2022 ජුනි 05 වන ඉරිදා

පටාර් ගාලා පුටාර් එකට මාරු වෙමුද?

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 135

මේ දවස්වල මලකඩ කාපු ෆුට් බයික් අපේ කොල්ලෝ කෙල්ලෝ වින්කලේ පැත්තට තල්ලු කරගෙන යනවා. ඒ අස්සේ මෙන්න තවත් සෙටාර් එකක් පාවිච්චි කරපු පුටාර් එකක් හරි ගන්න ට්‍රයි එකක් දෙනවා. ඇත්තටම පුටාර් එක පට්ට Trend එකක් වෙලා අපේ ලංකාවේ. හේතුව ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ වස්තු. අපේ සුදාලා දන්නවා. ඉතින් අද අපි පුටාර් එක නොහොත් පාපැදිය සම්බන්ධ කතා කරන්න Y Trend දෙන්න හිතුවා.

මීට කලිනුත් අපි ෆුට් බයිසිකල් ලෝකය පුරා Y Trend එකක් වීම සම්බන්ධව කතා කළා. ඉතින් මචෝ ඒ කාලේ අපි අනාවැකියක් කිව්වා ලංකාවෙත් දවසක මේ Trend එක නිර්මාණය වෙයි කියලා. ඔන්න සීන් කෝන් එක සිද්ධවෙලා අපි හිතුවටත් වඩා ඉක්මනට. කොහොමහරි ලංකාවේ මේ සිද්ධවෙන දේ ගැන විතරක් නෙමෙයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ලෝකයේ තියෙන පුටාර් Trend එක පටාර් ගාලා ලංකාවට ගේන්න පාරක් හොයන්න තමා මේ උත්සාහය පැංචෝ.

කොවිඩ් වසංගතය එක්ක යුරෝපා පාලකයෝ පාපැදියට ලොකු අවධානයක් දීලා තියෙනවා මචෝ. කොහොමත් යුරෝපය පැත්තේ වාහනවලට ලොකු පොඩි කියලා වෙනස්කොට සලකන මඤ්ඤං මානසිකත්වයක් නෑ. එය නිසාම 70, 80 දශකවලින් පස්සේ ගොඩක් නාගරිකයෝ පාපැදිය පහසු ප්‍රවාහන මාධ්‍යයක් කරගෙන තිබුණා. සුදාලාට කියන්න, වාහන තදබදය මඟහරින්න වගේම සෞඛ්‍යයටත් පුටාර් එකේ ගමන හොඳ විසඳුමක් කියලා එයාලා විශ්වාස කළා. අපි යුරෝපය ගැනම කතා කළත් චීනය, ජපානය, කොරියාව වගේ ආසියාතික රටවලත් මේ Trend එක හෙමිහිට නිර්මාණය වුණා. 

අපි දන්නවා මචෝ යුරෝපයේ ගොඩක් නගරවල පොදුවේ මුදල් ගෙවලා භාවිත කරන්න පුළුවන් පාපැදි තියෙනවා. එක පාපැදි ගාලකින් පා පැදියක් අරගෙන තමන්ගෙ ගමන ගිහිල්ලා ඒ ආසන්න තියෙන තවත් පාපැදි ගාලක පුටාර් එක නවත්තලා අපේ වැඩේට යන්න පුළුවන්. ලංකාවෙත් මෙහෙම වැඩක් කරන්න කාලයකදි උත්සාහ කළා. නමුත් අසාර්ථක වුණා මචෝ. ඔන්න අපේ ලොකු ලොකු අය මේ කාලේ කරනවා නම් මේක පට්ට වැඩක්. හැබැයි ඒත් හොර හිත් තියෙන සෙටාර් එක ඉන්නවානේ මෙහේ. ඒකෙන් මේක බේරගන්න GPS tracking system එකක් එහෙම දාන්න වෙයි ෆොන්තො.

කොවිඩ් වසංගතය අතර කාලයේ වගේම කොවිඩ් වසංගතයෙන් පස්සේ ලෝකෙ පුරා පාපැදිය කරා මිනිසුන් යොමුවීමේ විශාල වැඩිවීමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි ඒකට නම් හේතුවෙලා තියෙන්නේ ඉන්ධන හිඟය වගේ අනම් මනම් සීන් කෝන් නෙවෙයි. මිනිස්සු තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධව වැඩිපුර හිතන්න පටන් ගත්ත එක. අපේ රටෙත් ඒක ටිකක් තිබුණා. ඒත් අපේ අය පුටාර් එකෙක් වැඩට යන්න, රාජකාරිවලට යන්න කැමති නෑ එච්චර. මොකද එයාලගේ තත්ත්වයට හොඳ නෑලු නී. ඉතින් ඒ නිසා අපේ කට්ටිය පුටාර් අරගෙන ව්‍යායාම කළා. 

පසුගිය දවස්වල වාර්තා වුණු විදිහට මචෝ මේ තත්ත්වය ටිකක් විතර වෙනස්වෙලා තියෙනවා. ලොකු ලොකු දොස්තර මහත්තයලගේ ඉඳලා සාමාන්‍ය රාජ්‍ය සේවකයෝ පවා තමන්ගේ කාර්යාලවලට පුටාර් එකේ යන්න පටන් අරගෙන. හැබැයි සෞඛ්‍ය ගැන හිතලා නෙවෙයි තෙල් ගැන හිතලා. කොහොම වුණත් මේක හොඳ ප්‍රවණතාවයක් මචෝ. රටේ ඔය තියෙන අනම් මනම් ප්‍රශ්න විසඳුණාට පස්සෙත් මේක continue වෙනවා නම් පට්ට. 

අපි පසුගිය සැරෙත් මේ කතාව කිව්වා. පුටාර් පිස්සුව යුරෝපයේ කොච්චර දරුණුවට තියෙනවාද කියලා කියන්න පොඩි උදාහරණයක් දෙන්නම්. පසුගිය අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට පාපැදි සහ පයින් ගමන් කිරීම ප්‍රවර්ධනය කරන්න අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක් විතර වෙන් කළා. ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා කොහොමද ඒක. අපේ සුදාලා කාර් බාර්වල යන්න ට්‍රයි කරද්දී ඔන්න සුද්දෝ පුටාර් එකට දීලා තියෙන තැන. සෞඛ්‍ය ප්‍රශ්නය වගේම ප්‍රවාහන කටයුතුවල තිබෙන ප්‍රශ්න විසඳගන්න තමා සුද්දන්ගේ ආණ්ඩු මේ වගේ තීරණ අරගෙන තියෙන්නේ. ඉංග්‍රීසි ආණ්ඩුව මරු කතාවක් කියලා තියෙනවා. ඔවුන් මේ අවුරුදු කිහිපය තුළ තමන්ගේ රටේ පාපැදි සංඛ්‍යාව දෙගුණ කරනවලු. පාපැදි මං තීරු හදලා පාපැදිවලට විතරක් ඇතුළු වෙන්න පුළුවන් වීදිහක් හදනවලු.

එහේ එහෙම වුණාට මෙහෙ තත්ත්වය ටිකක් වෙනස් මචෝ. පසුගිය දවස්වල පාපැදියක මිල සියයට සියයකින් ඉහළ ගියා. ඒ නිසා සාමාන්‍ය කෙනෙක්ට පුටාර් එකක් ගන්නවා කියලා කියන එකත් දැන් හීනයක් වෙලා. ඒකනෙ කට්ටිය ඔය මලකඩ කාපු කුඩා පාපැදි තල්ලු කරගෙන වින්කල්වලට යන්නේ.

ඒත් ඇත්තටම කොළඹ නාගරිකයන්ට පාපැදි භාවිතයට යොමුවෙන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් තවමත් තියෙනවා වස්තු. එයාලා එහෙම කළොත්  කොළඹ නගරයේ මාර්ග තදබදයට වගේම, ඉන්ධන නාස්තියටත්, කාබන් විමෝචනය සම්බන්ධ ප්‍රශ්නවලටත් ලොකු අස්වැසිල්ලක් වෙනවා එකෙන්ම. ඇත්තටම සුන්දරා,  අපේ රටේ පාපැදියට හෙනහුරා ලබලා තියෙන්නෙ අර කිව්වත් වගේ මිනිස්සුන්ගේ සමාජ තත්ත්වය සම්බන්ධව තියෙන මෝඩ ආකල්ප නිසා. ඒත් ඉතින් යුරෝපයේ සමහර රටවල අගමැතිවරුත් වැඩට යන්නේ පාපැදියේ.

ලෝකේ වැඩිපුරම පාපැදි භාවිත කරන රට චීනය. We Chat ගැන අපි පසුගිය දවසක කතා කළා ෆොන්තොලට මතක ඇති. WeChat ඇප් එකෙන් හදුන්වා දීලා තියෙනවා චීනයේ පාපැදි භාවිතය වැඩි කරන්න අපූරු වැඩක්. එයාලා පුටාර් එක පදින්න දුර අනුව පදින අයට සල්ලි ගෙවනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේගොල්ලන්ගේ නගරවල තැන් තැන්වල පාපැදි ගාල් තියෙනවා. WeChat එකෙන් QR Cord එක scan කළාම තමයි පුටාර් එකේ Lock එක ඇරෙන්නෙ. ඊට පස්සේ රාජකාරි ගමනක් වුණත් පෞද්ගලික ගමනක් වුණත් අපිට යන්න පුළුවන්. ඒ ගමන දුර අනුව අපිට සල්ලි එකතු වෙනවා. ලෝකෙ වැඩිපුරම කාබන් විමෝචනය සිදුවන රට චීනය නිසා ඒක අඩු කරගන්න තමයි එයාලා මේක හඳුන්වා දීලා තියෙන්නේ වස්තු.

හරියට මේ වගේ වැඩක් අපේ රටෙත් කළොත් මචෝ ලංකාවේ ඉන්ධනවලට යන මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉතිරි කර ගන්න අපිට බැරි නෑ. සුදාලාට කියන්න ලෝකෙ Trend  හැදෙන්න ඕන, ඒ වගේම Trend  හදන්නත් ඕන. Trend හදනවා නම් හදන්න ඕනෑ මිනිස්සුන්ගේ යහපතට. ඔන්න අපිට Trend එකක් හදාගන්න පට්ට අවස්ථාවක් තියෙනවා. පටාර් ගාලා සෙටාර් එකම පුටාර්වලට මාරුවෙන වෙලා අපේ  ලොකු ලොකු ෆ්‍රොන්තොලා චුට්ටක් ඔළුව පාවිච්චි කළොත් පුටාර් එකෙන් රට බේරගන්න ගමන යන්න අපිට පුළුවන් වෙයි. 

පුටාර් එකට ජය වේවා..! 

I නිසල්