2022 මැයි 15 වන ඉරිදා

මචංලා පොදිගැහෙන වීදියේ වින්දනය...

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 155

සුන්දරා, වීදිය මහපාර කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට අයිති තැනක්. ඔයත් සාමාන්‍ය ඩයල් එකක් නම් වීදිය මහපාරේ ඕනතරම් දේවල් දැකලා ඇති. ඉතින් සුදා ඔයාලා වීදියේ මහපාරේ කලාව දැකලා තියෙනවද? අනිවා, ඩෙපා ඔයාලා දැකලා ඇති.

ඉතිං වස්තු අද අපි ගලපන්නේ වීදිය මහපාරේ Trend වෙන කලාව ගැන කතාවක්. සුදාලා කල්පනා කරයි මේක අලුත් Y Trend එකක්ද කියලා? මහපාරෙ සිංදුවක් කියලා, නටලා කරලා කීයක් හරි හොයාගන්න මිනිස්සු අපි සෑහෙන්න කාලෙකින් දැකලා තියෙනවා.

හෝව් හෝව් පටලගන්න එපා. මචෝ මේ කතා කරන්නේ අපි මහ පාරේ අපි දැක්ක ඒ චූටි චූටි කලා අංගවල නූතනත්වය ගැන. ඇත්තටම නූතනයේ Street Performance කියලා කියන්නේ සුපිරි Y Trend එකක්. සීන්කෝන් එක තවදුරටත් සිඟමන් ඉල්ලනවා වගේ වැඩක් නම් නෙවෙයි. Street Music, Street Dance, Street Art කියන මේ දේවල් අද ලෝකය දකින්නේ හරිම ගෞරවනීය විදිහට.

ලෝකය පුරා කෙල්ලො කොල්ලො පාරට බැහැලා කලාව කරන්න මේ වෙද්දී පට්ට උනන්දුයි. ඉතින් සුදෝ මේක Y Trend එකක් තමා. ලංකාවේ නම් තවම ඒ තත්ත්වය නෑ හරිය. ගේමක් ගහන්න උත්සාහ කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒත් උන්ට පිළිගැනීමක් නෑ. ඒත් මේ වෙද්දී ලෝකෙ වෙනත් රටවල වීදි කලාකරුවන්ට ලොකු වටිනාකමක් ඇගයුමක් ලැබිලා ඉවරයි. සුන්දරලා දන්නවානේ කලාව ඕනම තැනක උපදින්න පුළුවන්, විඳින තැනක විඳින්න පුළුවන්.

මහපාරේ වීදියේ පවතින්නේ මොනවගේ කලාවන්ද කියලා අපි පොඩ්ඩක් මුලින්ම හොයලා බලමු මචෝ. ඇත්තම කියනවා නම් මේ වෙද්දී ලෝකෙ තියෙන හැම කලාවක්ම වගේ මහ පාරේත් පවතිනවා. Singing, Musical instruments playing, Dancing, Painting තමා ප්‍රධානම. ඒ වුණත් මචෝ Street performance විදියට බැලුවොත් තවත් ගොඩක් දේවල් මේකට අයිති වෙනවා.

Animal tricks, Balloon twisting, Comedy, Drama, Fire skills, Magic වගේ දේවල් කලාවන් සෑහෙන්න ප්‍රමාණයක් වීදියේ තියෙනවා. අදක ඊයෙක නෙවෙයි ඕවා මහ පාරේ තියෙනවා. සුදාලත් මේ වලින් ගොඩක් දේවල් ලංකාවේ මහ පාරෙදී දැකලා ඇති. ඒත් ඒ කලාකරුවන්ට නිසි අගැයුමක් වටිනාකමක් සමාජ ගෞරවයක් අපේ වගේ රටවල ලැබෙන්නේ නෑ නේද? ඇත්තටම අපේ අය විඳින්නේ පට්ට දුකක්.

වීදියේ කලාව සම්බන්ධව අපිට තියෙන ආකල්ප නෙවෙයි බටහිර ලෝකය තුළ තියෙන්නෙ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ආසන්නතම හේතුව තමා මචෝ Social Media. ඉස්සර වීදි කලාකරුවන්ට ප්‍රේක්ෂකාගාරය වුණේ මහපාරේ ඉන්න මිනිස්සු විතරක්. ඒත් මේ වෙනකොට YouTube, Facebook ඇතුළු සමාජ හරහා මේ අයට වෙනම ප්‍රේක්ෂකාගාරයෙන් හැදීලා තියෙන්නේ.

හැම මනුස්සයෙක් අතටම කැමරාවක් සහිත දුරකථනයක් ලැබීමත් එක්ක තමා විදීයේ කලාවේ මේ විප්ලවයේ සිද්ධ වුණේ. ඒ නිසාම මේ වෙද්දී Street performance ලෝකෙ පුරා පට්ට Trend එකක් වෙලා ඉවරයි. මහ පාරේ කලාකාරයෝ දැකලා කැලේ පිපුණු මල් කැලේටම පරවෙලා යයි කියලා කිව්වේ කෝපි කාලේ මචෝ. දැන් තත්ත්වය වෙනස්. හැබැයි සුන්දරා දක්ෂතාවය වගේම වාසනාවත් මහ පාරෙදි හරියට වටිනවා.

මහපාරේ වීදියේ තියෙන මේ ප්‍රාසාංගික කලාවන්වල ඉතිහාස කතාවක් යන්තම් හරි අපි හොයලා බලන්න ඕනෑ. නැත්තම් සීන් එක අවුල් ඈ. ලෝකයේ ශිෂ්ඨාචාර ගතවුණු ප්‍රධාන නගරවල කලාව මුලින්ම බිහිවෙලා තියෙන්නෙ මහපාරේ තමයි. පස්සෙං පහු කලාව සුපිරි පන්තියට, රජවරුන්ට, ධනවතුන්ට විතරක් අයිති දෙයක් වුණා. ඒ නිසාම ගොඩක් කලා මාධ්‍යන් දියුණු වුණේ ධනවතුගේ ඇසුරේ.

ඒත් පොදු මහජනතාව අතර කලාව හැමදාම ඉතිරිවෙලා තිබුණා. වර්තමානයේ අපි දකින වීදි කලාවන් ආරම්භ වෙන්නේ මධ්‍යතන යුගයේදී. රෝම ආභාසය සහිතව පටන් ගත්ත මේ දේවල් ප්‍රංශය වගේ රටවලදී ගොඩක් සංවර්ධනය වුණා. ඊටපස්සේ එංගලන්තය මේක වැළඳ ගත්තා. ඉතින් අවසානයේ යටත් විජිතකරණය එක්ක සීන් එක ලෝකය පුරා ව්‍යාප්ත වුණා. ඒ වගේම මචෝ අපරදිග සංස්කෘතීන් ඇතුළෙත් මේ ලක්ෂණ තිබ්බා. කලා මාධ්‍යයන් ඕනතරම් තිබ්බා. ඒකත් නොකියා බෑ. ඒ ගැන කියන්න ගියොතින් මේකෙ ඉතිහාස කතාවක් විතරක් වෙනවා.

ඉස්සර නම් සාමාන්‍යයෙන් වීදියක ඉන්න කලාකාරයෙක්ට ලෝක මට්ටමෙන් ජනප්‍රිය වෙනවා යැයි කියන එක හීනයක්. ඒත් අද වෙද්දී ඒකට ගතවෙන්නේ මිනිත්තු කිහිපයක් විතරයි. Street music කරන කෙනෙක්ගේ Performance එකක් ඒක නරඹන කෙනෙක් වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදාහරිනවා. ඒ වගේ සීන් නිසා මේ වෙනකොට ලෝකය පුරා ජනප්‍රිය වෙච්ච ආටිස්ලා සෑහෙන්න ඉන්නවා. සමහරු දැන් මහා ලොකු කලාකාරයෝ බවට පත්වෙලා මුල අමතක වෙලා.

Music විතරක් නෙවෙයි මිලියන ගණන්වලට විකිණෙන Street Painting තියෙනවා. මහපාරේ සිතුවම් ඇඳීම කියලා කියන්නේ මේ වෙලාවේ අන්තර්ජාලීය වෙච්ච පට්ට Trend එකක්. ඒ වගේම සංචාරක ආකර්ෂණය නගරවලට අරගෙන එන උපක්‍රමයක්. තව Street Magicianලාත් ඉන්නවා බොහොම ජනප්‍රිය. මේ හැමදේටම හේතුව වර්තමාන Social Media තමා මචෝ.

තමන්ටම කියලා YouTube channel යූටියුබ් චැනල් එහෙම පවත්වාගෙන යන ඒ හරහා මුදල් උපයන වීදි කලාකරුවෝ ඉන්නවා. අපේ සුදාලා දැකලා ඇති. ඒ වගේම වීදි කලාව සයිබර් තුළින් මුදල් උපයන කලාවේ ඉහළ ඉඳන් පහළට බැහැපු කලාකාරයොත් ඉන්නවා. ඒත් ඇත්තටම වීදියක ඉපදිලා විදිය එකම කලාව කරලා වීදියකම මියයන කලාකාරයෝ ලෝකෙ තවම ඉන්නව වස්තු අමතක කරන්න එපා.

මේ ගොඩක් අය තමන්ගෙ දක්ෂතාවයම තමා පදනම කරගෙන තියෙන්නෙ. එයාලා මහලොකුවට කලාව ඉගෙන ගෙන නම් නෑ. ඒත් ඔය ප්‍රබුද්ධයි කියලා කියන කලාවේ මහා ප්‍රාඥයන්ට පවා හිතාගන්න බැරි තරම් විශිෂ්ඨ කලා නිර්මාණ මහ පාරේ බිහිවෙලා තියෙනවා. අද ඒ නිර්මාණ ලෝක මට්ටමින් අගය කිරීමට ලක් වෙනවා. ලංකාවේ අයට නම් ඒව ගැන වගේ වගක් නෑ මචෝ.

හැබැයි ලෝකය පුරාම වගේ එකක් වීදි කලාකරුවෝ මුහුණ දෙන ලොකු ඛේදවාචකය තියෙනවා මචෝ. ඒකත් අපි මතක් කරන්න ඕනෑ. ගොඩක් නගරවල පාලකයන් කැමති නෑ මේ කලාකාරයන්ට. මේ අය තමන්ගේ නගර ලස්සන කරනවයි කියලා එයාලට හිතෙන්නෙ නෑ. එයාලා හිතන්නේ මේ අය නිසා නගර අවලස්සන වෙනවා කියලා. ඒ නිසා මෙයාලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන අවස්ථා වැඩියි. 

පොදු ස්ථානවල කලාවේ නිරත වීමේ වරදට සමහර කලාකාරයො සිරගත වෙලා පවා තියෙනවා. ඇමරිකාවේ යුරෝපයේ දැන් දැන් වීදී කලාකරුවන්ට නිදහස ලැබෙමින් තියෙන්නේ. ඒත් මචෝ අපේ වගේ රටවල වීදියෙ කලාව කරන අය තාමත් සමහරු දකින්නේ හිඟන්නෝ වගේ. අපි දන්න කියන ලංකාවේ වීදියේ සංගීත කරපු ෆෙන්තෝලාට කිහිප දෙනෙකුටම ලොකු ලොකු අසාධාරණකම් වුණා. සිරාවට මචෝ ඒව නම් කැත වැඩ ආ.

සුදාලා කියන්නේ මේ අයට තමන්ගේ නිර්මාණ ලෝකයට එළිදක්වන්න වෙන වෙන තැන් හදලා දෙන්න සමහර පාලකයෝ හදනවා. වීදියක මිනිස්සු අතරේ කරන කලාව කරන වයිබ් එක වෙන තැනක ලබාගන්න බෑ මචං. ඒ වගේමයි මචෝ පාරක ඇවිදගෙන යන අතරමඟ පාරෙදි සින්දුවක් අහලා ගන්න ආතල් එක ලොකු ප්‍රසංගයකට ගිහිල්ලා ගන්න බෑ. කලාවට ඒ ඒ තැන්වල ඒ ඒ විදියට වෙනම හැඩයක් තියෙනවා. ඉතින් වීදියෙන් කලාව අතුගාලා දාන එක නෙවෙයි වැඩේ. වීදියේ කලාව කරන්න අපේ උන්ට ඉඩක් දෙන එකයි වැඩේ.

ඉතින් වස්තු ලෝකේ සුපිරි Trend එක වුණ  Street performance වලට ලංකාවේ හොඳ තැනක් ලැබෙන්න ඕනි කියලයි අපි විශ්වාස කරන්නේ. නිදහස සාමකාමීත්වය මේ කලාව ඇතුළේ තියෙනවා. සංචාරක ආකර්ෂණයටත් මේක හොඳයි. ඔන්න අපි අද Y Trend එකෙන් වීදි කලාකරුවාන්ට පොඩි උත්තේජනයක් ලබා දුන්නා. එහෙනම් ලබන සතියේ තවත් Y Trend එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම් වස්තුලා. ජයවේවා....!

I නිසල්