සැමියාගේ රැඩිකල් අදහස්
මෙය මගේ සැමියා සම්බන්ධ ප්‍රශ්නයක්. අපි විවාහ වුණේ යෝජනාවකින්. මුල් කාලේ අදහස් ගැලපීම ගැන වැඩි වෙනසක් නොදැනුණත් දැන් දැන් ලොකු වෙනස්කම් දැනෙනවා. ඔහු හොඳ චරිතයක් වුණත් නිතරම රැඩිකල් අදහස් දරනවා. සමාජ සම්මත දෙයට ප්‍රතිවිරුද්ධ මත දරනවා. යාතුකර්ම, ඇදහීම්, චාරිත්‍ර වාරිත්‍ර ගැන කිසි තැකීමක් නෑ. හැම වෙලාවෙම සම්මතයට අභියෝග කරනවා. මේ නිසා අපි අතර ආරවුල් වැඩිවෙලා තිබෙනවා. මේ අප දෙදෙනාගේ පෙර කී ආකාරයේ අමුතු සංවාදයකි.
සැමියා - (පුටුවක් පෙන්වා) මේ මොකක්ද?
මම - පුටුව
සැමියා- කවුද කිව්වේ?
මම - ඔළුව වැදුණද මහත්තයෝ?
සැමියා - අනෙක් අය එහෙම කිව්වාට අපි කියන්නේ ඇයි?
මට මේවාට උත්තර දීලා ඇතිවෙලා. මේ වගේ කතා ගොඩක් කියනවා. එක වෙලාවකට මගෙත් ඔළුව රිදෙනවා. වෛද්‍යතුමනි, උපදෙසක් ලබා දෙන්න.
හර්ෂි - කුලියාපිටිය
උපදෙස
සැමියා සහ බිරිඳ අතර ගැටුම් ඇතිවීමට දෙදෙනාගේ අදහස්වල පරස්පරතාව හේතු වෙයි. පවුලක සැමියා සහ බිරිඳ අතර සියයට සියයක අදහස් ගැලපීමක් බලාපොරොත්තු වීමට නොහැකියි. පරස්පර අදහස්, ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණත් දෙදෙනා අතර ඒ ඒ අදහස්වලට අන්‍යෝන්‍ය මතවලට ගරු කිරීම තිබෙනවා නම් මෙවැනි ගැටලු ඇති නොවේ. පවුලක දෙදෙනාම අනෙකාගේ අදහස්වලට ගරු කළ යුතුයි. දෙදෙනාගේ අදහස් පරස්පර නම් ඒ සම්බන්ධයෙන් දෙදෙනා සාකච්ඡා කර පොදු මතයකට පැමිණීම සුදුසු වන අතර ඒ හැර තම මතයේම සිටීම නුසුදුසුයි. මේ හේතුවෙන් අනෙකා තම මතයටම හරවා ගැනීමට යාමෙන් ගැටුම් ඇතිවෙයි. මෙවැනි ප්‍රශ්නවලදී එක් පාර්ශ්වයක් හෝ ඉවසීම වැදගත්. උද්වේගකර අවස්ථාවේදී ඉවසා ඉන් පසු සුහදව සාකච්ඡා කර පොදු අදහසකට පැහැදිලි තීරණයකට පැමිණීම වැදගත්. දිගින් දිගටම සැමියා සිය මතයම ක්‍රියාත්මක කරනවා නම් මෙම ප්‍රශ්නය විසඳාගැනීම සඳහා පවුල් උපදේශකවරයකු හෝ මනෝ වෛද්‍ය සහාය ලබාගැනීම සුදුසුයි.
ඉස්සර ආදරය දැන් නෑ වගේ
අපි විවාහ වෙලා දැන් අවුරුදු 2 ක් වුණා. අප දෙදෙනාට දෙදෙනා ගොඩාක් ආදරෙයි. දෙදෙනාම රැකියාවල නිරත වෙනවා. ඉස්සර ගොඩාක් වෙලාවට අපි (පණිවිඩ) හුවමාරු කර ගත්තා. එහෙත් දැන් දෙදෙනාම කාර්යබහුලයි. දුරකතන තිරය දෙස බලන්න අපහසුයි. ඔළුව රිදෙනවා. ටික වෙලාවක් යනකල් හිසේ පැත්තක් රිදෙන්න ගන්නවා. මා මගේ සැමියා ගැන ගොඩාක් හිතනවා. ඔහුගේ පොඩි වෙනසක් වුණත් මට ලොකුවට දැනෙනවා. ඉස්සර වගේ දැන් ගොඩාක් ආදරයෙන් කතා කිරීම අඩුවෙලා. ඉස්සර කරපු ආශිර්වාද අඩුවෙලා. මම ඒ ගැන සමහර වෙලාවට හිතනවා. වෛද්‍යතුමනි, ගැටලුවට විසඳුමක් ලබාදෙන්න.
නිලූ - කිරිඇල්ල
උපදෙස
ඔබ යොමු කර ඇති ප්‍රශ්නය අනුව විවාහ ආරම්භක කාලයේදී ආදරයෙන් සිටි යුවලක් දැන් නොයෙක් හේතු නිසා ඈත්වී ඇති බවක් පැහැදිලි වෙයි. මෙයට බොහෝ දුරට බලපා ඇත්තේ දෙදෙනා හමුවීමෙන් පසු දුරකතනයේ සහ අන්තර්ජාලයේ කාලය ගත කිරීමයි. දෙදෙනාට එකට කතාබහ කිරීම, ආදරයෙන් එකට සිටීම ආදී නිවසේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් ගත කරන කාලය අඩුවෙලා තියෙනවා. විවාහ දිවිය සාර්ථක වීමට නම් දෙදෙනාට දෙදෙනා සහයෝගයෙන් සිය අදහස් හුවමාරු කරගත යුතුයි. ආදරය ප්‍රකාශ කරගත යුතුයි. අත්‍යවශ්‍ය කරුණකට පමණක් දුරකතනය සහ අන්තර්ජාලය භාවිත කිරීම සුදුසුයි. සැබෑ ජීවිතයේදී හොඳින් කතාබහ කිරීම වැදගත්. එසේ නොවුණහොත් දෙදෙනා දුරකතනවල කොටුවීමෙන් නිවසේ අන්තර් සම්බන්ධතාවලට බාධා ඇතිවෙයි. ඔබේ ඇස්වල වේදනාවක් ඇති බව පවසා තිබේ. එයට හේතුව දුරකතනය නිතරම භාවිතය වීමට පුළුවන්. යම් අක්ෂි ආබාධයක් ඇත්දැයි මේ සම්බන්ධයෙන් අක්ෂි වෛද්‍යවරයකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර උපදෙස් ලබාගැනීම සුදුසුයි. ඔබට ලබාදෙන උපදෙස නම් සැමියා සමඟ මෙම ප්‍රශ්නය සාකච්ඡා කර දෙදෙනාගේ දුක සැප බෙදාගනිමින් නිවසේ සහයෝගයෙන් ගත කරන කාලය වැඩි කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා ගන්න. එදිනෙදා දෙදෙනාගේ අත්දැකීම් නිවසට පැමිණ කතා කරන්න. දුරකතනය අත්‍යවශ්‍ය කරුණකට සීමා කර ගැනීම හොඳ පවුල් ජීවිතයක් ගෙවීමට උපකාරී වෙයි.
හොස්ස ළඟින් මැස්සා යන්න බෑ
මා 28 හැවිරිදි එක්දරු මවකි. ඉස්සරට වඩා දැන් ගොඩාක් කේන්ති යයි. සුළු සුළු දේට තරහා යනවා. සැමියා සමඟත් ඔහු පවසන සමහර දේටත් කේන්ති යනවා. ඒ වෙලාවට බබා අඬද්දී ඒකටත් කේන්ති යනවා. මම රැකියාවක් කරන්නේ නෑ. කේන්තිය පාලනය කරගන්න අමාරුයි. හේතුවක් නැතිව කේන්ති යාම මට පාලනය කර ගන්න අමාරුයි.
දිලිනි - කඩවත
උපදෙස
යම් කෙනකුට තරහා යාමටතු කිහිපයක් බලපායි. මේ සඳහා මානසික ආතතිය බලපායි. නිවසේ ගෘහණියකට නිවසේ අධික කාර්යබහුලත්වය මානසික ආතතියක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙනවා. ඇයට අවශ්‍ය කායික සහ මානසික සහාය ප්‍රායෝගිකව ස්වාමියාගෙන් නොලැබෙනවා නම් ඇයට අවශ්‍ය ආදරය රුකවරණය නොලැබෙනවා නම් එම ආතති තත්ත්වය වැඩිවීමට හේතුවෙයි. අනෙක් කරුණ කෙනකුට විශාදය වැනි රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් එවැනි කෙනකුටත් තරහා යාම සිදුවිය හැකියි. ඔබේ දරුවාගේ වයස පිළිබඳ ප්‍රශ්නයේ සඳහන් කර නැත. විශාදය වැනි තත්ත්වයක් දරුවා ලැබී පළමු අවුරුද්ද යන පසු ප්‍රසව අවධියේදී ඇතිවීමට හැකියි. එසේ නොමැති වුවත් විශාදය ඇතිවීමට පුළුවන්. විශාදයේදී දුක දැනීම, ශරීර ශක්තිය අඩු ලෙස දැනීම, නින්ද නොයාම, කේන්ති යාම, කෑම අරුචිය ආදී ලක්ෂණ රාශියක් තිබෙනවා. මෙහිදී කේන්ති ගොස් ටික වෙලාවකින් කේන්තිය නිවී පසුව කේන්ති ගිය කරුණ පිළිබඳ දුකක් දැනෙනවා. තයිරොක්සින් හෝර්මෝන ඌණතාවක් නිසාත් ඇතැමුන්ට කේන්ති යාමට පුළුවන්. දිගින් දිගටම කේන්ති යාම ඇත්නම් මනෝ වෛද්‍යවරයකු හමු වී මෙය මානසික රෝගී තත්ත්වයක්ද, මානසික ආතති තත්ත්වයක්ද, එසේ නොමැති නම් කායික තත්ත්වයක්ද යන වග නිශ්චිතව තහවුරු කර ගැනීම වැදගත්. ඔබ නිවසේදී අධික ලෙස වෙහෙස වන කෙනකු නම් නිවසේ වැඩ කළමනාකරණය කර ගැනීම, කාල කළමනාකරණයෙන් යුතුව වැඩ කිරීම, ස්වාමිපුරුෂයාගේ උදව් උපකාර ලබාගැනීම සිදු කළ හැකිය. තරහ ගිය අවස්ථාවක එය පාලනය කර ගැනීමට සිත නිවන ප්‍රිය කරන වීඩියෝ පට, ගීත ශ්‍රවණය කිරීම සුදුසුයි. මේ මගින් ආවේගය පාලනය කර ගැනීමට හැකිය.
(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මන‍්ඃකල්පිත බව සලකන්න)
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.
ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්.
ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com
සංස්කාරක,
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.
I සසංක චලන ගිම්හාන