2022 ජුලි 03 වන ඉරිදා

ආදරය කියන්නේ ගැහැනියකට ජීවිතයක්

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 340

ඇය පත්තිනි. දේවතාවියක් ලෙස ඇය විවරණ ලබන්නේ පතිදම රැකි අනුහසින්. ගැහැනියකට දේවත්වය ලබන්න තරම් පතිනිදම උත්තරීතර මනෝ භවයක් ලෙස පත්තිනි සංකල්පය ඔස්සේ විවරණය වෙනවා. පත්තිනි දේව සංකල්පය උත්තරීතර දේවත්වයකින් සලකන අතීතය නිර්මාණය වුණේ මීට අවුරුදු ගණනාවකට ඉස්සර දුරාතීතයේ. පත්තිනිය ලෙස කන්නගී දේවත්වය උදෙසා විවරණය ලැබීම තෙක් කතාව තමයි පත්තිනි සිනමා රූපකාරකය ඔස්සේ දිගහැරෙන්නේ. 

ඕනෑම ආදරයක්, ඕනෑම හදවතක්, ඕනෑම බැඳීමක් වෙනස් වෙන්න, මඟහැරෙන්න ගතවෙන්නෙ එක ක්ෂණයක් විතරයි. ප්‍රාණසම ස්නේහයකින් බැඳුණු හදවත් පවා නොහිතන මොහොතක අත්හැර යන්න පුළුවන්. ජීවිතයේ අත්හැරී යන අයට නැවත කැඳවීමක් වෙනුවට අත්හැරීම තමයි සැබෑ ස්නේහය කියලා තේරුම් ගන්න පුළුවන් නම් මම හිතන්නේ එතැන ඇතිවන මානසික වාතාවරණය හරි සැනසිලිදායකයි. අපි ආදරය කරන තරම් අනිත් අය අපිට ආදරය කරනවද? 

මට හිතෙන්නේ ජීවිතයේ හුඟාක් තැන්වලදි අපි ආදරය කරන තරම් ලෝකය අපිට ආදරය කරන්නෙ නෑ. සමහරවිට අපි ආදරය කියලා විශ්වාස කරන, අදහන, පිළිගන්න සංකල්පය ඇතුළේ පතුලටම කිඳා බැහැලා බලද්දි හමුවෙන්නෙත් ආදරය නෙවෙයි. ඒත් ජීවිතයේ අපි අපිවම රවට්ටගන්න, අපි අපිවම සනසගන්න තැන්වලදි අපි යථාර්ථය - යථාර්ථය බව දැන දැනම එය මඟහැරගෙන නිකම් මුලාවේ සළු පිළිවලින් දවටා ගන්නවා.

කන්නගී තම ස්වාමියාට ආදරය කරන්නේ මවක, සොයුරියක, මිතුරියක, ආදරවන්තියක සේ. එහෙත් කිසිදු සාධාරණත්වයක් නැති හේතුවක් මත ඔහු ඇය හැර යන්නේ නාටිකාංගනාවකගේ වසඟයට පත්වෙමින්. තවත් පිරිසක් සනසන ගැහැනියකගේ තුරුල්ලට වැදෙන ඔහු හිතක් පපුවක් නැති සෙල්ලක්කාර සිතුවිලි එක්ක පිටුපාන්නේ පාරිශුද්ධ ස්නේහයකට.

එහෙත් ඇගේ හිතේ බිඳුණු තැනක්, ප්‍රේමයම මිසක වෛරයක සිතුවිලි අංශුමාත්‍රයක්වත් උපදින්නෙ නෑ. හැරගියත් ඇගේ ප්‍රාර්ථනය ඔහු නිදුකින් වෙසේවා යන්නයි. අවසානයේ නාටිකාංගනාවගේ තුරුලේ තමා පැතූ ස්නේහය සහ ගැහැනිය නැති වග වැටහෙන පසුබිමකදි ඇය හැර ඔහු යළි කන්නගී වෙතටම එනවා. ඒ තැනදිත් ඇය ඔහු පිළිගන්නේ ගැහැනියකට ප්‍රේමය යනු ජීවිතයේ එක් ආශුමාත්‍රයක් නොව ජීවිතයම බව පසක් කරමින්.

අවසානයේ නොකළ වරදකට සිරකරුවකු වී ඔහු මරණයට පත්වෙනවා. තම ස්වාමියාට අත්වූ ඉරණම උසුලාගත නොහැකිව ඇය ඔහු සොයා එනවා. සංසාර ගිරි දුර්ගයේ අනන්ත කටු අකුල් මත වුව මලක් පුබුදන දිනක් දකින රිසියෙන් ඔහු පසුපස ආ ඇයට ඒ වියෝගයේ කම්පනය කිසිදු වෙසකින් දරාගන්න බෑ. සිතුවිල්ලකින්වත් ස්පර්ශයකින්වත් ඔහුට එක් මොහොතක්වත් ද්‍රෝහි නොවූ ඇගේ පතිවතේ අනුහසින් කළ ශාපය මත එම නගරයේ වෙසෙන බිළිඳුන්, වයසක මිනිසුන්, රෝගීන් හැරෙන්න සියලු දෙනා ඒ ගින්නෙන් ගිනිබත් වෙනවා. නුවරක් ගිනිබත් කරන්න තරම් පතිවතේ අනුහස බලවත් වග තමයි පත්තිනි සිනමා රූපකාරකය ඔස්සේ කතා කරන්නේ. අවසානයේ පැවිදි දිවියට එළැඹ සිටින ඇගේ සැමියාගේ සහ නාටිකාංගනාවගේ දියණිය ඇය අබිමුවට පැමිණ ඇය නිවා සනසනවා. ඇය පත්තිනි දේව මෑණියන් නමින් දේවත්වයට පැමිණෙන්නේ ඒ අනුහසින්.

ඇත්තටම ප්‍රේමය කියන්නේ මේ ලෝකයේ තියෙන අති ප්‍රබල මානවීය හැඟීමක්. මානවීය බන්ධනයක්. එය සැබෑ ලෙසම ජීවිතයේ මුණගැසෙන තැන් පිරී තියෙන්නේ ආත්මීය සැනසිල්ලකින්. එහෙත් එය නිර්මල ලෙස ජීවිතයේ මුණගැසෙන තැන් හරිම අල්පමාත්‍රිකයි.

ඇත්තටම පිරිමියෙකුට ආදරය කියන්නේ හුඟාක් වෙලාවට ජීවිතයේ එක තිතක්, එක තැනක් විතරයි. ඒත් ගැහැනියකගේ ආදරය කියන්නේ ඇගේ මුළු ජීවිතයම. ඇගේ මුළු ආත්මයම.

සංජු