ඉංග්‍රීසි... ඒ වචනය ඇහෙද්දිත් බය වෙන මිනිස්සු තාමත් ලෝකයේ ඉන්නවා. ලෝකයේ වෙන මොන භාෂාවක් නොදැන හිටියත් ඉංග්‍රීසි නොදැන ජීවත් වෙන්න බැරි තරම් ඉංග්‍රීසිවලට විසල් අගයක් මේ ලෝකයේ නිර්මාණය වී තිබෙනවා. ඉංග්‍රීසි හරියට නොදැන, ඒ කියන්නේ කතා කරගන්න බැරුව අමෙරිකාවේ ගියොත් තත්ත්වය කොහොම වෙයිද? අන්න ඒ විදිහට අමෙරිකාවට ගිය අපූරු ගැහැනියක් ගැන කතාවක් තමයි English Vinglish හින්දි චිත්‍රපටය තුළින් කතා කරන්නෙ
ඒ ගැහැනියගේ චරිතය අපූර්ව ලෙසින් නිරෑපණය කරන ශ්‍රී දේවි කියන හින්දි නිළිය අවාසනාවන්ත ලෙස ජීවිතය හැර ගියත් ඇගේ සිනමා ජීවිතයේ අපූර්ව මතක සටහන් අතර English vinglish කියන්නේ ලෝකයේම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක්.
ඇගේ මුළු පවුලම ජීවත්වීමට අමෙරිකාවට ගියත් ඇය තුළ සිටි සම්ප්‍රදායික ඉන්දීය ගැහැනිය ඇමරිකානු සමාජය හෝ සංස්කෘතිය ඇතුළේ වෙනස් වෙන්නේ හරි හෙමින්. ඇය හැරුණුවිට ඇගේ සැමියාට දියණියට සහ පුතුට හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්. ඇගේ සැමියා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. තම මවට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ ඇති නොහැකියාව ඇගේ දියණිය වරක සමච්චලයට ලක් කරන්නේ තම පියා සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරමින් මව අපහසුතාවයට ලක්වෙන විදියට හැසිරීමෙන්. මේ සිත් රිදීම් හෙමින් දරාගෙන ඇය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ආධුනිකයන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන තැනකට යනවා. ඇත්තටම ඇය හරිම උත්සාහවන්ත ගැහැනියක්. ඇය ඇමරිකාවෙදි පුංචි ව්‍යාපාරයකුත් කරගෙන යනවා. ඒ ලඩ්ඩු සහ මුරුක්කු හදමින් ඒවා ඇයට ලැබෙන ඇණවුම්වලට ගෙදරටම ගොස් බාරදීමේ ව්‍යාපාරයක්. ඇය අතින් පිළියෙල කරන රසවත් ලඩ්ඩු හා මුරුක්කුවලට අමෙරිකාවේ හොඳ ඉල්ලුමක් තියෙනවා එහි ජීවත් වන ඉන්දියානුවන්ගෙන්. ඇමරිකාවේ ජීවත් වන ඇයගේ ලොකුම ඉලක්කය වෙන්නේ ඇගේ ව්‍යාපාරයෙන් හරිහම්බ කර ගැනීම සහ මැනවින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමයි. ඉන්දියානු ගැහැනියක් ලෙස නිතර සාරියෙන් සැරසී සිටින ඇය ඉංග්‍රීසි ඉගෙන ගැනීමට යන පන්තියේ සිටි විදේශික තරුණයෙක්ගේ ආකර්ෂණයට ද ලක්වෙනවා. එහෙත් ඇගේ ඉන්දියානු චින්තනය කෙතරම් සාම්ප්‍රදායික ලෙස ඇය ඇගේ සැමියා සහ දරුවන් කෙරේ බැඳ තබනවාද යත් ඇයට එම පවුලෙන් තොර ලෝකයක් නැහැ. එහෙත් ඉංග්‍රීසි භාෂාව මැනවින් නොදන්නාකම නිසා ඇගේ සිත් රිදෙන වාර එමටයි. ඒ වෙන කාගෙන්වත් නෙමේ ඇගේම පවුලේ අයගෙන්.
දවසක් පවුලේ සාදයක් පැවැත්වෙන දවසක ඒ සාදය වෙනුවෙන් කතා කරන්න ඇයට ඇරියුමක් ලැබෙනවා. ඒ මොහොතේදීත් ඇගේ දියණිය හා සැමියා ඇය දෙස බලන්නෙ සමච්චලයෙන්. එහෙත් අවසානයේදී ඔවුන් හඬවමින් ඇය හැඟීම්බර ලෙස හින්දීයෙන් සහ ඉංග්‍රීසියෙන් ලස්සන කතාවක් කරනවා. තමන්ගේ අම්මා කියන්නේ කොයි තරම් ආත්ම ශක්තියකින් හෙබි ගැහැනියක් ද කියන එක ඇගේ දියණිය මුල්වරට තේරුම් ගන්නෙ ඒ දවසේදී. තමන්ගේ බිරිඳ කියන්නේ තමන්ගේ පවුලට කොයි තරම් ආදරය කරන ඉවසිලිවන්ත ඒ වගේම ධෛර්යමත් ගැහැනියක්ද කියන එක ඇගේ සැමියා තේරුම් ගන්නෙ එදා.
ඇත්තටම ජීවිතය කියන්නේ අපි ඉල්ලන, ප්‍රාර්ථනා කරන සහ බලාපොරොත්තු වෙන සියල්ලෙන් පිරුණු තැනක් නෙමෙයි. ජීවිතේ කියන්නේ වෙලාවකට හිස් කඩදාසියක්. ජීවත්වීම කියන්නේ ඒ හිස් කඩදාසිය අකුරු, වචන, වාක්‍ය වලින් පුරවන්න ගන්න වෑයමක්. පරිච්ඡේද කීයක් ඒ හිස් කඩදාසිය පුරා ලියන්න පුළුවන් වෙයිද කියලා දන්නේ අපේ ඉරණම විතරයි. පරිච්ඡේදයක් අවසානයේ නැත්නම් පටන් ගැනීමකදී නැත්නම් අතරමඟකදී අපිට ඒ ලියවිල්ල නවත්තන්න වෙනවා. කඩදාසි කඩදාසිය හිස්තැන පුරවමින් යන ගමනක් තමයි එක් අතකින් සංසාරය කියන්නේ.
එහෙත් ජීවත්වීම ඇතුළේ අපි දකින හීනවලට අපි කැමති පාටවලින් අපි කැමති මෝස්තරවලින් පියාපත් දෙන්න අපිට පුළුවන් වෙන හැම තැනකදීම ජීවත්වීම කියන්නේ හරි ලස්සන අත්දැකීමක්. ඒත් ඒ අත්දැකීම ඒ විදිහටම අත්විඳින්න මේ ලෝකේ කාටවත් ඉඩහසරක් ලැබෙන්නෙ නෑ කියලයි මම විශ්වාස කරන්නේ. ඒ තමයි ජීවිතේ ස්වභාවය. එහෙත් අවශ්‍යතාවය ප්‍රබල නම්, උත්සාහය අප්‍රමාණ නම්, ජීවිතේ දිනාගන්න බැරි හීන කාටවත්ම නෑ. English Vinglish අන්තිමේදී අපිට ජීවිතය ගැන උගන්වන රහස එයයි. ජීවිතය ඇතුළේ ජීවිතය හොයන මිනිස්සුන්ට English Vinglish උගන්වන ජීවන පාඩම හරිම සුන්දරයි. ඇත්තටම ජීවිතයේ සතුට තියෙන්නේ යන මඟ අතරමඟ මිසක් ජීවිතයේ කෙළවර නෙවෙයි. ලෝකෙ කොහේ කොතැනක ජීවත් වෙන්න ගියත් හීනය අත්නොහැර හීන හොයාගෙන යන්න පුළුවන් නම් අපි හොයන ජීවිතේ අපිට කවදා හරි හමුවෙනවා. ඒ ජීවිතය හමු වූ දාට ඔබ ජීවිතතේට ආදරය කරන්න පටන් ගනියි. අන්න ඒ දවස එනකම් ජීවිතය අත් නොහැර ජීවිතය හොයාගෙන හොයාගෙන යන්න.