2022 ජුනි 12 වන ඉරිදා

මම නැති වෙලාවට එයා මගේ යට ඇඳුම් අඳිනවා

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 1334

සැමියා දුරකතනයට වහ වැටිලා

මම එක්දරු මවක් වෙමි. මාගේ සැමියා ඉතාමත් තදින් ජංගම දුරකතනයට ඇබ්බැහි වී සිටින අතර මේ නිසා අපේ පවුලේ සමගියට බාධා සිදුව තිබෙනවා. කොතරම් කිව්වත් ඔහුගේ මේ පුරුද්ද අත්හැර ගන්නේ නැහැ. සැමියා රාත්‍රී කාලයේ වෘත්තීය කටයුතුවල නිරතවෙන අයෙක්. එහෙත් සාමාන්‍ය අයකුට වඩා නිදාගන්න කාලය වැඩියි. දරුවා සහ මම සමඟ කාලය ගත කරන ප්‍රමාණය අඩුයි. ගෙදර කිසිම වැඩකට උදව් කරන්නේවත් දරුවාත් එක්ක ඉන්නෙත් නැහැ. දරුවාගේ වයස අවුරුද්දයි. දරුවා අඬන වෙලාවටවත් සැමියාට දරුවා නළවාගන්න බැහැ. ඇතැම් වෙලාවට ඔහු දරුවාටත් ජංගම දුරකතනය පෙන්වා නළවාගන්න උත්සාහ කරනවා. සැමියා ගෙදර ඉන්න වෙලාවටත් ගෙදර හැම වැඩක්ම මට කරන්න සිදුවෙලා. ඔහුගේ ජංගම දුරකතන ඇබ්බැහිවීම වළක්වා ගන්නේ කෙසේද? කොතරම් පැහැදිලි කර දුන්නත් ඔහු තේරුම් ගන්නේ නැහැ. 

ලක්ෂාණි - රාජගිරිය

පිළිතුර:

ඔබ යොමුකර ඇති ප්‍රශ්නය අනුව පළමුවෙන්ම කිවයුතු කාරණයක් වන්නේ ඔබ දෙදෙනා අතර ඇති සම්බන්ධතාව ධනාත්මක කරගැනීම අත්‍යවශ්‍යයි. දෙදෙනා අතර ආදරය වර්ධනය කරගන්න ඕනෑ. දුරකතනය ගැනම නිතරම කියද්දී සැමියා ඇහුම්කන් නොදෙන්නත් පුළුවන්. ඒ නිසා දුරකතනය ගැන නොකියා දරුවාගේ කාර්යභාරය පිළිබඳ වගකීම් සැමියා සමඟ සුහදව සාකච්ඡා කරන්න. නිවසේ ඔබ දෙදෙනායි දරුවායි පමණක් සිටින්නේ නම් නිවෙසේ වැඩකටයුතු බෙදාහදාගෙන කිරීමටත් සිදුවෙයි. ඒ පිළිබඳ චෝදනාත්මක ස්වරූපයෙන් තොරව ආදරයෙන් පහදා දී ඒ වැඩවලට සැමියා සම්බන්ධ කරගැනීම පළමුව කළ යුතුයි. ඒ හරහා සැමියාට ජංගම දුරකතනය සමඟ ගත කිරීමට ඉතිරිවන කාලය අවම කළ හැකිය. ඒ ක්‍රමයෙන් මෙයට විසඳුමක් ලබාගැනීමට නොහැකි නම් පමණක් සමීපතම ඥාතියකු වැනි තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන මෙය සැමියාට පහදාදීමට කටයුතු කරන්න. 

එහෙත් මෙයට විසඳුමක් නැතිනම් සැමියා දිගින් දිගටම මෙය සිදුකරනවා නම් දුරකතන ඇබ්බැහියක් තිබෙනවාදැයි සොයාබලා ඒ  පිළිබඳ උපදේශනය ලබාගැනීමට යොමුවීම සුදුසුය. සැමියාගේ රැකියාව සිදුකිරීමේදී  ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳ මෙහි කිසිදු සඳහනක් නොමැති නිසා සැමියා රැකියාව කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යනවා යැයි උපකල්පනය කිරීමට සිදුවේ. එහෙයින් මෙය දුරකතන ඇබ්බැහියක් යැයි නිශ්චිතව පැවසීමට නොහැකිය. විවාහ වී කෙටි කලක් නිසාත් දෙදෙනාටම අනෙකාට අනුව හැඩගැසීමට ඇති කාලය අවම වීමෙන් මෙවැනි ප්‍රශ්න මතුවෙයි.

 එම හැඩගැසීමේ ප්‍රමාදය දුරකතනයට ලඝු වී ඇති බවක් පෙනේ. ඇතැම් වේලාවට දරුවා ලැබීමෙන් පසුව සැමියා බිරියගේ අවධානයෙන් ගිලිහී ගියහොත් එහිදී ඒ සැමියාගේ මානසික ආතතිය දුරුකරලීමේ අරමුණින් දුරකතනය  භාවිත කරනවා වීමටත් පුළුවන. ඒ පිළිබඳවත් බිරිඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

කේන්දරේ නිසා ඔළුව අවුල් වෙලා

මට අවුරුදු 23යි. මම සරසවියක දෙවැනි වසරේ ශිෂ්‍යාවක්. මගේ පෙම්වතා සමඟ යාළුවෙලා අවුරුදු දෙකයි. ඒත් අපි අතර දුරගිය සම්බන්ධයක් තිබෙනවා. එයා අඩු ආදායම්ලාභී කෙනෙක්. රණ්ඩු වෙවී, යාළු වෙවී හරි අපි හොඳින් ඉන්නවා. ගොඩාක් කේන්දරවලින් කිව්වා එයාව බැන්දොත් ඔහු වෙන කාන්තාවන් පසුපස යනවා කියලා. ඉතින් අපේ අම්මා මේ සම්බන්ධයට ඒ නිසා කැමති නෑ. එතරම් සල්ලි බාගේ නොමැතිවීමත් බලපානවා. එයාලාගේ තත්ත්වෙයි අපේ තත්ත්වෙයි බලද්දී නෑයො හිනාවෙයි කියනවා. කේන්දරයෙන් කියලා තියෙනවා 25ට කලින් බඳින්න කියලා. 25ට කලින් හොඳ කෙනෙක් හොයාගන්න බැරිවුණොත් තනියම ඉන්න වෙයි කියනවා. අපි ගොඩාක් ළඟින් හිටිය නිසා වෙන පිරිමි කෙනෙක් බඳින්න කැමති වෙන්නේ නැතිවෙයි. අම්මාටත් මටත් මේක ලොකු මානසික වදයක්. මොනවා කරන්නද හිතාගන්න බෑ. වෛද්‍යතුමනි, උපදෙසක් දෙන්න.

අරවින්දි - අනුරාධපුර

පිළිතුර:

ඔබ සරසවි සිසුවියක්. ඔබේ පෙම්වතාත් සරසවි සිසුවෙක්ද එසේ නොමැතිනම් වෙනත් වෘත්තියක නිරත වන්නෙක්දැයි ඔබ මෙම ප්‍රශ්නයේ සඳහන් කර නැත. කේන්දර පිළිබඳ අපේ සමාජයේ වඩාත් විශ්වාස කිරීම පිළිබඳ යම් යම් ප්‍රශ්න මතුවෙනවා. ඒ මත වෙනස් කිරීමට මම උත්සාහ නොකරමි. ඔබ මෙහි පෙම්වතා සමඟ තිබූ සම්බන්ධතාව පිළිබඳ  පවසා ඇති කරුණු අනුව පැහැදිලි වන්නේ ඔබ දෙදෙනාට විවාහ වීමේ අවශ්‍යතාව ඇති බවයි. එහෙයින් මෙහිදී මේ කේන්දර ගැටලුව සම්බන්ධයෙන් වෙනත් සුදුසු ජ්‍යෙතිශවේදියකුගෙන් උපදෙස් ලබාගැනීමෙන් ඔබ පසුවන ගැටලුවට වෙනස් ආකාරයේ පිළිතුරක් හෝ යම් ගැටලුවක් ඇත්නම් එම ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය වත්පිළිවෙත් පිළිබඳ දැනුවත් වීමක් සිදුකරගත හැකිය. සමීප ඇසුරක් පවත්වා ඇති නිසා වෙනත් පිරිමි අකැමැති වේවි යැයි ඔබ මෙහි සඳහන් කර තිබෙනවා. සෑම ප්‍රශ්නයකටම  නූතන ලෝකයේ සාර්ථක උත්තර තිබේ. එහෙයින් ඔබ පෙම්වතා සමඟත් ඔබේ මවුපියන් සමගත් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීම සුදුසුයි. 25ට කලින් නොබැන්දොත් තනියම සිටින්නට සිදුවෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් දීමට මා හට නොහැකිය. කේන්දර සම්බන්ධ මතවාද සහ ප්‍රකාශ එකිනෙකා අනුව සහ විවිධ ජ්‍යොතිෂවේදීන් අනුව වෙනස් වන බව පමණක් කිව හැකිය.

පව් කියලා හිතුණට ඉඩ දෙන්න බෑ...

මම විවාහක කාන්තාවක් වෙමි. මා හට ඇති ප්‍රශ්නය නම් ගැහැනු අපි රාත්‍රියට අඳින ඇඳුම් ඇඳීමට මාගේ මහත්තයා දැඩි කැමැත්තක් දක්වයි. මා අඳින ගවුම්වලටත් මගේ යටඇඳුම් ඇඳීමටත් බොහෝ ප්‍රිය කරයි. එහෙත් මම එයට ඉඩ නොදෙමි. සමහර දවසට පව් කියා සිතුණු විට ඉඩ දී ඇත. මා ගෙදර නොමැති විට ඒවා ඔහු ඇඳ සිටින බව මට දැනී තිබේ. අඳින්න දුන්නාම මගේ අනෙක් ඇඳුම් සේරමත් අඳින්න ඕනෑවෙයි. ගැහැනු ඇඳුම් ඇන්දාම මාවත් එපා වී සිටී. තනිවම ආශාවන් ඉටු කරගනී. මා හට පිළිතුරක් අවශ්‍යයි. ඉක්මනින් දන්වන්නේ නම් අගයමි.

චමෝදි- වත්තල

පිළිතුර:

ඔබ මෙහි කියා ඇති සැමියාගේ හැසිරීම අනුව අවබෝධ වන්නේ සැමියා විරුද්ධ ලිංගික ඇඳුම් ඇඳීමෙන් ආශාවන් සංසිඳවා ගැනීමක් පිළිබඳවයි. පළමුව කිවයුතු වන්නේ මෙවැනි හැසිරීම් සහිත පුද්ගලයන් සමාජයේ තවත් සිටින බවයි. මෙය නිවෙසේදී පමණක් සිදුවෙනවා නම් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වන ආකාරයේ සිදුවීම් සිදුනොවන බවට මට උපකල්පනය කිරීමට සිදුවෙයි. ඔබ ඒ පිළිබඳ මෙහි සඳහනක් කර නැත. කාන්තා ඇඳුම් නිවෙසේ හැඳ සිටීම ප්‍රශ්නයක් නොවුවත් එය ඇඳීමෙන් බිරිය එපාවීම පිළිබඳ යම් සාකච්ඡාවක් සැමියා සමඟ සුහදව කළ යුතුයි. එහිදී සැමියාට ආදරයෙන් කතාකර මේ පිළිබඳ ඔහුට පහදාදීමට හැකි නම් වටී. සැමියා තනිවම ආශාවන් ඉටුකර ගැනීම පිරිමි සමාජයේ  අස්වාභාවික සංසිද්ධියක් නොවේ. සැමියාට ඔබව එපාවීම පිළිබඳ ඔබ යම් කලකිරීමකින් පසුවන බව පැහැදිලි වෙයි. මෙහිදී කළ හැකි සුදුසුම දේ ඒ ගැන සැමියා සමඟ සුහදව සාකච්ඡා කරන්න. ඔබ සැමියා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම ප්‍රශංසනීයයි. මේ පිළිබඳ යම් සුහද සාකච්ඡාවක් මගින් නිරාකරණය කරගැනීමට හැකි නම් මෙය ඉක්මනින්ම විසඳාගත හැකිවෙයි.

(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)  
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන