2022 ජුනි 12 වන ඉරිදා

හිස්තැන් වැඩිවෙද්දී ආදරය තේරෙනවා...

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 60

නිර්වචනය කරන්න බැරි බැඳීම් අතර මම විශ්වාස කරනවා මිත්‍රත්වය කියන්නෙත් නිර්වචනය කරන්න බැරි තරම් සුන්දර බැඳීමක් කියලා. මිත්‍රත්වයට හෙට දවසක් තියෙනවද කියලා තීරණය කරන්න විශ්වාසය කියන සාධකය හුඟක් වැදගත්. ඒත් නොහිතන තැන්වලදී  නොහිතන විදියට ඒ විශ්වාසය බිඳ වැටෙද්දී හිතට දැනෙන්නෙ රිදුමක් විතරක් නෙවෙයි.. වේදනාව මිශ්‍ර වෙච්ච කලකිරීමක් වගේ හැඟීමක්. හුඟක් ආදරෙන් බැඳීමෙන් ඉන්නවා කියලා පෙන්නන සමහර යාළුවන්ගෙන් ඇත්ත රූපය  එළියට එද්දි හිතට දැනෙන්නේ ඊටත් වඩා වේදනාත්මක කලකිරීමක්. ප්‍රතිරූපය ඇත්ත රූපයට වඩා සුන්දර වුණත් ඒ ප්‍රතිරූපය බිඳගෙන ඇත්ත රූපය එළියට එද්දි විකෘතියට වඩා ප්‍රකෘතිය කොයි තරම් නම් සැනසිලිදායකද කියලා  ඔයාට තේරෙයි. ඇත්තටම ආදරේ කිරීම සහ ආදරේ කරන ලෙසින් රඟපෑම සමහර මිනිස්සු ජීවිතයේ කරන ලොකු වැරැද්දක්. ඒත් ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක්  ලෝකෙ කොතනද කවදද තිබුණේ. අර්හත්  හිතක මිසක් එවැනි සුවදායී හැඟීමක් ඇත්තටම මනුෂ්‍ය හිතක පවතින්න විදිහක් නැහැ. එහෙත් ආදරේ කියන්නේ ආදරයම විතරයි කියලා හරිම ලස්සනට තේරුම් ගත්ත මිනිස්සු ලෝකයේ ඉන්නවා. අන්න එහෙම මනුස්සයෙක් ගැන තමයි 47 days හින්දි චිත්‍රපටයෙන් කතා කරන්නේ.

පොලිස් නිලධාරියෙක් ලෙස රාජකාරි කළ ඔහුගේ වැඩ  මාස 6කට තහනමට ලක්වෙන්නේ අසාධාරණ හේතුවක් මත. එහෙම වෙද්දි ඔහු සිටින්නේ කොහොමත් දරාගන්න බැරි ගරාවැටිච්ච මානසිකත්වයක. ඒකට හේතුව තමයි ඔහුගේ ජීවිතයේ ආදරණීයම සෙවණැල්ලක් ඔහුගෙන් දුරස්වීම. ඒ තමයි පාසල් වියේ සිට ඔහු ආදරය කළ ඔහුගේ පෙම්වතිය. ඒ පෙම්වතිය මිය යද්දී ඔහුගේ බිරියයි. ඇය ඔහුගේ ඇස් ඉදිරිපිටදීම ඔවුන් ජීවත් වූ තට්ටු නිවාසයේ උඩුමහලින් පැන සියදිවි නසාගන්නවා. හැමදාමත් ඔහු හා ආදරයෙන් ජීවිතය බෙදාහදා ගත් ඇය එසේ සියදිවි නසාගන්න මානසිකත්වයකට පත්වුණේ ඇයි කියන එක ඔහුට  හිතාගන්න බැරි හේතුවක් වුණා. ඇයත් ඔහුත් අම්මා තාත්තා නැති අසරණ දියණියක් ඒ වෙද්දී තමන්ගේ දරුවෙක් ලෙස හදාගන්න ළඟට අරන්. තරම් මනුෂ්‍යත්වයක් තිබූ කාන්තාවක් ඇයි ඒ දියණියටත් ඔහුටත් දැක්වූ ආදරය අස ජීවිතය හැර යන්න හිතුවේ. ඇය දත් ඔහු නොදත් හේතුව මොකක්ද එහෙම වෙන්න කියන එක ඔහුගේ හිතට ගොඩාක් වද  දෙමින් තිබියදී තමා නිවැරදි ලෙස කොන්ද කෙළින් තියාගෙන රාජකාරි කළ හේතුවම ඔහුගේ වැඩ තහනමකට හේතුවක් වෙන්නෙ. මෙහෙම කාලය ගෙවෙද්දි සමාගමක තරුණ විධායක නිලධාරියෙකු මුහුදු වෙරළක දී මරණයට පත් වී සිටිනවා. ඒ සියදිවි නසාගැනීමක් ලෙස මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කළත් වැඩ තහනමට ලක්වී සිටින මෙම පොලිස් නිලධාරියා තීරණය කරනවා මේ සියදිවි නසාගැනීමක් නෙවෙයි කියලා. එනිසාම ඔහු මේ සිද්ධිය පසුපස හඹා යද්දී ඔහුට අවබෝධ වෙනවා ඔහුගේ ආදරණීය බිරිඳගේ මරණයත් මේ මරණයත් අතර යම් සමානකමක් තියෙනවා කියලා. ඒ නිසාම ඔහු සමාගම් නිලධාරියාගේ මරණය පසුපස හඹා යනවා. එහෙම හඹා යද්දී ඔහුගේ පෙම්වතිය ඔහුට මුණගැසෙනවා. ඇය ඔහු සමඟ පාසලේ එකට ඉගෙන ගත්ත යුවතියක්. ඒ වගේම ඇය ඔහුට රහසින් ආදරය කර තිබෙනවා. ඇත්තටම ඒ සමාගම් නිලධාරියාට ආදරේ කර තිබෙන්නේ ඒ තමා පාසලේ දී රහසින් ආදරය කළ තරුණයාය යන රුවටීම නිසා. ඒ ඔවුන් දෙදෙනාගේම නමින් තිබුණු සමානකමට රුවටීමෙන්. ඇය පසුව දැනගන්නවා ඔහු  සේවය කළ සමාගම ඔහුගේ පවුලේම උරුමයක් බවත් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටි බවත්.. මේ සියල්ල පසුපස හඹායන පොලිස් නිලධාරියා අවසානයේ මේ සියල්ල  පිටුපස සිටි පුද්ගලයා හඳුනා ගන්නවා. ඒ ඔහු දැඩිව විශ්වාස කළ ඔහුගේම සහෝදර පොලිස් නිලධාරියෙක්. එතැන් සිට ඇරඹෙන ගැටුම් ඔස්සේ තමයි මේ චිත්‍රපටය දිව යන්නේ.

විශ්වාසය බිඳෙන තැන ඇතිවන වේදනාව කොයි තරම් දැඩිද වේදනාත්මකද කියන එක මේ චිත්‍රපටය ඔස්සේ මැනවින් නිරූපණය කර තිබෙනවා. ඒත් ආදරේට නොව  භෞතික  දේවල්වලට ප්‍රාණ සමානව ආදරය කරන හුඟක් මිනිස්සුන්ට බැඳීම්වල වටිනාකම තේරෙන්නෙ හුඟක් අඩුවෙන්. හැබැයි ජීවිතයේ හිස්තැන් දැනෙන්නට වෙච්ච දාක ආධ්‍යාත්මික සැනසුම උදෙසා ඇවැසි කිසිවක් මිලදී ගත නොහැකි බව මිනිසුන්ට වැටහෙනවා. ඒත් ඒ වෙද්දී මනසේ ඉතුරු වෙන්නේ පසුතැවීම කියන හැඟීම විතරයි.