මේ දවස්වල හරියට වැස්ස. නිවාඩු දවසකවත් පොඩ්ඩක් එළියට බහින්න විදිහක් නෑ. වැස්සේ හැඩ බල බලා මම ඉස්තොප්පුවේ ඉන්න අතරේ මුහුණුපොතේ පහළට ඇදුණා. අර පින්තූරය මම ආයෙම දැක්කා. මේ විභාග ශාලාවක කුඩ ඉහළගෙන දරුවෝ විභාගය ලියන පින්තූරය. හිත මතක මඟ දිගේ අතීතයට ඇදිලා ගියා. ජංගමයගේ අකුරු ඇමිණෙන්න පටන් ගත්තා.
සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ හරිම තීරණාත්මක කඩඉමක්. ඒත් පාඩම් කරලා විභාග ලියන පුරුද්දක් මට කවදාවත් තිබුණේ නෑ. හිතාමතා පාඩම් කරනවා වගේ මම හිටියා ඔය කාලේ. මොකද ගොඩක් දෙනෙක්ගේ අවධානය මගේ පැත්තට යොමුවෙලා තිබුණේ. ආ.. ඒක නෙවෙයි කතාව. හිත අතීතයට වැදුණම ඔක්කොම මතක අවුස්සනවා. අග මුල හොයාගන්න ලේසි නෑ.
අර (සේයාරුවේ) ඉන්න දරුවෝ කුඩ ඉහළගෙන විභාගය ලිව්වා. හැමෝම ඒ ගැන කතා කළා. සමහරවිට ඒ ප්‍රශ්න විසඳෙයි. සමහරවිට විසඳෙන එකක් නෑ. හැබැයි මේ වගේ වැස්ස සහ විභාගය කියන ලස්සන මතකය එයාලටත් ඒ දවස්වලට මෙහෙම ගලපන්න පුළුවන් වෙයි. ඒක නම් විශ්වාසෙන් කියන්න පුළුවන්.
අපිට එදා සා/පෙළ විභාගෙ විෂයන් දෙකක් තිබුණා. කොහොම හරි උදේ වරුවේ බුද්ධාගම.. හවස ඉංග්‍රීසි. එදත් අහස බරවෙලා තිබුණේ මෙන්න මේ වගේ. වැහි අන්ධකාරේ හැමතැනම තිබුණා. කොහොම හරි උදේම අපි විභාග ශාලාවේ වාඩිවෙලා හිටියේ.
විභාග ශාලාව තිබුණේ අපේ ඉස්කෝලේ වාණිජ අංශයේ. ඒ කියන්නේ පන්ති තුනක් දාන්න පුළුවන් දිග ශාලාවක්. එක පැත්තක කොට බැම්ම. අනික් පැත්තේ බිත්තිය. කොට බැම්ම තියෙන පැත්තෙන් තමා ශාලාවට ඇතුළු වෙන්න තිබුණේ. මට හොඳට මතකයි ශාලාවේ දික් අතට වෙන්න තමා (ඩෙස්) දුරින් දුරින් හදලා තිබුණේ. මම හිටියෙත් කොට බිත්තිය පැත්තේ දෙවැනි පේළියෙ වගේ.
ඔන්න බුද්ධාගම ප්‍රශ්න පත්‍රය බෙදන්න පටන් ගත්තා. කොටු කපන්න තමා මුළුමනින්ම තියෙන්නේ. ඒ කියන්නේ බහුවරණ. හැබැයි ටික වෙලාවයි ගත වුණේ. මෙන්න මහ වැස්සක් කඩා වැටුණා. කොට බිත්තිය පැත්ත හිටපු අපි තමා හිරිකඩ ප්‍රහාරයට ලක්වුණේ. සුළං හමන අත නිසා වැස්ස කෙළින්ම අපේ ඩෙස් පුටු තෙත් කරන්න වුණා. ඒ එක්කම විභාග ශාලාවෙ ඩෙස් පුටු අතර තිබුණු දුර අඩු කරලා.
ශාලාව හකුලවන්න විභාග කාර්ය මණ්ඩලය කටයුතු කළා. තව ගොඩක් දේවල් එයාලා ක්ෂණිකව කරන්න ඇති. ඇත්තටම අපිට මතක නෑ. ඒක පුදුමාකාර වෙලාවක්. සම්පූර්ණ ගෞරවය ඒ ගුරුවරුන්ට හිමිවෙන්න ඕන.
මගේ ප්‍රශ්න පත්‍රය පරිස්සම් නෑ ඩෙස් එක හොඳට තෙමිලා. මම වගේ කිහිප දෙනෙක් විශාල අර්බුදයක හිටියේ. අනික් අයට මොකක්ද වුණේ කියලා නම් මතක නෑ. ටිකක් වෙලාවක් කරකියා ගන්න දෙයක් නැතුව හිටපු මාව ශාලාධිපතිනියම ඉස්සහරට අරගෙන ගිහිල්ලා එයාගේ මේසේ එක කෙළවරක වාඩි කෙරෙව්වා. දැන් ඔන්න දැන් මම බුද්ධාගම ප්‍රශ්න පත්‍රය ලියන්නේ ශාලාධිපති මේසේ. මේ කතාව කියද්දී මූණවත් හරියටම මතක නැති ඒ ශාලාධිපතිනිය විදිහට කටයුතු කරපු ගුරුතුමිය ගැන ලොකු ආදරයක් ගෞරවයක් හිතේ ඇතිවෙනවා.
ඔන්න කොහොම හරි ටික වෙලාවයි ගත වුණේ. (බී) පන්තියේ ළමයෙක්වත් ශාලාධිපතිනිය මේ මේසෙට අරගෙන ආවා. මේක ගුරු මේසයක්. දැන් අපි දෙන්නා මේසෙ දෙකෙළවරේ මුහුණට මුහුණ බලාගෙන තමා විභාගය ලියන්නේ. ඇත්තටම පන්ති කාමරයකවත් නැති තදබදයක් විභාග ශාලාවේ තිබුණා. ඒ නිසා අපේ කට්ටිය පැක් වෙලා, හැබැයි සතුටු සාමීචියෙන් තමා විභාහය ලියන්නේ. කට්ටියගේ සහජ දක්ෂතා මේ අතර මතුවෙමින් තිබුණා.
බුද්ධාගම කියන්නේ ගොඩක් දෙනෙක්ට වගේ මටත් හරි ලෙහෙසි විෂයක්. හැමදාම අසූවක් අනූවක් ලකුණු තියෙනවා. ආ.. තව අතුරු කතාවක් තියෙනවා. බුද්ධාගම ලකුණු කිව්වම මතක් වුණේ. සා/පෙළට කලින් තිබුණු අවසාන වාර පරීක්ෂණයේදී බුද්ධාගම ලකුණුවලට හරිම වැඩක් වුණා. අපිට දහය වසරේ ඉඳන් බුද්ධාගම ඉගැන්නුවේ එකම ගුරුවරියක්. හැබැයි ඒ ගුරුවරිය පසු කාලෙක මානසික රෝගයකට පවා ගොදුරු වුණා. ඒක ටිකක් දුක හිතෙන කතාවක්. පස්සේ දවසක කියන්නම්.
කොහොම හරි මේ කාලෙත් මේ ගුරුවරිය ටිකක් වෙනම විදිහක චරිතයක්. මට දහය වසරේ ඉඳන් බුද්ධාගම ලියන පොතක් පිළිවෙලකට තිබුණේ නෑ. මේක මේ ගුරුතුමිය දන්නවා. හැබැයි එහෙමයි කියලා දහම් පාසල පිහිටෙන් බුද්ධාගම සම්බන්ධ මගේ දැනුමේ අඩුපාඩුවක් නම් තිබුණේ නෑ. කොහොම හරි ඔය වාර විභාගේ ලකුණු දෙන දවසේ තමා මේ වැඩේ වුණේ. මතක විදිහට ලකුණු අනූ ගාණක් මට තිබුණා.
මේ ගුරුවරිය ළමයින්ව ළඟට ගෙන්නලා තමා ප්‍රශ්න පත්‍රය දෙන්නේ. මගේ මූණ දැක්කා විතරයි බුද්ධාගම ලියන පොත ගේන්න කියලා කිව්වා එකපාරට. දෙලොව රත් වුණා. ආයේ නිවුණා. සුපුරුදු පිළිතුර "පොත ගේන්න අමතක වෙලා මිස්" ඔන්න ඉතිත් මිස්ට තද වුණා. දහයේ වසර ඉඳන් බුද්ධාගම පොත් තිබුණේ නෑ කියලා මතක් කරලා.. තවත් අනං මනං ජාති ගොඩක් කියලා අපේ ප්‍රශ්න පත්‍ර ආයෙම බැලුවා. ලකුණු හතළිස් ගාණක් කපලා දැම්මා කිසිම හිතක් පපුවක් නැතුව. ඉතිහාසය පළවෙනි වතාවට බුද්ධාගමට ලජ්ජා සහගත ලකුණු හතළිස් දෙකක් මට උරුම වුණා එදා. කාලෙකට පස්සේ පන්තියේ මුල් පස්දෙනා අතරට රිංගන්න තිබුණු අවස්ථාවකුත් ඒ එක්කම නැති වුණා.
ආ.. අපි ආයේ අනික් කතාවට යමු. ඔන්න අපි දෙන්නා විභාගේ ලියනවා එකම මේසෙක ඉඳගෙන. එහා පැත්තේ ඉන්නේ පිළිවෙලකට වැඩ කරන දක්ෂ චරිතයක්. ඒත් බුද්ධාගම නිසා මම වෙලාසනම උත්තර ලියලා ඉවර වුණා. මෙන්න ශාලාධිපති ඇතුළු කට්ටිය එහාට මෙහාට වෙනකල් ඉඳලා මිත්‍රයා කියනවා බුද්ධාගම තමාලු එයාට අමාරුම හොඳම දක්ෂයෙක්ට බුද්ධාගම බෑ...
කොහොම හරි බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට පස්සේ වැස්ස පෑව්වා. වැස්ස වහින්නම ඕනෑ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට වැස්සේ නෑ. අපි හැමෝම ඒ ගැන දුක් වුණා. දවසක විභාග ප්‍රතිඵල එනකොට මට බුද්ධාගමට (ඒ) සාමාර්ථයක් තිබුණා. ඒ වගේම අර මිත්‍රයාටත් (ඒ) සාමාර්ථයක් තිබුණා. ඇත්තටම ඒ කාලේ හරි වැරුද්ද අපිට තේරුණේ හරිම අඩුවෙන්.
අද නම් ඒ දේවල් අනුමත කරන්න අපි කාටවත් බෑ. ඒ කොහොම වුණත් වැස්ස එක්ක බුද්ධාගම ප්‍රශ්න පත්‍රය ලියපු හැටි අදත් පුදුමාකාර ලස්සන මතකයක්.
හැබැයි එදා සේයාරුවක් ගන්න කවුරුත් හිටියේ නෑ. කවුරුහරි සේයාරුවක් ගැහුවා නම් එයාලා ලොකෙට කියන්නේ මේ වගේ කතාවකුත් නෙවෙයි. මතක තියාගන්න ඔයාලා දුක කියලා දකින හැමතැනකම සතුට සිනහව හැංගිලා තියෙන්න පුළුවන්. සතුට කියලා දකින හැමතැනකම දුක වේදනාව තියෙනවා. ජීවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක්. සමහරක් සතුටු වුණු දේවල් ගැන ජීවිතයේ තවත් දවසක මතකයන් අතර අපි දුක් වෙනවා. සමහරක් දුක හිතුණු තැන් ගැන මතකයන් අතර අපි සතුටු වෙනවා.
I නිසල්