2022 මැයි 22 වන ඉරිදා

සිහිනයෙන් එහා අපේම ලෝකයක්...

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 51

ජීවිතයේ කොයි මොහොතකදි හරි දැන් මට මහන්සියි කියලා ඔබට දැනිලා තියෙනවාද? ඇත්තටම එහෙම නොදැනුණු කෙනෙක් මේ ලෝකෙ කොහේවත් ඉඳලා නැතුව ඇති... ජීවිතයේ මොන දේවල් ලැබුණත් ඒ මම ඉල්ලපු දේවල් නෙවෙයි කියලා තවත් මොහොතක ඔබට හිතිලා ඇති... ජීවිතය කියන්නෙ ඉල්ලන නොඉල්ලන හැමදේම එක්ක යන ගමනක්....

ඒ ගමනේදී ජීවිතය වෙනුවෙන් අත්‍යවශ්‍යම එක දෙයක් තියෙනවා... ඒ තමයි සිහින... යථාර්ථය ගැන අපි ජීවිතයේ අගුපිල් සඳලුතල ගාණේ වාඩිලාගෙන කතා කළත් අපිට සිහිනත් එක්ක ගැටගැහිච්ච වේදිකාවක් ඕනෑ ජීවිතය වෙනුවෙන් තාලයට අත්පුඩියක් ගහන්න... සිහින යථාර්ථයත් එක්ක නොසැඳෙන තැන් කොච්චර අසුන්දර වුණත් සිහින සිහිනයෙන් ඔබ්බට යථාර්ථයක් බවට පරිවර්තනය කරගත හැකි තැන් හරිම සුන්දරයි...

උස්තාද් හොටෙල් කියන මලයාලම් සිනමා සිත්තම තුළ සිත්තම් වී තිබෙන්නේත් සිහින යථාර්ථය කරා රුගෙන ගිය මහා ආත්ම ශක්තියක් සහිත මිනිසෙකුගේ කතාවක්....

පවුලේ පස්වැනියා විදිහට ෆයිසි මේ ලෝකයට එන්නෙ දූවරු හතර දෙනෙක් ඉන්න ඒත් පුතුන් මිස  දූවරු නොපැතූ තාත්තා කෙනෙක්ගේ අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන සිටි ප්‍රාර්ථනාව විදිහට.... ඒත් ෆයිසි මේ ලෝකයට එද්දි එයාගෙ අම්මාට මේ ලෝකයෙන් යන්න වෙනවා... ඒ එක දිගට දරුවන් වැදීමෙන් ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්වීම නිසා... ඊට පස්සෙ ෆයිසිගේ තාත්තා දරුවනුත් රැගෙන ඩුබායි හි පදිංචියට යනවා. ෆයිසිට අම්මා කෙනෙක්ගේ ආදරය ලැබෙන්නේ  එයාගෙ අක්කලාගෙන්...ෆයිසිත් තාත්තාත් නැවත එම නිවසේ තනි වෙන්නේ ෆයිසිගේ අක්කලා විවාහ වී එම නිවසින් පිටව ගිය පසුවයි... ඉන් පස්සෙ ෆයිසිගේ තාත්තා තවත් බිරිඳක් නිවසට කැටුව එනවා... ඔහු ෆයිසිගෙන් ඉල්ලා සිටිනවා විදේශයකට ගිහින් ව්‍යාපාර කළමනාකරණය ගැන ඉගෙනගෙන එන්න කියලා... ඔහු ස්ව්ට්සර්ලන්තයට යනවා. ඒත් ඔහු ඉගෙන ගන්නෙ පියාගෙ ව්‍යාපාරික සිහිනයට පියාපත් දීම වෙනුවෙන් ව්‍යාපාර කළමනාකරණය නෙවෙයි... ඔහුගේ සිහිනය වෙත යන්න චෙෆ් කෙනෙක් වෙන්න...

ඔහු නැවත ඉන්දියාවට එන්නෙ පියාගෙ වුවමනාවට. විවාහ යෝජනාවක්  වෙනුවෙන් මනමාලියක් බලන්න යන්න... ඒ වෙද්දිත් ඔහු පෙම්වතෙක්... ඇය යුරෝපීය තරුණියක්... ඒත් ඔහුගේ සාම්ප්‍රදායික මුස්ලිම් සොයුරියන්ගෙන් ඊට අනුමැතියක් ලැබෙන්නේ නෑ... ඇත්තටම ඔහු ඉන්දියාවට එනතුරු දන්නෙ නෑ තමන් මේ ගමන යන්නෙ මනමාලියක් වෙනුවෙන් කියලා... ඒ වෙද්දී ඔහු තම පෙම්වතිය සමඟ එංගලන්තයේ පදිංචියට යන්න සියල්ල ලෑස්ති කරගෙනයි ඉන්නෙ... ඔහු තමන් බලන්න ගිය මනමාලිට කියනවා මම ස්ව්ට්සර්ලන්තයට ගියේ ව්‍යාපාරිකයෙක් වෙන්න ඉගෙන ගන්න නෙවෙයි... චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කියලා... මම කැමති නෑ උයන මිනිහෙක් කසාද බදින්න කියලා ඇය ඒ විවාහයට එකඟ වෙන්නෙ නෑ... ඔහුගේ යුරෝපීය පෙම්වතියට ඔහු ඇත්තටම ආදරය කළත් ඇය ඔහුට එලෙස ආදරය කරන්නෙ නෑ... ක්‍රිස්ටිනා නම් වූ ඇයට තවත් පෙම්වතෙක් ඉන්නවා. ඒ නිසා ඒ ප්‍රේමය බිඳී යනවා... ඔහු ඉගෙන ගත්තෙ චෙෆ් කෙනෙක් වෙන්න කියලා දැනගත්තම ඔහුගේ පියා වියරු වැටෙනවා... ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයත් උදුරා ගන්නවා... අවසානයේ දී චෙෆ් කෙනෙක් වෙන තමන්ගෙ සිහිනය වෙනුවෙන් ඔහු තමන්ගෙ සීයා හොයාගෙන යනවා... 

උස්තාද් කියන පුංචි හෝටලයේ අයිතිකාරයා තමයි ෆයිසිගේ සීයා... ඒ ප්‍රදේශයේ රසම බුරියානි එක හදන්නෙ උස්තාද් හෝටලයේ... උස්තාද් ඉතාමත් ලස්සන හදවතක් තියෙන සමාජ සේවකයෙක්. ඔහු කවදාවත් මුදල් ඉතුරු කරලා නෑ... තමන්ගෙ සේවකයන්ට ඔහු ඉතාමත් හොඳින් සලකන හාම්පුතෙක්... කලින් ඔහු මේ හෝටලය බැංකුවට උගස් කර ණයක් අරගෙන තියෙනවා... ඒ ප්‍රදේශයේ තියෙන උස්තාද් හෝටලයට කිට්ටුවෙන්ම තියෙන හෝටලයේ අයිතිකරු උත්සාහ කරන්නෙ බැංකු කළමනාකරු සමඟ එක්වී උස්තාද් හෝටලය බැංකුවට සින්න වෙන්න හැර එය තමන්ට මිලට ගන්න... ඒ වෙද්දී ෆයිසි වැඩ කරන්නෙ ඒ ලොකු හෝටලයේ කෝකියෙක් විදිහට. එහෙම වුණේ තමන්ගෙ සීයාගෙ කැමැත්තෙන්... ඔහු මේ සියල්ල දැනගෙන උස්තාද් හෝටලයේ සේවකයන් සමඟ එක්වී එය බේරා ගන්නවා... 

මේ අතර ෆයිසිට ප්‍රංශයේ  හෝටලයක ප්‍රධාන චෙෆ් විදිහට රුකියාවකට අවස්ථාවක් ලැබෙනවා. තමන්ගෙ මුණුපුරා වෙන් වී යයි යන ශෝකය දරාගන්න බැරුව සීයාට හෘදයාබාධයක් හැදෙනවා... සීයා රෝහලේ ඉද්දිම තමන්ගෙ මුණුපුරාගෙන් ඉල්ලීමක් කරනවා මගේ යාළුවෙක් වෙන ක්‍රිෂ්ණන්ව මුණගැසෙන්න කියලා... උස්තාද් ඔහුගෙන් ඉල්ලන්නෙ මම මගේ මුනුපුරාට උයන්න ඉගැන්නුවා ඔබ ඔහුට උයන්නෙ ඇයි කියලා උගන්වන්න කියලා... ක්‍රිෂ්ණන් ඉන්දියාවේ ඔහු ජීවත් වෙන ප්‍රදේශයේ දුප්පතුන්ට දිනපතා කන්න දෙන සමාජ සේවකයෙක්. අවසානයේ ප්‍රංශයට යන අදහස අත්හැර ෆයිසි තමන්ගෙ සීයා වෙත එද්දි ඔහු ජීවිතය හැර ගිහින්... ඔහු පරණ සේවකයන් සමඟ අලුත්ම මුහුණුවරකින් උත්සාද් හෝටලය ගොඩනගනවා... ඩුබායි රටේත් එහි ශාඛාවක් අරඹනවා... අවසානයේ ඔහුගේ මනමාලිය වෙන්නෙ චෙෆ් කෙනෙක් කියලා ඔහුව මුලින් ප්‍රතික්ෂේප කළ ඇයමයි... ජීවිතයේ අභියෝගවලට උස්තාද් සහ ෆයිසි මුහුණ දෙන ආකාරය ඔවුන්ගේ ආදරණීය බැඳීම ළෙන්ගතුකම මේ සියල්ල හරි අපූර්ව ආකාරයෙන් මේ සිනමා වියමන තුළ දිගහැරෙනවා.

සිහින සොයා යන ගමන කොතරම් කටුක වුවත් සිහිනය යථාර්ථයේ තාරුකාවක් වී දිලිසෙද්දී... අන්න ඒ දවස තමයි ජීවිතයේ ලස්සනම දවස.