උදේ වරුවේ නම් එකම විදියට වැස්සා. ඒ මදිවට විදුලි කෙටුවා සෑහෙන්න. හවස වෙද්දි වැස්ස ටිකක් තුරල් වුණත්, අන්ධකාර ගතිය නම් නැති වුණේ නෑ. දවසේම ගෙදර හිටපු නිසා සවස් වරුවේ පොඩ්ඩක් එළියට බැස්සා. මේ ගෙවෙන්නේ රාමලාන් මාසේ අන්තිම දින දෙක. ඒ නිසාම මඟ තොටේ කඩපිල්වල ලොකු වෙනසක් තියෙනවා.
තෙත බරිත හැන්ඳෑවේ ගහපු රස්තියාදුව තමා මේ කතාවට නිමිත්ත සැපයුවේ. අපේ ගමට දෙපැත්තකින් මුස්ලිම් ගම්මාන දෙකක් තියෙනවා. එකක් මහගොඩ. අනෙක මරදාන. මරදාන කියන්නේ කොළඹ මරදාන නම් නෙවෙයි. බේරුවල මරදාන. අපි එළියට බැහැලා ගියේ වෙරළ පාර දිගේ බේරුවල පැත්තට. ඒ වෙලාවේ මරදානේ වෙනදාට තියෙන කලබලකාරී ගතිය තිබුණේ නෑ. ගොඩක් කඩවල් වහලා, සමහර කඩවල්වල දොරවල් අඩවල් කරලා. නෝම්බි කාලෙට මෙහෙම තමා. මරදානේ ලෙල්ලමත් පහුකරගෙන පොඩි වැඩකට ධීවර වරායටත් ගිහිල්ලා අන්තිමට අපි අවේ බේරුවල ටවුමට.
අතුරු සිදුරු නැතිව ටවුම පිරිලා මිනිස්සු හැමතැනම. මුස්ලිම් අයට හෙට අවුරුදුනේ. බේරුවල ටවුමේ මෙච්චර කලබලයක් දකින්න පුළුවන් සිංහල අවුරුද්දටයි රාමසාන් අවුරුද්දටයි විතරයි. ඒකත් අමුතු ලස්සනක් තියෙනවා. ඔවුන්ට තියෙන්නේ අමුතු හැඩයක්. හිජාබයෙන් හිස වසාගත්ත කාන්තාවෝ.. සුදු පාට තොප්පි දාගත්ත පිරිමි පොකුරු පිටින් තැන තැනට මාරු වෙනවා. අහස වැහිබරයි. තැනින් තැනට මඩ වළවල්. ඇත්තටම මේ දර්ශනය සිතුවමට නගන්න තරම් අපූරුයි.
ඒ වෙළෙඳාම් කරන භාෂාව නම් අපිට තේරෙන්නේ නෑ. මේ වගේ පැත්තක ඉඳලත් ඔවුන්ගේ භාෂාව ටිකක් ඉගෙන ගන්න බැරි වුණානෙ. ඇත්තටම මට මම ගැනම පුංචි ලජ්ජාවක් ඇති වුණා. හ්ම්ම්ම්.. ටවුමේ වැඩේට ටිකක් වෙලා යනවා. ඒ නිසාම තමා මම ත්‍රීවීල් එකට වෙලා බලාගෙන හිටියේ අපූරු දර්ශනය.
එතකොට ජීවිතේ විවිධ තැන්වල විවිධ කාලවල හම්බවුණු මුස්ලිම් හිතත්තු ගැන මට මතක් වුණා. ආ.. කතාවක් තියෙනවා. අපි පුංචි කාලේ ''කලින් නානා'' කියලා මනුස්සයෙක් හිටියා ගමට ආවා ගිය. සමහරවිට එයාගේ නම "කලීම්" වෙන්න ඇති. ඒත් අපි කිව්වේ "කලින් නානා" කියලා. ගොඩල් හවස් වරුවලට මේ මනුස්සයා අපේ පාරේ යනවා. අම්මලා දරුවන්ට බත් කවන්නේ කලින් නානව පෙන්නලා බය කරලා.
ම්ම් ඔව්.. කලින් නානා ගැන කතාව නම් මතක මඟ දිගේ ලියා තැබිය යුතුම පරිච්ඡේදයක්. ඉතින් බේරුවලදී තමා කලින් නානා ගැන මතකය මේ විදිහට දිගහැරෙන්න පටන් ගත්තේ.
කලින් නානා සුදු පාට රැවුලක් තිබුණු, අපිළිවෙලට සරමක් කමිසයක් අඳින මනුස්සයෙක්. කමිසයේ උඩ බොත්තම් දෙක තුන නම් මෙයා දාන්නේ නෑ කවදාවත්. සරමත් එක අතකින් පොඩ්ඩක් උස්සාගෙන තමා ගමන. අනික් අතේ ගොඩක් වෙලාවට කකුළුවෝ හරි, මාළු හරි බෑග් එකක් තියෙනවා. කොහොම හරි පැද්දි පැද්දි තමා මෙයා ගම පුරා යන්නේ. ඒකට හේතුව හිතාගන්න පුළුවන්නේ. හවස් වෙද්දී "කලින් නානා" පොඩ්ඩක් සප්පායම්වෙලා ඉන්නේ. ඉතින් කොච්චර ඇද වුණත් නානගේ බලාපොරොත්තුව කකුළුවෝ ටික විකුණගන්න එක.
ඉතින් කලින් නානාට පොඩි කාලේ අපි ගොඩක් බයයි. අම්මා තමා කලින් නානව පෙන්නලා ළමයින්ව බය කළේ. කලින් නානත් ඒ බය කරන රාජකාරිය හරිම ලස්සනට කළා. මතු ගොරෝසු කඩහඬක් තිබුණේ නානට. සමහර ගමේ අම්මලාට නම් බත් ටික කවාගන්න ඒ කටහඬ උදව්වක් වෙන්න ඇති. ඔන්න ඒ කටහඬ මගේ ඔළුවේ දෝංකාර දෙනවා.
කොහොම හරි අපි ලොකු වෙනකොට මට නම් කලින් නානා ගැන ඇතිවුණේ ලොකු අනුකම්පාවක්. ඒ කාලේ තමා මම දැනගත්තේ කලින් නානට ඉංග්‍රීසි, ජර්මන් ඇතුළු භාෂා කිහිපයක් හොඳට කතා කරන්න පුළුවන් කියලා. මේ මනුස්සයාගේ ජීවිතෙත් කොතැන හරි වැරදිලා. කලින් නානා ගැන සමහරු එක එක කතා කිව්වා. නැවියෙක් කියලත් කිව්වා මතකයි. කොහොම වුණත් මේ මනුස්සයා හරි අහිංසක මනුස්සයෙක් කියලමයි මට හිතුණේ.
මට මතකයි එක දවසක් "කලින් නානා" ගැන මට ඇස් තෙත්වෙන තරමේ ලොකු දුකක් දැනුණා. එතකොට මම සා/පෙළ පන්තියේ වගේ. මේ කාලේ කලින් නානා වයසයි. මනසත් එච්චර නිරවුල් නෑ වගේ. අපි පන්සල පිටිපස්සේ වත්තක සෙල්ලම් කර කර හිටියා. කලින් නානා ඒ පාරේ ආවා.. අපි එක්ක හිටිය ගමේ කොල්ලො කුරුට්ටෝ මේ මනුස්සයාට හිරිහැර කරන්න, විහිළු කරන්න පටන් ගත්තා.
නමට වැඩිහිටියෝ කියන කිහිප දෙනෙකුත් ඒ අවට හිටියා වගේ මතකයි. මට ඒ අය ගැන අදටත් තියෙන්නේ පිළිකුලක්. ජර්මන් භාෂාවෙන් කුණුහරුප කිව්වාම කලින් නානට කෙන්ති යනවා. අර වැඩිහිටියෝ කියන උනුත් ඒකට හිනා වෙනවා. කලින් නානා සිංහලෙන් ජාතිය අමතනවා. කට්ටියට තවත් ජොලි. චූටි ගල් කැටයක් කවුරු හරි ගැහුවා වගේ මතකයි.
ඒ වෙලාවේ මට දැනුණු හැඟීම අදටත් විස්තර කරන්න බෑ. ඒක මට මේ වෙලාවේ ආයේ දැනෙනවා. ඒක අසරණකම, වේදනාව, පාළුව, දුක එකතුවෙලා හැදෙන මූසල හැඟීමක්. පොඩි කාලේ කලින් නානට බයේ බත් කාපු උන් තමා එදා ඒ මනුස්සයාට විහිළු කළේ.. කරදර කළේ. කලබල අස්සේ කලින් නානා වැටෙන්නත් ගියා මතකයි.
මට එදා කොච්චර අසරණකමක් දැනුණාද කියන්නේ මට ඒකට එරෙහි වෙන්න බැරි වුණා. මට වඩා වැඩිමල් අය ගොඩක් හිටියේ සෙල්ලම් කරන තැන. ඇත්තටම මම පොඩි එකෙක්. කොහොම වුණත් සත්තකින්ම ඒක ජීවිතේ අමතක නොවන වේදනාවක්. මට හිතෙන්නේ එදා මම ගෙදර ඇවිල්ලා අම්මටත් මේ කතාව කිව්වාද කොහෙද. මේ කාලේ කලින් නානා විහිළුවක් වෙලා තිබුණේ හැමෝටම. ඒ මනුස්සයා නම් ඒක සත පහකට ගණන් ගත්තෙ නැහැ. ඉතින් අපේ පරම්පරාවෙන් පස්සේ තවදුරටත් ගමේ පොඩි උන් කලින් නානට බය වුණේ නෑ. මේ මනුස්සයා ඇත්තටම විහිළුවක් වුණා හැමෝටම.
ඔය සිද්ධියෙන් පස්සේ දවසක් පන්ති ඇරිලා ගෙදර යන අතර "කලින් නානා" මට පාරේදී හම්බ වුණා. මට ඕන වුණා මේ මනුස්සයා එක්ක පොඩ්ඩක් කතා කරන්න. අපි එහෙම නෑ කියලා වගේ දෙයක් කියන්න. "කොහොමද?” වගේ දෙයක් මම ඇහුවා. එදත් කලින් නානා සප්පායම්වෙලා හිටියේ. මට කතාව දුර ගෙනියන්න තරම් ධෛර්යයක් එදා තිබුණේ නෑ. කොහොම හරි කලින් නානා මෙහෙම සෑහෙන කාලයක් අපේ පැත්තේ ආවා ගියා. කලින් නානාට උදව් කරපු මිනිස්සු වගේම කලින් නානාගෙන් උදව් ගත්තු මිනිස්සුත් ගමේ හිටියා. ඒ විස්තර නම් මම හරියට දන්නෙ නෑ.
කොහොමෙන් කොහොම හරි කලින් නානගේ ගමන නතර වුණා කාලෙකදි. ඒත් ඒ අපූරු මනුස්සයා ගැන මතක මඟේ හිතේ ගැඹුරුම තැනක තැන්පත්වෙලා තිබුණා. සමහර තැන්වලදි ඒ මතකය ගොඩ ආවා. යට ගියා. ඒත් අද ඒ මතකය අකුරු වුණා.
කලින් නානා ගැන තව විස්තර හොයලා කියන්න තිබුණා ඕනේ නම් ගමේ වැඩිහිටියෝ එක්ක කතා කතා කරලා. ඒත් මට ඕනෑ වුණේ මේ කතාව කියලා නිදහස් වෙන්න. සමහරු "කලින් නාන" ට කිව්ව විහිළු නම් එහෙමත් දැන් දැන් මතක් වෙනවා. මට ඕනෑ වුණේ ඒ හැමෝම වෙනුවෙන් කලින් නානට සමාවෙන්න කියලා කියන්න. කලින් නානා මහත්මයා අපිට සමාවෙන්න. පුංචි කාලේ ඉඳන් මිනිස් ජීවිත කියවන්න ආසා කරපු මට නම් අදටත් ඔයා අමතක නොවන අපූරු චරිතයක්.
බේරුවල වැඩේ ඉවර කරගෙන මරදාන පැත්තෙන් ආයේ එනකොට නෝම්බි ඇරලා මුස්ලිම් අය පාරට ඇවිල්ලා. එකම කලබලයක් පාර දිගේ. කලින් නානත් හිටියේ මේ පැත්තේ වගේ මතකයි. ඇත්තටම දැන් නානා ජීවත් වෙනවද නැද්ද මම දන්නේ නෑ. ම්ම්ම්.. මේ දවස්වල රූට මේ පැත්තේ මිනිස්සු නිදියන්නේ නැති තරම්. මම ඇස්වලින් නානා වගේ කෙනෙක්ව මිනිස්සු අතරින් හෙව්වා. නෑ නෑ කවුරුත් නෑ. ඔහු ඉන්නේ මගේ මතකයේ.
දැන් හැම කඩයක්ම ඇරලා. ඕනෑ නම් කන්ජි ටිකක් බොන්න පුළුවන්. මිනිස්සු කන්ජි බකට් අරගෙන එහෙට මෙහෙට යනවා. අපි ඇහුවොත් කොහෙන් හරි මෙයාලා කන්ජි ටිකක් ගෙනල්ලා දෙනවා. ඒක සිකුරුයි. ඉතින් හෙට අවුරුදුනේ.. සමහරවිට වටලප්පමක් කන්න ලැබෙයි. අඩදබර නම් මිත්‍රයා ඇතිවෙනවා නැතිවෙනවා. ඒත් සහෝදරකම් නම් හැමදාම තියෙනවා. අපි වර්ණවලින්, හැඩයෙන්, හාෂාවේ තියෙන වෙනස්කමින් තමයි මේ ලෝකෙ ලස්සන කරන්නේ.
එහෙනම් ඊද් මුබාරක්!
I නිසල්