2022 ජුලි 17 වන ඉරිදා

’අ’ යන්නේ ඉඳන් ලෝකයම කියවන්න බැහැ..

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 44

දරුවෙකුට වැඩියෙන්ම ආදරය කරන්නේ කවුද? මට හිතෙනවා අම්මා තරම් දරුවෙකුට ආදරය කරන්න කිසිම කෙනෙක් මේ ලෝකයේ නෑ කියලා. ලේ, මස්, නහර, ඇටමිඳුළු පෙරාගෙන එන ඒ ආදරය කොහොම නිර්වචනය කරන්නද කියලා ඇත්තටම කියන්න නොතේරෙන තරම්.

සංසාරය කියන්නේ දිගු ගමනක්. ඒ ගමනේ එක නැවතුමක් තමයි භවය කියන්නේ. ඒ භවයෙන් භවයට ආදරය හොයාගෙන හොයාගෙන එන ගමනේදී අම්මාගේ ආදරය මඟ නොහැරී හමුවෙනවා කියලා.

ඇත්තටම මරණයෙන් පසු ජීවිතයේ ගමන් මඟ තීරණය කරන්නේ කවර සාධකයක් විසින්ද කියලා තේරුම් ගන්න අමාරුයි. එහෙත් කවර හෝ බලවේගයක් ඔස්සේ භවයෙන් භවයට මේ ජීවිතය අපි රැගෙන යනවා. ඒ රුගෙන යන එක් බලවේගයක් ලෙස ආදරය හඳුන්වන්න පුළුවන්.

එහෙම ආදරයක් ගැන තමයි යූ ටර්න් චිත්‍රපටයෙන් කතා කරන්නේ. තරුණ මවකට සහ දියණියකට ජීවිතය අහිමි වෙන්නේ හදිසි අනතුරකින්. ඒ හදිසි අනතුර සිදු වූදා පටන් එම මාර්ගයේ තබා ඇති බාධකයක් ඉවත්කර ගමන් මඟ සාදාගන්නා සැම කෙනෙකුම අනතුරට ලක්වෙනවා. ඒ පිටුපස හේතුව හොයා යන මාධ්‍යවේදිනිය මුහුණදෙන නොසිතූ අර්බුදයක් අවසානයේ ඒ අනතුරුවලට සැබෑ හේතුව සොයා ගනිමින් තමයි මේ චිත්‍රපටය ඔස්සේ කතා කරන්නේ.

අවසානයේ අනාවරණය වූ පරිදි ඒ අනතුරට හේතුව ඇගේම සැමියා. ආදරය හා වෛරය පසුපස දිවයන ඇගේ සැනසීමක් විරහිත ආත්මයේ රිද්මය තමයි මේ කතාව පුරාම දිවයන්නේ.

දුවකට ජීවිතයේ ලොකුම හව්හරණ එයාගේ අම්මායි තාත්තයි වෙනව නම් එතැන නිර්මාණය වෙන පසුබිම හරිම සුන්දරයි. එහෙත් ජීවිතයේ නොසිතන තැන්වලදී දරුවකුගේ ජීවිතයෙන් ඒ ආදරය මඟහැරෙන්න පුළුවන්. ඒත් සමහර බැඳීම් තියෙනවා ලෝකයේ භෞතිකව මඟ හැරුණත් අධ්‍යාත්මිකව නොගිලහෙන නොගැලවෙන. ඒ වගේ බැඳීමක් තමයි එතැනත් තියෙන්නේ. එහෙත් ඒ බැඳීමෙන් නිදහස් වී ජීවිතය යළිත් හමුවන තැනක නවතින්න නොහැකි ලෙස වෛරයේ ගිනි පුපුරු මගින් ඔවුන්ගේ ආත්මයන් බිඳ දමා තිබෙනවා.

ලෝකය කියන්නේ කවදාවත් කාටවත් අ යන්නේ ඉඳන් අවසන් අක්ෂරය දක්වා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනෙක් අතට කවර සාධක විසින් සංසාර ගමන්මඟ තීරණය කළත් ඒ සංසාර ගමන නොනැවතී යා යුතුයි. මලක් ලෙස දිනෙක පිපෙන කැකුලකට තමයි ජීවිතය කියන්නේ. එහෙත් කටු සපිරි අත්තක් මත කැකුළත් වී පිපෙන තුරු පෙත්තෙන් පෙත්ත පූදින හැටි හරි අපූරුයි.

ඇත්තටම ජීවිතය ආදරය තුළ සුවපත් වන හැම මොහොතකම ජීවිතය කියන්නේ සුබ ප්‍රාර්ථනයක්. ඒ සුව ප්‍රාර්ථනය යථාර්ථයන් බවට පත්කරන්න හුස්ම වැටෙන පළමු තත්ත්පරයේ සිට මරණය තෙක් අත් විඳින සියල්ල තමයි ජීවත්වීම කියන්නේ.... ඒ ජීවත්වීම තුළ හමුවන අත්විඳින දේවල් කොච්චරක්ද?

අවසානයේ ජීවිතය කියන්නෙත් ඒ සියල්ල... ඒ සියල්ලේ සුසංයෝගය ඒ සියල්ලේ ඒකාත්මික බව...

සංජු