2022 ජුනි 26 වන ඉරිදා

දුෂ්කරය කියා හැර දමා යා යුතුද ජීවිතය

2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00273

ආදරය හමුවෙන තැන් සුන්දර වෙන්නෙ කොයි තරමටද ආදරය අත්හැරෙන තැන් වේදනාත්මක වෙන්නෙත් ඒ තරමටමයි. එහෙත් ශෝකය කියන්නේ ජීවිතයේ අත්විඳින අමුතුම රසයක් කීවොත් එකඟද මාත් එක්ක... ඔව් ශෝකය කියන්නේ මහ අමුතුම රසයක්. වේදනාව හැඟීමක් හැටියට ජීවිතයේ මුණගැසෙන තැන්වලදි විතරක් නෙවෙයි ශෝකය රසයක් විදිහට අපට මුණගැසෙන්නේ. කළුවර කුර ගගා හෙමින් ඇවිත් වැතිරෙන ළා කළුවරක, අඩ සඳ අහසට ඇවිත් ළා සඳ එළියක් හාත්පස අතුරන අමුතුම එළියක, අමුතුම කළුවරක තනිවෙන මොහොතක, ශෝකී ගී රාවයක් ඉසියුම් ලෙස හදවතක ඇට මිදුළු නහර විනිවිද සිපගන්න මොහොතක නිර්වචනය කළ නොහැකි හැඟුම් සමුදායක් පිරිමැද දැනෙන මහා අමුතුම ශෝක රසයක් තියෙනවා. ළා දම් පාටට හැන්ඳෑව පාටවෙන ඉපල් වූ ගසක්, ඔහේ ඈතක තනිවෙච්ච මලක් පුබුදන පිනක් නැතුව පුංචි පැළයක් ඔහේ ඉකිලන හැන්ඳෑවක්, කොහේ හරි ඉඳන් ශෝකී රසයත් ඇවිත් හදවත ඉහත්තාවේ නවතිනවා...

ශෝක රසයක සොඳුරුතාවය අප අත්විඳින්නේ කොතනකදි වුණත් මට හිතෙනවා ඒ ගොඩක් තැන්වලදි ජීවිතයේ අතරමඟ කොහෝ හරි නැවතිච්ච සැඟවෙච්ච යටගියාවේ මතක අපි සොයාගෙන එනවා. ප්‍රේමයේ මතකත් එවැනිම සංවේදී යටගියාවකට අපේ සිත් කැටුව යන හැටි හරිම පුදුමයි. දේව්දාස් හින්දී චිත්‍රපටය ඔස්සේ කතා කරන්නෙත් එවැනිම ආදරණීය කතාවක්. පුංචි කාලයේ ඉඳන්ම දෙන්නෙක් අතර දලු ලෑ ආදරයක් ඒ ළමා විය පසුකරද්දි ප්‍රේමයකට පරිවර්තනය වෙනවා. ඒ ප්‍රේමය ආයෙත් භෞතිකව දුරස් වෙන්නේ දේව් රට අත්හැර කාලයකදි එංගලන්තයට යන හින්දා. දෑස් මානයෙන් අත්හැරෙන හැමදෙයක්ම හදවත් මානයෙන් අත්හැරෙන්නෙ නැහැ. ඔව්.. හදවතේ අක් මුල් නෑර විනිවිද දැනෙන ප්‍රේමයක් ජීවිතයේ කොතැනකදි හරි හමුවී ඇත්නම් ඔයාට දැනෙයි හදවතින් කෙනෙක්ව අත්හරින එක හුඟාක්ම දුෂ්කර දෙයක් කියලා.

ප්‍රේමයේ මාවත කියන්නේ තැනිතලාවක් නෙවෙයි. සැබෑ ප්‍රේමයක් තුළ යන ගමනක් කියන්නේ මහා කන්දක් නගිනවා වගේ. තැනිතලා මල් පිපුණු යායවල්, සිහිල සදනා මහා ගස්, සීතල සුළං වගේම ඒ මහා කන්ද නගිද්දි කතරක් වැනි මහා බිම්, දියවරක් ඇස නොගැටෙන වියළි බිම් හමුවෙනවා. යන ගමන කොයි තරම් දුෂ්කර වුණත් කඳු මුදුන තරණය කරන්න පුළුවන් නම් ඒ නැඟි ගමන අවසානය හරිම සුන්දරයි. එහෙත් ආදරය කියන මහ කන්ද නගින හුඟාක් අයට ජීවිතයේ අවසානයේ තෙක් සුන්දර නිමාවක් අත්විඳින්න ලැබෙන ඉඩහසර අල්පමාත්‍රිකයි

දේව් සහ පාර්වතී වෙන්වෙන්නේ ආදරය නැතිකමට නෙවෙයි. ඒ ආදරය එක්වීමක් බවට පත්කර ගන්න සාම්ප්‍රදායික සමාජ සම්මතයන් විසින් ඉඩක් නොදෙන පසුබිමක. පාර්වතී සමුගැනීමේ වේදනාව දරාගෙන වෙන්ව ගියත් දේව්ට ඔහුගේ ජීවිතයේ සිටි එකම සහ අවසාන ගැහැනිය බවට පත්වන්නේ පාර්වතී.

එහි අවසානයේදි මරණය පෙනි පෙනී ජීවිතය ඔත්පල වන මොහොතේ ඔහු යනවා ඇයව සොයාගෙන. ඒත් ඔහුගේ හුස්ම පොද මේ හිස් අවකාශයට එක්වන මොහොතේ ඔහු සොයා ඇය දිව ආවත් ඔහුගේ ඇස් පියවෙන්න කලින් ඒ නෙත් හමුවේ නවතින්න ඇයට ඉඩක් ලැබුණේ නැහැ.

ජීවිතයේ සමහර තීරණ හරි පුදුමාකාරයි. ජීවිතයේ සමහර විනිශ්චයන් සාධාරණ සහ සදාචාරවත් නැහැ. ඒත් ඒ සමහර විනිශ්චයන් අභියෝග නොකරම බාරගන්න අපට සිදුවෙනවා. කොතනක කොහොම නතර වුණත් කවුරු ජීවිතයට ආවත් ගියත් කවදාවත් මරණය සමඟ මිහිදන් කරන්න බැරි මතක අපේ ජීවිතවල තියෙනවා. මට හිතෙන්නේ ඒක අපි හුඟාක් දෙනෙක්ගේ ජීවිතවල නියතයක්.

මේ සියල්ල සමඟ පාවෙන ශෝක රසය විඳවීමක් වගේම විඳීමක්. ඒ විඳීම හොයාගෙන යන තැන්වල අවසානයේ නැවත හමුවෙන්නේ විඳවීමක් වෙන්න පුළුවන්. ඒත් ඒ තමයි නියත ධර්මයේ ස්වභාවය. සංසාරය පුරා ඉරණම් කතා ලියමින් යන මේ ගමන තනි මඟක තැනිතලාවක නැලවිල්ලේ යන ගමනක් නෙවෙයි කාටවත්ම. ඒත්...

දුෂ්කරය කියා හැර දමා යා යුතුද ජීවිතය...

ඔව්

දුෂ්කරය කියා හැර දමා යා යුතුද ජීවිතය...

► සංජු