කම නම් හරිම සොඳුරුයි.
කලාවේ නෙක ඉසව් අතර සැරිසරද්දී කවිය සහ ගීතය තරම් ගැඹුරු සංකල්පනාවන් සමුදායක් සමුච්චිතකරණයකට, වදන් සමුච්වයකට සම්මිශ්‍රණය කර එය සොඳුරු නිමැවුමක් ලෙස ශ්‍රාවක ප්‍රේක්ෂක පාඨක මන අස අවසන තැබීම සැබැවින්ම දුෂ්කරය. එහෙයින් කවිකාර බව, ගීතවත් බව නිමැවුමක් ලෙස ඉදිරිපත් කිරීම යනු සැමවිටම අපූරු මෙහෙයුමකි. ආදරය, ජීවිතය සහ ලෝකය විශ්ලේෂණාත්මකව සහ සංශ්ලේෂණාත්මකව දැකිය හැකි, විඳිය හැකි සහ නිර්වචනය කළ හැකි එවන් සිත් අනන්තවත් වග මම විශ්වාස කරමි. එවන් රසාලිප්ත හැඟුම් දනවන ගීතයක් ලෙස මං කියන්නද රහසක් ගීතය ළඟ මම නැවතුණෙමි.

සැබැවින්ම Happy Birthday සිනමා රූපකාරකයට මල්කි ලියූ එම ගීතය ඉසියුම් ලෙස තවරන ලද සොඳුරුතාවද සොඳුරු වෙයි. මං කියන්නද රහසක්^ ආදරය නම් අනන්ත මානවීය භාවය වෙත රොමාන්තික මඟක් ඔස්සේ නිරායාසයෙන්ම ප්‍රේක්ෂකයා සහ ශ්‍රාවකයා කැටුව ගිය බව මගේ හැඟීමයි.