සිත ගැන හිතන එක නතර කරගන්න බැරි තැනක මම නතර වෙන්නේ ඔහු ළඟ. මේ දවස්වල ජීවිතය හරිම විඩාබරයි. රට ගැන අපි ගැන අපේ ජීවිතය ගැන සියලු බලාපොරොත්තු වලාකුළක් වගේ ඈතට පාවෙලා විසිරිලා යනවා. ඊයේ තාත්තා එළිවෙනකල් පෙට්‍රල් පෝලිමේ. මහ පාන්දර ගෙදර ආවේ. මගේ නින්දත් විකාර රූපී හීන වලින් පිරිලා තිබුණේ. නින්දට ගියේ ජීවිතය ගැන රට ගැන කල්පනා කරකර. ඉතින් උදේ අවදි වුණාම හිත තවත් විකාරයි.
ඉතින් නිදි ඇඳේම මම සිත ගැන හිතන්න පටන් ගත්තා. සිත ගැන හිතන එක නතර කරගන්න බැරි තැනක මම නතර වෙන්නේ ඔහු ළඟ. ඒ නිසාම මතක මඟ දිගේ ඈතට ඇවිදගෙන ගිහිල්ලා මම ඔහුගෙන් පාඩමක් ඉගෙනගෙන එන්න හිතුවා. සමහරවිට ඒ පාඩම තවත් කාට හරි වටින්න පුළුවන්.
ඉතින් මේ උදේම ජංගමයාගේ තිරේ අකුරු අමුන අමුන මම කාලය හරහා යන්නේ අපේ ගොඩැල්ලේ සීයාව හොයාගෙන. ගොඩැල්ලේ සීයා කියන්නේ තාත්තගේ තත්තාට. මට යාන්තම් අවුරුදු දෙකේදී විතර තමා සීයා නැති වුණේ. ඒත් ගොඩැල්ලේ සීයා මගේ හිත ඇතුළේ තාම ජීවත් වෙනවා කියලා වෙලාවකට මට හිතෙනවා. ඒක හේතු කිහිපයක් තියෙනවා.
ඒ කොහොම වුණත් සීයා ගැන මට තියෙන්නේ ජීවමාන මතක අතලොස්සයි. ගොඩැල්ලේ කන්ද උඩ තත්තලාගේ මහ ගෙදර ඉස්තෝප්පුවේ කණුව වටේ කැරකි කැරකි මම සෙල්ලම් කරනවා. සීයා පුටුවකට බරදීලා බලාගෙන ඉන්නවා. ඒක බොහොම අපැහැදිලි මතකයක්. එතකොට අපි ජීවත්වුණ අම්මලාගේ මහගෙදර හවසක ඉස්තෝපුවේ සීයලා දෙන්නා පුටු දෙකක කතා කර කර ඉන්නවා. මම බලාගෙන ඉන්නවා. ඒකත් හරිම පුංචි මතකයක්.
ගොඩැල්ලේ සීය අවසන් ගමන් ගිය දවස ගැන තමා මට ටිකක් පැහැදිලි මතකයක් තියෙන්නේ. එදා කවුරු හරි මට අරලිය මල් පොකුරක් දීලා තිබ්බා. කවුරු හරි මාව වඩා ගත්තා. මම ඒ මල් පොකුර සීයාගේ වළට දැම්මා හොඳට මතකයි.
ඔන්න මම ඉස්කෝලේ යන කාලේ දවසක් මට අල්මාරියේ තිබිලා හම්බ වුණා තාත්තාගේ සමරු පොතක්. ඒකේ තිබුණා සීයා තාත්තාට ලියපු කවියක්. සීයාගේ කවි ගැන ලියවිලි ගැන කාලෙක ඉඳන් මට තිබුණ කුතුහලයක්. ඇත්තම සීයා ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙවෙයි. වෘත්තියෙන් ටේලර් කෙනෙක්. ඒ කාලේ ඉඳන්ම පවුලේ අය අතර සීයාගේ අමුතු වැඩ ගැන එක එක කතා තිබුණා. කොහොම හරි සීයා ගැන මට තිබුණ කුතුහලය අසීමාන්තික ගෞරවයක් වුණේ සීයා තාත්තාගේ සමරු පොතේ ලියලා තිබුණ කවිය නිසා.
සිතන මෙසිත නොසිතන සිත සැප සොයත
සොයන සැපත සිතු සිත ඇත සිත සිතත
සිතන මෙසිත සැප නැත පුත දුක ගයත
දෙතැන නොසිත මැදිවන සිත ඇත සැපත
සිත පිළිබඳ සමස්ත බෞද්ධ ඉගැන්වීම පද හතරකට දාලා තියෙන කවිය, සීයම ලියපු එකක්ලු. මට එදා ඇති වුණේ මහා පුදුමයක්. ඉතින් එදා තාත්තගේ සමරු පොතේ පරණ පිටු අතර ගොඩැල්ලේ සීයව මට මුණගැහුණා.
මේ වගේ විඩාබර වෙලාවලට මට මේ කවිය නිරායාසයෙන්ම මතක් වෙනවා. මධ්‍යම ප්‍රතිපදාව. ම්ම්... මුළු ලෝකයම තියෙන්නේ අපේ හිත තුළ නේද? අපි පිටතින් දකින සියල්ල සැබෑවටම පවතින්නේ අපි තුළමයි. අපි සැප හොයන්නේ අපි තුළ. ඒත් අපි හිතනවා සැප තියෙන්නේ පිටත ලෝකයේ කියලා. දුක හට ගන්නේත් අපි තුළ. සැපත් තියෙන්නේත් අපි තුළ. ඒක මහා පුදුමාකාර දෙයක්. මේ ගොඩක් ප්‍රශ්නවලට විසඳුම සිත මැදිහත්ව තියාගන්න එක. ඒක තමා සීයා කිව්වේ.
''දෙතැන නොසිත මැදිවන සිත ඇත සැපත''
ඒ අවබෝධ මොහොතකට හරි ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් සිතට පුදුම සැනසීමක් දැනෙනවා. මට හිතෙන්නේ මේ වගේ මොහොතක අපි හැමෝට සැනසෙන්න තියෙන හොඳම විදිහ ඒක.
ඉස්සර ගොඩැල්ලේ මහ ගෙදර ටිකක් ලොකු බෑග් එකක් තිබ්බා. ඒකේ තිබුණේ සීයා ලියපු කොපි පොත්. කිසිම කෙනෙක්ට ඒකෙ වටිනාකමක් තිබුණේ නෑ. ඔය පොත් අතරේ මට ලොකු වුණාම දෙන්න කියලා සීයා ලියපු පොතක් තිබුණා. ඒක මම චූටි කාලේ දැකලා තියනවා. ඒත් මට ඒක කවදාවත් ලැබුණේ නෑ.
මට යමක් කමක් තේරිලා සීයා ගැන හොයන්න පටන් ගන්නකොට ගෙදර අයට මතක නෑ ඒ පොත් මල්ලට වෙච්ච දේ. ඇත්තම කියන්නම්, මට අදටත් ඒ ගැන පුදුම තරහක් තියනවා. ඒ පොත් මල්ල දිහා මම පුදුම ආසාවකින් බලන් හිටියා පොඩි කාලේ. එතකොට ඔය කවි ගැන තියා සියා ගැනවත් මට හරි අවබෝධයක් තිබුණේ නෑ. ඒත් මම ඒකට ආස කළා.
කොහොම හරි සීයා ලියපු මේ වගේ පතපොත ගොඩක් තිබිලා තියනවා. සමහර ඒවා කලබල කාලේ පුච්චලා දාලා ආච්චි. සීය සමසමාජ පක්ෂ ක්‍රියාකාරිකයෙක් නිසා ඒ කාලේ ගෙදර අය බයවෙලා තියෙනවා බිල්ලෝ එයි කියලා. කොහොම වුණත් මගේ පොත නැති වුණේ අවුරුදු විස්සකට විතර කලින් මෑතකදී. මට පස්සේ කාලෙක හම්බ වුණා සීයගේ අත්අකුරු තිබුණ පිටු ගැලවුණ පොතක්, කොළ කෑලි කිහිපයක්. ඒවා දිහා බැලුවම සියා සමාජවාදයට වඩා බුදුදහම නැඹුරු වෙලා හිටියා කියලයි මට හිතෙන්නේ.
සීය කියපු කරපු අමුතු දේවල් සමහරු කතා වෙනවා. කාලයක් භාවනා කරන්න ගිහිල්ලා හිටපු කතාවක් තියෙනවා. එතකොට ජීවය ඇතිවීම ගැන මැටි ගුලියකින් මලකින් කරපු පරීක්ෂණයක් ගැන කතාවක් තියනවා. බඹර සංදේශය කියලා සංදේශයක් ලියපු කතාවක් තියෙනවා. ඇත්තට මට ඒ දේවල් ගැන පුදුම කුතුහලයක් අදටත් තියෙන්නේ. ඒත් ඒ කාලේ සීයාගෙ අවට හිටපු කිසිම කෙනෙක්ට ඒ දේවල් තේරිලා නෑ. තේරුම් ගන්න උත්සහා කරලත් නෑ.
මම හිතන විදිහට කවමදාවත් පවුලේ කාටත් ගොඩැල්ලෙ සීයාව තේරුම් ගන්න බැරි වුණා. ඒත් ලෝකය ගැන මිනිස්සු ගැන අපේ සීයා තේරුම්ගත්ත ගොඩක් දේවල් තිබ්බා. කොහොම හරි ජීවිතෙන් සමුදෙන්න කලින් සීයා තාත්තට කියලා තියෙනවා පුදුම කතාවක්. සීයා කියලා එයා ප්‍රාර්ථනා කරන්නේ බුද්ධත්වය කියලා. තාත්තා කියන විදියට සීයගෙ අවසන් කටයුතුවලදී ඒ විදියට තමයි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරලා තියෙන්නේ.
ම්ම්... ගොඩැල්ලේ සීයා මට ඇයි පොතක් ලිව්වේ...? අදටත් ඒක මට ලොකු ප්‍රශ්නයක්. සමහරවිට සීයා දැනගෙන ඉන්න ඇති එයාව තේරුම් ගන්න පුළුවන් මට කියලා. සීයා කොහොමද අර වගේ කවියක් ලිව්වේ. එච්චර ගැඹුරක් සීයට තිබුණේ කොහොමද? මේ වගේ ප්‍රශ්න සිය ගණනක් මගේ හිතේ මේ මොහොතෙත් හොල්මන් කරනවා. නටඹුන් වෙච්ච මතකයන් අතර හිටියත්, කවුරුත් ඔහු ගැන නොදැන හිටියත්, කවුරුත් ඔහුව තේරුම් නොගත්තතත්, ගොඩැල්ලේ සීයා මට ලොකු වීරයෙක්...!
I නිසල්