2022 ජුලි 17 වන ඉරිදා

ලෝකේ වටේ අංක එකට බයිසිකලේ

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 132

ඔන්න මචෝ පොරොන්දු වුණ විදියට Y Trend එකක් අරගෙන ආවා. මීට ටික දවසකට කලින් අපි ලංකාවේ පා පැදි පිස්සුව ගැන කතාවක් කිව්වා සුදාලාට මතකද දන්නේ නෑ. අන්න එදා අපි කිව්වා බයිසිකල් රේස් ගැනත් Y Trend එකක් ළඟදීම අරගෙන එනවා කියලා. ඔන්න ඉතින් වස්තුලාට අද අරගෙන ආවේ ඒ සීන් එක.

Cycling කියන්නේ පට්ට සබ්ජෙක්ට් එකක්, ඒකේ කතා කරන්න නම් දේවල් ඕනේ තරම් තියෙනවා. Cycling Races කියන්න ඇත්තටම පොඩි කොටසක් විතරයි. ලංකාවෙ අපි Cycling Races ගැන දන්නවා, අපි දැකලත් තියනවා. ඒත් මචෝ, Cycling Race කියන්නේ මේ අපි දකින සීන්කෝන් එකට වඩා පට්ට ලොකු සීන් එකක්. මේක ලෝක ඩොලර් බිලියන ගණන් වලින් ආයෝජන සිද්ධවෙන, සල්ලි ඕසෙට වියදම් කරන, පට්ට ආතල් එකක් තියෙන සීන් එකක්. ඒ වගේම මේකේ මචෝ, පොඩි cultural සීන්කෝන් එකකුත් තියෙනවා.

ඔන්න වස්තු මේ දවස්වල පැවැත්වෙනවා ලෝකයේ දැවැන්තම පාපැදි සවාරිය. Tour de France 2022ක. ප්‍රංශ පාපැදි සවාරිය. අපේ කට්ටිය නම් ගොඩක් වෙලාවට මේ ගැන අහලා කරලා තියෙන්නෙ News වල තමා. ඇත්තටම මචෝ මේ පාපැදි සවාරිය යුරෝපයේ තියෙන විශාල සැණකෙළියක් වගේ සීන් කෝන් එකක්. ප්‍රංශ පාපැදි සවාරිය දිහා බලාගෙන හිටියොත් සුදාලාට හිතෙයි මෙතන Sports එකකට වඩා දෙයක් තියෙනවා කියලා. ඒ නිසාම Tour de France උදාහරණයට අරගෙන අපි මේ Trend එක පැහැදිලි කරන්නම් වස්තුලාට.

Tour de France පැවැත්වෙන්නේ කිලෝමීටර් 3,500ක් ආවරණය වෙන විදියට මචෝ. දින 23ක් පුරා Stages 21 පැවැත්වෙනවා. ප්‍රංශය ප්‍රධන රට වුණාට ඩෙන්මාර්කය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය වගේ අවට රටවල් හරහාත් Tour de France ගමන් කරනවා. සමහර කාලවල තවත් රටවල් එකතු වෙනවා. මේ පාපැදි සවාරියෙන් යුරෝපයේ සමගිය ප්‍රදර්ශනය කරනවා වගේම ප්‍රංශයේ එක්සත්භාවය ප්‍රකාශයට පත්වෙනවා කියලා කියැවෙනවා. අවුරුදු 119 කට කලින් ක්‍රි.ව 1903 දී තමා මේ පාපැදි සවාරි ආරම්භ වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම විස්තර කියන්න නම් වෙලාව මදි මචෝ.

සුදාලා විශ්වාස කරන්න අද වෙනකොට වාර්ෂිකව මිලියන 10ත් 12ත් අතර ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ රේස් එක බලනවා. ඒ විතරක් නෙවෙයි මචෝ රූපවාහිනී නරඹන්නන් බිලියන 3.5ක් විතරත් මේ රේස් එක බලනවා කියලාත් සමහර වෙබ් අඩවිවල සඳහන් වෙනවා. ඔන්න මේ පාර නම් ජයග්‍රහයකයින්ට යූරෝ ලක්ෂ පහක් තමා ත්‍යාගය.

ෆොන්තොලා දන්නවානේ, අපි ඕගොල්ලෝ බයිසිකල් රේස් බලන්නේ පාර දෙපැත්තේ එකතු වෙලා. නැත්නම් පාරෙ යද්දී අපිට ඉබේම පේනවා. ඒත් අපි මේ කියන Tour de France වෙනුවෙන් ගොඩක් රටවලින් නරඹන්නෝ එනවා. සමහරු Caravan අරගෙන මේ කිලෝමීටර් 3500ක Cover කරනවා. මග දිගේ උයාගෙන කාලා බීලා, සීතල හිම කඳුවල රේස් එක බලලා මාසයක් විතර අමුතුම ආතල් එකක් මේ අය ගන්නවා. ඔන්න මේ දවස් වල Tour de France සජීවි විකාශය වෙනවා EuroSports නාලිකාවේ. සුදාලාට නිකමට හරි බලන්න පුළුවන් වුණොත් අපි කියන අපි මේ දේ තේරෙයි.

මුලින්ම කිව්වනේ මචෝ මේක  යුරෝපයේ වැදගත් සංස්කෘතික උත්සවයක්. රේස් එක පස්සේ යන අයට අමතරව මිලියන ගණනක් මාර්ගය දිගේ පෙළගැහිලා ඉන්නවා. සමහරු හොඳම දර්ශනයක් ලබාගන්න සතියක් විතර කඳවුරු බැඳගෙන ඉන්නේ. පිස්සුවක් වගේනේ වස්තු. රේස් එක පහුකරගෙන යන නගර සම්පූර්ණයෙන්ම වගේ සැණකෙළි වෙනවා. කනවා බොනවා ආතල් ගන්නවා, එතකොට සංගීතේ විනෝදය එක්ක නිර්මාණය වෙන යුරෝපයේ නිදහස මේක මේ නගරවලින් අපිට බලාගන්න පුළුවන්. ඉතින් සංචාරකයන්ගෙන් මේ නගරවල පිරෙනවා මේ කාලෙට. මචෝ ලංකාවේ ඉඳන් යුරෝපය දිහා බලන්න ආසා නම් මේ රේස්එක අනිවාර්යයෙන් බලන්න.

ඒ වගේම මේ පහුකරගෙන යන ගම්බිම්වල නගරවල ගොවිබිම්වල පාපැදි සවාරියට සුබ පැතුම් එක් කරන්න ජනතාව එක එක දේවල් කරනවා. විශාල ක්‍රීඩාංගනවල, පාසල්වල, හිරගෙවල්වල පවා ගුවනේ සිට පාපැදි සවාරි ආවරණය කරන Helicopters වලට පේන්න අපූරු නිර්මාණ කරලා තියෙනවා බලාගන්න පුළුවන්. ඇත්තටම මචෝ Tour de France හා සම්බන්ධ කලාව ගැන වෙනම සීන් එකක් ලියන්න පුළුවන් ඕනෑනම්. Tour de France පාදක කරගෙන නිර්මාණය වුණු සංගීතය ඇල්බම, චිත්‍රපට, සංගීත සංධනි, ප්‍රසිද්ධ සිතුවම් වගේ දෙවල් තියෙනවා. Tour de France හා සම්බන්ධ දේශපාලන ඉතිහාසගත කතන්දර ගොඩකුත් තියෙනවා. සුදාලා හොයලා බලන්න.

දැන් අපේ සුදාලාට තේරෙන්න ඕනා මේක ලෝක මට්ටමෙන් පට්ට Trend එකක් කියලා. Tour de France තවත් ලෝකෙ ප්‍රධාන පාපැදි සවාරි දෙකක් පැවැත්වෙනවා. මේ විදිහෙම විශාල සංස්කෘතියක්, පිස්සුවක්, ආතල් එකක් ඒ පාපැදි සවාරි දෙක ඇතුළෙත් බලාගන්න පුළුවන්. Giro d Italia කියන්නේ ඉතාලියේ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන පාපැදි සවාරියට. List of Vuelta a Espana කියලා කියන්නේ ස්පාඤ්ඤයේ පැවැත්වෙන පාපැදි සවාරියට ඕනෑම ලෝක මට්ටමේ පාපැදිකරුවෙකු හීනෙ තමයි මේ පාපැදි සවාරි තුනෙන් එකක අදියර ජයග්‍රහණයක් හරි ලබා ගැනීම මචෝ.

දැන් මචෝ අපි පොඩ්ඩක් ලංකාව පැත්තට එමු. අපිත් තියෙනවා Cycle Race. විශේෂයෙන්ම සිංහල අවුරුදු කාලෙට තමයි වැඩිපුරම පාපැදි සවාරි පැවැත්වෙන්නේ. අවුරුදු උත්සවවලට සමගාමීව පැවැත්වෙනවා. ඒ වගේම ගොඩක් නගරවල වෙළඳ සංගම් පාපැදි සවාරි සංවිධානයට මූලිකත්වය ගන්නවා. හැබැයි මේවත් තනි අදියරේ පාපැදි සවාරි මචෝ.

මීට අමතරව ජාතික මට්ටමින් අදියර කීපයක් යටතේ පැවැත්වෙන පාපැදි සවාරි කිහිපයයි තියෙන්නෙ. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගොඩක් වෙලාවට ඒ පාපැදි සවාරි සංවිධානය කරනවා මචෝ. ඊට අමතරව ඔය අපේ රටේ ජනාධිපතිවරුන්ගේ ජන්ම දින පදවි ප්‍රාප්ති වෙනුවෙනුත් පාපැදි සවාරි පහුගිය කාලේ සංවිධානය වුණා. ලෝක මට්ටමටම යන්න බැරි වුණත් පාපැදි තරඟ කියලා කියන්නේ අපේ රටේ පොඩි ක්‍රීඩා සංස්කෘතියක් තිබෙන සීන්කෝන් එකක්.

අපේ ලංකාවේ පාපැදිකරුවන් අතර සෑම උදෑසනකම අපිට මගතොටේදී හම්බවෙනවා. එයලා බොහොම මහන්සිවෙලා පුහුණුවීම් කරන අය. ඇත්තටම වැදගත් දේ මචෝ ක්‍රීඩාව සංස්කෘතික අංගයක් වීම. ප්‍රමිතීන් අතින් අපි කොච්චර පහළින් හිටියත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපිටත් පාපැදි සංස්කෘතියක් තියෙනවා සුදෝ. යම් ක්‍රීඩාවක් සංස්කෘතිකමය වශයෙන් මිනිස්සුන්ට බැඳිලා තියෙනවා නම් ඇත්තටම මේ ක්‍රීඩාවෙන් ඒ රටට ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. අපේ පුංචි රටේ ලොකු ක්‍රිකට් කණ්ඩායම ඒකට හොඳ උදාහරණයක්, සුදාලා ඒක දන්නවා.

පාපැදි තරග පැවැත්වීම අධික වියදම් යන වැඩක් නිසයි ගොඩක් වෙලාවට අපේ කට්ටියට ගුණාත්මක තරග පවත්වන්න බැරිවෙලා තියෙන්නෙ. අනිත් පැත්තෙන් මාධ්‍ය අනුග්‍රහය ලබාගැනීමට තිබෙන අපහසුතාව. ඒ කොහොම වුණත් අඩුපාඩු නිවැරදි කරගෙන හොඳ සහයෝගයක් සමඟ ඉස්සරහට යන්න පුළුවන් නම් ආසියාවෙ පාපැදියට සංචාරක ආකර්ෂණය ලබාගන්න පුළුවන් හොඳම තැන තමා ශ්‍රී ලංකාව. මොකද ලොකු පාපැදි සවාරිය එකකදී ලෝකෙට පෙන්නන්න ඕන තරම් ලස්සන දේවල් අපිට තියනවා.

I නිසල්