2022 ජුනි 26 වන ඉරිදා

නම ඇහුවම ගම කියනවා ගම ඇහුවම වයස කියනවා

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 639

කරගැට කඩන්නේ නැතුව ඉන්න බෑ 

මා 28 හැවිරිදි තරුණියක්. කුඩා කල පටන් මම අතෙහි ඇඟිලි කඩන්න පුරුදු වී සිටිනවා. ඒ ශබ්දය අහන්න හරි ආසයි. පොඩි කාලයේ මේ ගැන වැඩිය තේරුමක් නොතිබුණත් දැන් වසර 8ක පමණ සිට මම මෙම පුරුද්ද නවතා ගන්න උත්සාහ කරනවා. ඒත් තවමත් එය නවතාගන්න හැකිවී නැහැ. දැන් මම රැකියාවක් කරන නිසා මේ පුරුද්දෙන් ගොඩක් අපහසුතාවට පත්වෙනවා. මගේ මේ නරක පුරුද්ද අත්හැරගන්න මට උපදෙසක් අවශ්‍යයි. 

තාරකා - අවිස්සාවේල්ල ‍ 

පිළිතුර:

අපේ සමාජයේ මිනිසුන් ළඟ යම් යම් පුරුදු  තිබෙනවා. ඒවා චර්යාත්මක පුරුදු, ශාරීරික පුරුදු සහ මානසික පුරුදු ලෙස වර්ග කළ හැකියි. නියපොතු සැපීම, ඇඟිලි ඉරීම වැනි පුරුදු චර්යාත්මක අසාමාන්‍යතා. මේවා වැඩිවාර ගණනක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තමන්ට පාලනය කරගත නොහැකි තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක වීමටද පුළුවන. පුරුද්දක් සහ ඇබ්බැහියක් අතර වෙනසක් තිබෙනවා. පුරුද්ද පාලනය කර ගැනීමට පහසු වුණාට ඇබ්බැහිය පාලනයට අපහසුය. යමක් දිගින් දිගටම සිදුකර එය නොකිරීමෙන් සිදුවන මානසික අපහසුතාව වළක්වාගන්න ඒ දේ දිගටම කර එයින් සතුටක් ලබයි. ඇඟිලි කැඩීමත් එවැනි දෙයකි. ඕනෑම උත්සවයකට, වැදගත් වැඩකට ගියාම රුකියා ස්ථානයේදීත් එම පුරුද්ද පාලනය කරගැනීමට නොහැකිව අපහසුතාවට ලක්වෙනවා. වැඩිහරියක් අපි මෙවැනි දේ දකිනුයේ ළමයින්ගෙනුයි. ශාරීරික පුරුද්දක ගැබ්වන්නේ නොකර සිටීමට වඩා කිරීමෙන් ලබන තෘප්තියයි. මේවා ශාරීරික ඇබ්බැහිකම් විදිහට අපි සලකමු. ඇතැමුන් තුළ කන අතගෑම, ගෙල කැරකවීම, ඔළුව කැසීම ආදී දෑ සිදුකළත් එවැනි දෑ අශෝබනයි කියා දැනෙන්නේ අන්‍යයන්ටයි. මනසට ලබාදෙන අවිචාරශීලී සිතිවිලිවලින් මෙවැනි දෑ ස්ථාපිත වෙයි. එවිට එය දිගින් දිගට සිදුවෙයි. මෙහි තිබෙන්නේ තමන්ගේ මනස තමන් විසින්ම රවටා ගැනීමක්. මේ දේ තේරුම් කරගැනීමට හැකි නම් එය වටී. මෙවැනි සිතිවිලි වෙනස් කරමින් හැසිරීම වෙනස් කරගැනීමට හැකි නම් ලෝකයේ තිබෙන හොඳම උපදේශන මූලධර්මය එයයි.

පිරිසක් මැදට යන්න බයයි

වසර ගණනාවක සිට මට තිබුණු ලොකුම ගැටලුවක් තමයි පිරිසක් අතරට යන්න බයයි. දැන් මගේ වයස අවුරුදු 20යි. තවම ඉගෙන ගන්නවා. ගොඩක් අය ඉන්න තැන්වලට යන්න පොඩි කාලෙ ඉඳලම මම බයයි. ඉස්කෝලෙදිත් මට හිටියේ යාළුවෝ දෙතුන් දෙනෙක් විතරයි. මම වැඩිය කතා කරන කෙනෙකුත් නෙවෙයි. ගොඩක් අය ඉන්න තැන්වලට ගියාම මට කතා කරගන්න පවා බැරිවෙනවා. මම කරන්නේ එහෙම තැන්වලට යන්නේ නැතුව ඉන්න එකයි. ඒත් හැමදාම එහෙම කරන්න බැහැ කියලා මම දන්නවා. මම මේ නිසා මානසිකව වැටිලා ඉන්නේ. කොච්චර උත්සාහ කළත් මිනිස්සුන්ට තියෙන බය නැතිකරගන්න මට අමාරුයි. මට උදව් කරන්න.

ශාලිත - මීගමුව 

පිළිතුර:

මනෝ විද්‍යාව අනුව අපි මෙය හඳුන්වනුයේ සමාජ භීතිකාව ලෙසයි. මෙය අදාළ වන්නේ කාංසාව කියන රෝගී තත්ත්වයටයි. හැමිල්ටන් මිනුම ආදී කාංසාව පිළිබඳ විවිධ පරීක්ෂණ ක්‍රම තිබෙනවා. සමාජයට ඇති අනවශ්‍ය බියත් එවැන්නකි. සමාජයට අනවශ්‍ය බියක් දක්වන්නා සමාජ සිදුවීම් සහ සමාජ ක්‍රියාකාරකම් මඟහැර තනිව  ජීවත්වීමට උත්සාහ දරයි. මේ හේතුවෙන් බොහෝ දෙනාට පාඩු සිදුවෙනවා. විභාගයකට මුහුණ දීමට ඇති නොහැකියාව, තනිව බස් රථයක ගමන් කිරීමට නොහැකිවීම, වෙළෙඳසලකට ගොස් භාණ්ඩයක් මිලදී ගැනීමට දක්වන බිය ආදී වූ දැක්විය හැකිය. මෙවැනි දේ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනවා. මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරත් තිබෙනවා. මේ අනුව බැලීමේදී අපි සමාජය මඟහරිනවා නම් ඒ පුද්ගලයා යම් ඌණතාවක් පවතියි. මෙවැනි කෙනකුට මා යෝජනා කරනුයේ එකවර සමාජයට නොගොස් මුලදී නිවෙසේ පිරිස සමඟ කතා කරන්න. දෙවැනි මට්ටම මිතුරන් සමඟ සාකච්ඡා පැවැත්වීම. මින් ඉදිරියට ක්‍රමානුකූලව වර්ධනය කරගත හැකිය. මෙවැනි දෑ වර්ධනය කරගැනීමට මනෝ උපදේශකයන් අවශ්‍ය නෑ. මනෝ චිකිත්සකයන් අවශ්‍ය නෑ. බුද්ධිමත්ව ප්‍රශ්නය තේරුම් ගැනීමෙන් මේ වැනි භීතීන්ගෙන් මිදීමට හැකිය. ඇතැම් සරසවි සිසුනුත් එවැනි ආකාරයට හැසිරෙන අවස්ථා ඕනෑතරම් තිබේ. නම ඇහුවාම ගම කියනවා. ගම ඇහුවාම වයස කියනවා. ඒ ඉහත කී භීතිය නිසාවෙනි. මෙවැනි ගැටලු මේ වගේ සමාජයක එන්න එන්නම උග්‍රවෙයි.

එයා හුඟක් වෙනස් වුණා 

අවුරුදු 8ක පමණ ආදර සම්බන්ධතාවක් මට තිබුණා. ඉස්කෝලෙදියි අපි යාළු වුණේ. අපි දෙන්නා අතර කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. මගේ හැම ප්‍රශ්නයකටම එයා මගේ ළඟින් හිටියා. එයාගේ හැම ප්‍රශ්නයකටම මාත් එයාගේ උදව්වට හිටියා. අපි දෙන්නාම හොඳට ඉගෙනගෙන එකම විශ්වවිද්‍යාලයට ගියා. දෙන්නටම හොඳ රුකියා ලැබුණා. ගෙවල්වල කැමැත්තෙන් අපි මේ වසරේ විවාහ වෙන්නයි බලාපොරොත්තුවෙන් හිටියේ. දිනත් වෙන්කරගෙන ඇඳුම් පවා සූදානම් කළා. ඒත් හදිසියේම එයා වෙනස් වුණා. මාත් එක්ක කතා නොකරම හිටියා. හේතුවක් මම දන්නෙ නැහැ. එයාට කතා කරන්න ගෙදර ගියත් මට කවදාවත් එයාව මුණගැහෙන්න බැරි වුණා. පසුගිය සතියේ එයා වෙන කෙනෙක් එක්ක විවාහවෙලා. මට මේක දරාගන්න අමාරුයි. එයා විවාහ වුණා කියලා දැනගත්තාට පස්සේ මම එයාට කතා කරන්න උත්සාහ කළේ නැහැ. මම කිසිම වැරුද්දක් එයාට කළේ නැහැ. එයාව බලෙන් කසාද බැන්දෙව්වද කියලා මම දන්නේ නැහැ. මට ජීවත්වෙන එක පවා එපාවෙලා දැන්. අම්මා තාත්තා නිසායි මා ඉවසන්නේ. ඒත් සමහර වෙලාවට මේ ඔක්කොම දේවල් අතෑරලා යන්න හිතෙනවා. එයා මට ඇයි එහෙම කළේ කියලා මට හිතාගන්න බැහැ. මගේ හිත හදාගන්න කොච්චර උත්සාහ කළත් ඒක මට කරන්න අමාරුයි. මම දැන් රස්සාවට යන්නෙත් නැහැ මේ ප්‍රශ්නය නිසා. මගේ හිත හදාගන්න උදව් කරන්න.

ධනංජය - කොළඹ 

පිළිතුර:

බොහෝ දුරට මේ සමාජයේ විවාහයට පෙර දැකිය හැකි විශ්වසනීයත්වය හීන වී ගිය අවස්ථා දක්නට ලැබෙයි. එවැනි තැනකදී කාන්තා පාර්ශ්වයයි මෙම චෝදනාව කරනුයේ. එහෙත් යථාර්ථය සොයාබැලීමේදී වෙනස් වීමක් සිදු වී නෑ. විවාහයකදී මහ ගොඩාක් වගකීම් ලැබෙනවා. ඒ වගකීම් ඉටු කිරීමට යාමේදී දෛනික කාලය මදි වෙනවා. ගෘහණිය බොහෝ අවසථාවල ස්වාමියා වැරුදි විදිහට වටහා ගන්නවා. එය අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක්. එවැනි අවස්ථාවකදී මා හට ආදරයක් නෑ, මා ගැන සොයා බලන්නේ නෑ, මා හට රුකවරණයක් නෑ ආදී වූ අවිචාර සිතිවිලි සමුදායක්ම ගොඩනැගෙනවා. අවිචාර සිතිවිලි ඕනෑම පුද්ගලයකු තුළ ක්‍රියාත්මක වීමට පුළුවන. ඔබ යොමුකර ඇති මෙම ප්‍රශ්නයේදීත් සිදුවී ඇත්තේ එයයි. මෙවැනි උපදේශනවලදී වෙනස් වී ඇතැයි පැවසුවද එහි කිසිදු වෙනස්කමක් දැකිය නොහැකියි. මෙයට වසර පහකට පෙර ගත කළ ජීවන රටාව මේ වනවිට ගත කිරීමට නොහැකියි. එය අපි අවබෝධ කරගත යුතුයි. අපි උපදේශනයෙන් සිදුකරනුයේ එම අවිචාරශීලී බව නැතිකිරීමයි. වත්මන් සමාජයේ මෙවැනි ප්‍රශ්න යථාර්ථවාදී විසඳා නොගැනීමට ගැටලුවක්. මෙවැනි ගැටලු විශාල ගැටුම් බවට පත් වී ඇතැම් අවස්ථාවල ගම්නියම්ගම් විනාශ වී යාමටද පවා හේතු විය හැකියි. බොහෝ ප්‍රශ්නවලට මනෝ විද්‍යාවේ පිළිතුරු තිබේ. එම පිළිතුරු යථාර්ථවාදීව අවබෝධ කර ගත යුතුයි. විශ්වසනීය සබඳතා ගොඩනගා ගැනීමෙන්  මිනිසා මනස පුරවාගත යුතුයි. යථාර්ථවත්ව ක්‍රියාත්මක වීමට ඉඩදෙනවා නම් මේ සමාජය මීට වඩා ලස්සන වේවි.

ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන්  හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන