තාත්තාගේ තුන්රෝද රිය ඈත එන හඬ යාන්තමට ඇහෙනවා ඔන්න. ඒ එක්කම නිදාගෙන හිටපු කිට්සං උඩ පැනලා අවදිවෙනවා. වේගෙන් ඉස්තෝප්පුවට දුවනවා. තාත්තා ගෙට ඇතුළු වෙන්නේ කිට්සංගේ හරසර මැදින්. මේක අපේ ගෙදර හැමදාම දකින්න පුළුවන් දසුනක්. මීට මොහොතකට ඉස්සෙල්ලා ඒක එහෙම්ම සිද්ධ වුණා. මීට කලින් කිට්සං පිළිබඳ කතාවක් කියලා තිබුණත් පොදුවේ පූසන් පිළිබඳ කතාවක් ගලපන්න සිතුවිලි බැඳුනේ මේ වෙලාවේ.
මම ඉස්තෝපුවේ පුටුවක බරවෙලා ජංගමයගේ අකුරු කරන්න පටන් ගත්තා. කිට්සං කොල්ලත් එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්නවා. ''පූසන් පිළිබඳ මතක වස්තුව'' ආ ඒ නම හොඳයි. මේ ලොකේ පූසන්ට ආදරේ කරන මිනිස්සුයි බල්ලන්ට ආදරය කරන මිනිස්සුයි කියලා දෙගොල්ලක් ඉන්නවා. අපි අයත් වෙන්නේ පූස් ආදරවන්තයන්ගේ ගණයට. මම පුංචිම කාලේ මහ ගෙදර ජීවත් වෙද්දී හිටියා සුදුයි අළුයි පූසෙක්. ඇත්තට ඒ පූසා ගැන මට පැහැදිලි මතකයක් නෑ. ඒත් එයා තමයි මම දන්න පළවෙනි පූස් යාළුවා.
ඒ කාලේ ගෙදර අය කිව්ව විදිහට මේ පූසා වීරයෙක් වෙලා ඉඳලා තියෙන්නේ. ඒකට හේතුව තමා දවසක් දා මහ ගෙදරට ආපූ නපුරු සතෙක්ට එරෙහිව එයා කරපු සටන. කොහොම හරි ඒ සටන නිසා තමා, නපුරු සතා ගැන ගෙදර අය දැනගෙන තියෙන්නේ. ඉතින් එදා ඉඳන් එයා ගෙදර වීරයෙක් වෙලා. මෙයාගේ ගති පැවතුම් ගැන නම් හරි හැටි මතකයක් නෑ මට. කොහොම හරි මෙයා ජීවිතයට සමුදුන්නේ රිය අනතුරකින්. මතක විදිහට සීයා එයාව ඉස්සරහ කොටුවෙ වැළලුවා මම බලාගෙන හිටියා. කොහොම හරි මෙයා ගුණගරුක පූසෙක් විදිහටයි පූස් ඉතිහාස කතාවට එකතු වුණේ.
ඊටපස්සේ මඟ ගෙදරට ආවේ දඟයෙක්. ඒ වගේම මොළකාරයෙක්. කුස්සියේ මේසවලට නැගලා හූනන්ට පැනීම කියන බරපතළ ගණයේ මෝඩ වැඩේ මෙයා පොඩි කාලේ ඉඳන්ම කළා. මේ වරද නිසා ගෙදර පිඟන් කෝප්පවලට සිද්ධ වුණ අලාභ හානි ගොඩක් තියෙනවා. මම පූසන්ට ආදරය කරන්න පටන් ගත්තේ මෙයාගෙන්. අදටත් මෙයා ගැන පවුලේ කතාවට අනුව මෙයා දක්ෂයෙක් විදිහට තමා හැඳින්වෙන්නේ. ඒකට හේතුව තමා අල්ලපු ගෙවල් කිහිපයකම මීයෝ ඇල්ලීමේ රාජකාරියත් මෙයා බාරගෙන හිටපු එක. ඒ නිසාම මෙයාට අපේ ප්‍රදේශයවාසීන්ගේ ගෞරවයත් හිමිවුණා.
මගේ මතකවලට අනුව මේ පූසා කරපු මම පුදුම වුණු දේවල් ටිකක් තිබුණා. මෙයා එළියේ වතුර පයිප්පෙ ලාවට ඇරගෙන පයිප්පෙට කට ළංකරලා බිංදුව බිංදුව වැටෙන වතුර බොනවා. ඒක බලාගෙන ඉන්න අපූරු දර්ශනයක්. මහගෙදර ඉස්සරහා කාමරේ ජනේලෙන් පුංචි මම මේ වැඩේ බලාගෙන ඉන්නවා. හ්ම්ම්ම්... අදටත් ඒ දසුන මනසේ ඇඳෙනවා. ආ මෙයා නංගි චූටි කාලේ එයාව ආරක්ෂා කරන්නත් කැපවෙලා හිටියා ඇඳ ළඟට වෙලා.
ඒ විතරක් නෙවෙයි ආච්චිගේ කෝර්ටන් වැට අස්සේ හැංඟිලා ඉඳලා පාරේ පයින් යන අයගේ විලුඹට ගහලා බයකරලා දුවන එක මෙයා කරන තව පිස්සු වැඩක්. මේ වැඩෙන් මෙයා සෑහෙන්න ජනප්‍රිය වුණා. මේ ජනප්‍රියත්වය සහ මී මෙහෙයුම් කලාවේ පෙන්නපු විශිෂ්ටත්වයම තමා මෙයාව අපිට නැතිවෙන්න හේතු වුණේ. කිටියා හිටියේ නාඹර තරුණ වයසේ. පිස්සු හැදෙන ලස්සන පොත් මෙයාට තිබ්බා.
අපේ මහ ගෙවල්වලට එහා පැත්තේ හිටියා සුදුවෑන් එකක් අයිති පවුලක්. ඒ ගොල්ලන්ට වෙන ගමක ගෙයක් තිබුණා. එහේ මී කරදර වැඩියි කියලාත් එයාලා කියලා තිබුණා. හැබැයි මෙහෙ ගෙදර මී මෙහෙයුම් අපේ කිටී බාරගෙන හිටපු නිසා කරදරයක් තිබුණේ නෑ. කොහොම හරි මෙයාලා තමා වැඩිපුරම කිටී ගැන උනන්දු වුණේ. ඉතින් දවසක්දා කිටී අතුරුදන් වුණා. අපි සෑහෙන්න දුක්වුණා. කොහොම හරි අපි අදටත් සැක කරන්නේ අර සුදුවෑන් එකෙන් කිටීව පැහැරගෙන ගියා කියලා. ගෙවල් අවට බුද්ධි අංශත් ඔය කතාව තහවුරු කරලා තිබ්බා ඒ කාලේ.
ඔන්න ඔය කාලේ අවසානයේ අපි අලුත් ගෙදරකට පදිංචියට ගියා. ඒ සුනාමියෙන් පස්සේ. එතකොට තමා ඊළඟ කිටියා අපිට මුණ ගැහෙන්නේ. මෙයා ගෙවල් අවට කැරකි කැරකි හිටියා ටික දවසක්. දවසක් ඔන්න හොඳටම වැස්ස මෙන්න මෙයා ගේ ඉස්සරහා දොර ගාවට ඇවිල්ලා ඉන්නවා. ගෙවල් අවට යන එන ගමන් කෑම බීම එහෙම මෙයාට අපේ ගෙදරින් ලැබුණ නිසා තමා මේ ඇවිල්ලා තියෙන්නේ. වැස්ස හොඳටම දරුණුයි කිටී බයවෙලා ඉන්නේ. අවසානයේ අම්මා අවසර දුන්නා නංගිට එයාව ගෙට ගන්න. මෙයා සෑහෙන්න නිහතමානී පූස් කෙනෙක් විදිහට තමා පූස් ඉතිහාසයට එකතු වුණේ.
අපේ නංගිට පූස් පිස්සුව හැදෙන්න හේතු වුණේ මෙයා තමා. මහගෙදර සහ අපේ අලුත් ගෙදර අතර තිබ්බ ගනුදෙනු මෙයාටත් තිබ්බා. අපි එක්ක මහගෙදර මෙයා යනවා එනවා පයින්. සමහරදාට එහේ නැවතිලා ආච්චිට සීයට ආරක්ෂා සපනයවා. අමු මාළුවලට තමා මෙයාගේ රුචිකත්වය. වතුරට නම් හරිම බයයි. මම හිතන්නේ හේතුව සුනාමිය. මේ අවට කට්ටියක් සුනාමියෙන් පස්සේ ගෙදර අතහැරලා යද්දී මෙයාව දාලා ගිහිල්ලා. පස්සේ කාලෙක තමා ඒක ආරංචි වුණේ. කාටත් කරදරයක් නැති මහත්මා ගති පැවතුම් තිබුණ කිටියෙක් එයා.
ඇත්තට මේ කිටීට මතක මඟ දිගේ වෙනම පරිච්ඡේදයක වෙන් වෙන්න ඕනෑ චරිතයක්. අපේ ජීවිතවල අමාරුම කාලවල මේ කිටී අපිත් එක්ක හිටියා. අවුරුදු 12ක් විතර අපිත් එක්කම ජීවත් වුණා. නංගි තමා මෙයාගේ හොඳම යාළුවා වුණේ. අපි කවුරුත් මෙයාට ගොඩාක් ආදරය කළා. අවසානයේ කාලය ගෙවිලා ගිහිල්ලා අපිත් වැඩිහිටියෝ වෙලා හිටියේ. එතකොට එයා වයසයි.
මෙයා සමුගත්ත දවස මට අමතක වෙන්නේ නෑ. මම වැඩට ගිහිල්ලා එනකොට එයා ඉස්තෝප්පුවේ නෙට් එකකින් වහලා අවසන් හුස්ම හෙළනවා. මට දැනුනේ පුදුම වේදනාවක්. ඇඳන් හිටපු ඇඳුම පිටින්ම එයා ළඟ වාඩිවෙලා මම එයාට කතා කළා. බලන් හිටපු කෙනෙක්ට නම් ඒක පිස්සුවක් වගේ ඇති. හොඳ භවයකට යන්න කියලා එයාට කියලා මම පිරිත් කිව්වා. අදටත් අපේ අම්මා කියනවා වගේ ඒක පුදුම වැඩක්. පිරිත් අවසානයේ එයා අන්තිම වතාවට ඔළුව උස්සලා මගේ දිහා බැලුවා. ඇත්තටම මුළු දවසෙම අවසන් හුස්ම පිටකරන්න උත්සාහ කරපු එයාට එහෙම හයියක් ආවේ කොහොමද? ඒක අදටත් අපිට ප්‍රශ්නයක්. ඇත්තටම එයා තමා හොඳම කිටියා.
එයා නැතිවෙලා මාසයක් වගේ යන තැන තමා බේරුවල දුම්රිය පොලේ ඉඳලා කිට්සංව තාත්තයි මායි ගෙදර අරගෙන ආවේ. රේල් පාරේ මජං නෑවිලා හිටියේ. මෙන්න මෙයා ඒත් දැන් අති සුඛෝපභෝගී කිටියෙක් වෙලා. උදේට කිරි ඕනේ. නැත්නම් ප්‍රශ්නයක් තමා. මාළු එයාට වෙනම උයන්න ඕනෑ. හැබැයි දඟයා ඒ වගේම වැඩ්ඩා. ඒ වුණාට අනික් පූසන්ට බයයි. මෙයා ගැන නම් කතා කෝටියක් තියෙනො. ඒ ඔක්කොම කියන්න බෑ. කලින් දවසක මම කතාවක් කිව්වා. කොහොම හරි අම්මා කියනවා වගේ කිට්සංට බැරි සිංහල භාෂාව විතරයි.
තව අමතක කරන්න බැරි චරිතයක් හිටියා. එයාගේ නම කළු පූස්. එයා අල්ලපු ගෙදරක කෙනෙක්. එයාලගේ ගෙදරට බල්ලෙක් ගෙනාපු නිසා කළු පූස් අනාථ වුණා. අන්තිම කාලේ ගෙව්වේ අපේ ගේ පිටිපස්සේ. අපි කෑම බීම එහෙම දුන්නා. වැඩි කාලයක් ජීවත් වුණේ නෑ. එයාගේ ජීවිත කතාව අවාසනාවන්ත විදිහට තමා ඉවර වුණේ. එයා සමුගන්න කලින් දවසෙත් එයාට මම ජීවිතේ ගැන පාඩමක් කියලා දීලා හොඳ තැනකට යන්න කියලා කිව්වා. අන්තිමට එයාට අපි හදලා දීපූ කාඩ්බෝඩ් පෙට්ටි නිවහනේම තමා අවසන් ගමන් ගියේ.
ඔන්න අපේ කිට්සං ඤාව් ඤාව් සංගීත වාදනය පටන් අරගෙන. ඔය කියන්නේ තාත්තට එයාගෙ කෑමවේල පිළියෙල කරන්න කියලා. රටේ ආර්ථිකය කඩා වැටුණත්, අපි සාගතයෙන් මැරුණත් මෙයාට නම් වැඩක් නෑ. ඒ වුණාට හොඳ කොල්ලා. පූස් මතක වස්තුව එය නම් අපි අදට ඉවර කරනවා.
I නිසල්