2022 ජුලි 31 වන ඉරිදා

පිරිමින්ට හරි බයක් දැෙනනවා

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 06:00 628

කසාද බඳින්න ආසයි බයයි 

මම 30 හැවිරිදි පෞද්ගලික රුකියාවක් කරන තරුණියක් වෙමි. මගේ පවුලේ මමයි මල්ලියි අම්මායි තාත්තායි ඉන්නේ. ළඟදි ඉඳලා අම්මලා මට බල කරනවා කසාද බඳින්න කියලා. මංගල යෝජනාත් බලලා මනාලයො කිහිප දෙනෙක් මාව බලන්න ගෙදරත් ආවා. ඒත් මම කැමති වුණේ නෑ. කසාද බඳින්න හිතේ ආසාවක් තිබුණත් එක වෙලාවකට ලොකු බයක් දැනෙනවා. කසාද බැඳලා ගිහින් පිරිමියෙක් එක්ක තනියම ඉන්න වෙනවා කියලා මතක් වෙද්දී මට ගොඩාක් බය හිතෙනවා. පිරිමියකු ඉස්සරහ නිරුවතින් ඉන්න තියා හිතන්නවත් බෑ. ලැජ්ජාවක් හිතෙනවා. ලිංගිකව එක්වෙන්නත් මම ගොඩාක් බයයි. ඒවා මතක් වෙනකොට කසාද එපා වෙනවා. බඳින්න බැහැ කියලා හිතෙනවා. මේ වෙනකල් මම නිදහසට හේතු කිය කියා කසාදය කල් දදා හිටියා. ඒත් අම්මලා කියන්නේ මම තවදුරටත් නොබැඳ හිටියාම ගෙදරටම නාකි වෙනවා කියලා. මට කසාද බඳින්න යෝජනා කරද්දිත් දැන් එය කරදරයක් බවට පත්වෙලා. උපදෙසක් බලාපොරොත්තු වෙමි.

නිමාෂා - කුරුණෑගල
උපදෙස:

විවාහයට යාමට තිබෙන බිය ගොඩක් අයට තිබෙනවා. තමන් හොඳටම දන්නා හඳුනන පවුල්වල ඇතිවන ගැටුම්, බිරින්දෑවරුන්ට සිදුවන අසාධාරණ සහ පහරදීම් දැක ඇයට ඇතිවුණ අත්දැකීම් සමඟ මනස තුළ ඇතිවෙන බිය, විවාහයට යාමට බාධාවක් වෙන්න පුළුවන්. තවත් ඇතැමුන්ට පෞරුෂ අක්‍රමිකතා ඇතිවෙන්න පුළුවන්. වගකීම් දරාගෙන දූදරුවන් හදාගෙන උයා පිහා පවුලක වැඩ කටයුතු කරගෙන යාමට තමන්ට හැකියාවක් ශක්තියක් තිබේද කියා ඇතැම්විට සිතෙන්න පුළුවන්. තමන් තුළ අභිමානයක් නොමැති අවස්ථාවලදී වගකීම් දරන්න බැහැ කියා ඇතිවන බිඳ වැටුණු මානසිකත්වය කෙනෙකුට විවාහය දක්වා යාමේදී බාධාවක් වෙන්න පුළුවන්. 

සමහරුන් ලිංගික ක්‍රියාවන් සඳහා බියක් දක්වනවා. එතැනදී පිරිමි කෙනෙක් නම් ගැහැනු කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්නත් ගැහැනු කෙනෙක් නම් පිරිමි කෙනක්ව ප්‍රතික්ෂේප කරන්නත් පටන් ගන්නවා. යහළු මිත්‍රයන් ලෙස කුළුපගව ආශ්‍රය කළත් ප්‍රේමය දක්වා එනකොට වහාම ඈත් වෙන්න උත්සාහ කරනවා. එසේ වන්නේ ලිංගික කටයුතුවලට තිබෙන බිය නිසායි. ඇතැම් කාන්තාවන් විවිධ වේදනාකාරී හැඟීම්වලට බිය නිසාම මේ මංගල රාත්‍රිය ප්‍රතික්ෂේප කරයි. එම හේතුවම ඔවුන් විවාහයෙන් ඈත් කරවයි. 

අහඹු නමුත් සාමාන්‍යයෙන් සිදුවෙන අවස්ථාවක් තිබෙනවා කාන්තාවක් පුරුෂයන්ට තිබෙන බිය කියන එක. එය ඇන්ඩ්‍රොෆෝබියා නමින් හඳුන්වනවා. පිරිමියෙක් සමඟ තනිවෙන්න, ඇඳුම් නොමැතිව දකින්න, එකට වාසය කරන්න වෙනවාය කියන බිය වැනි තත්ත්වයක් කෙනෙකු තුළ ඇතිවෙන්න පුළුවන්. තදබල ලෙස තිබුණ ප්‍රේමයක් කඩා වැටීම නිසා හෝ දැඩි කලකිරීමට පත්වීම වැනි කාරණා හේතුවෙන් කෙනෙකුගේ විවාහයට යන්න තිබෙන කැමැත්ත අඩු වෙන්න පුළුවන්. ලිංගික වුවමනාව කියන දේ ඉතාම අඩුවෙන් පිහිටීම නිසා සමහරුන් විවාහයට යාමට අකමැති වෙන අවස්ථා තිබෙනවා. ලිංගික දිශානතිය නිසාත් ලිංගික පරිවර්තන අවස්ථාවලදීත් මෙය වෙන්න පුළුවන්. මිශ්‍ර ලක්ෂණ පවතින්නත් පුළුවන්. එහි හුරුව තේරුම් ගැනීම හා විවාහයට යාමට බැරි වීමට බයක් පමණක් නම් තිබෙන්නේ සුදුසු උපදේශන මඟින් එය යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන්. 

පිරිමි  පස්සෙන් ඒම ඇණයක් වෙලා

මම පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණියක් වෙමි. මා සේවය කරන තැන වැඩිහිටියන් බොහෝ දෙනෙක් සිටිති. දැන් ටික කාලයක ඉඳන් එකට සේවය කරන පිරිමින් කිහිපදෙනෙක් මාරුවෙන් මාරුවට පස්සෙන් එන්න පටන් අරන්ය. ඔවුන් මට දක්වන ළෙංගතුකම මට වෙලාවකට කරදරයකි. යන යන තැන පස්සෙන් ඇවිත් බලෙන් කතාවට වැටෙනවාය. ඔවුන්ගෙන් මට බේරිල්ලක් නැත. පෙම්වතාගෙන්වත් ඒ තරමට කරදරයක් නැත. ඔවුහු කෑම බීම පවා ස්වෙච්ඡාවෙන්ම ගෙනත් දෙති. උදේට ගුඩ් මෝර්නින් සහ මහ රූට ගුඩ් නයිට් කෙටි පණිවිඩවලින් දුරකතනය පිරිලාය. ඔවුන් වැඩිහිටියන් නිසා මම ගොඩාක් ඉවසා සිටිමි. එහෙත් මෙය මට හිසරදයකි. මම මෑතකදී විවාහ වීමට අපේක්ෂාවෙන් පසුවෙමි. මා කුමක් කළ යුතුදැයි සිතා ගත නොහැකිව සිටිමි. උපදෙසක් පතමි.

හසිනි - බද්දේගම
උපදෙස:

සාමාන්‍යයෙන් බහුතරයක් ඉන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය තිබෙන අයයි. කාන්තාවන් කෙරෙහි පුරුෂයන්ට ආකර්ෂණයක් ඇතිවීම සාමාන්‍යයි. බොහෝ වේලාවට අන්අය කැමැත්ත ප්‍රකාශ කිරීම ආදරය හෝ ලිංගිකත්වය පදනම් කරගෙන වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඇඳුම් පැළදුම්, චර්යා රටා, ශාරීරික හැඩතල, රෑපලාවන්‍ය කටයුතු සහ ෆෙරමෝන අඩංගු සුවඳ විලවුන් භාවිතය මඟින් පුරුෂයන් කෙරෙහි එවැනි ආරක්ෂණීය තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

කෙනෙක් වුවමනාවෙන්ම පැහැදිලි දැනුමකින් නොවන අවස්ථාවකදී අන්අය පෙළඹවීමට ලක්කරන ආකාරයේ හැසිරීම් රටා තිබෙන්න පුළුවන්. නිතර අන්අය දෙස බැලීම, මද සිනහව, ඇස් කොනින් බැලීම ආදිය වෙන්න පුළුවන්. මෙවැනි දේ වුවමනාවෙන් නොකළත් ආකර්ෂණීය බවක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා.  පමණට වඩා බියෙන් අවධානයෙන් ඉන්න ගියොත් තිබෙන තත්ත්වයට වඩා මේ ගැන හැඟෙන්නට ඉඩ තිබෙනවා. මෙවැනි හැඟීමක් දැනෙනවා නම් ඇඳුම් පැලදුම් විලාසිතා සහ හැසිරීම ගැන අවධානය යොමු කිරීම අවශ්‍යයි. එවැනි කලබලකාරී පරිසර තිබෙනවා නම් ඒවායින් වෙන් වීම සහ තනිව යන ගමන් බිමන්වලදී තවත් කෙනෙක්ගේ සහය ගැනීමත් ආරක්ෂාව ගැන සිතීමත් වැදගත් වෙනවා. 

පියාගේ මානසිකත්වය ප්‍රශ්නයක්

මම 28 හැවිරිදි විවාහකයෙක්මි. මාගේ පවුලේ අම්මා  තාත්තා සහ බාල සහෝදරයෝ දෙදෙනෙක් සිටිති. සහෝදරයන්ගේ වයස පිළිවෙළින් වයස අවුරුදු 20 සහ 12 කි. පියාගේ මානසිකත්වය හේතුවෙන් මගේ මව ඇතුළු පවුලේ සැම දැඩි පීඩනයක සිටිති. මාගේ පියා පාරම්පරික හෙළ වෙදෙකි. ඔහු තරුණ අවදියේ සිටම  හෙළ වෙදකමේ ඖෂධයක් වන ගංජා දුම්පානයට ඇබ්බැහි  වී සිටී. අරක්කූ පානය කිරීමත් නොකරනවාම නොවෙයි. තාත්තාට අපේ අනාගතය ගැන කිසිම කැක්කුමක් නැතිවා වගේය. එහෙයින් මම මගේ ජීවිතය බිරිඳගේ සහායෙන් තනිව ගොඩනගාගනිමින් සිටිමි. 

තාත්තාගේ හැසිරීම් නිසා මේ වනවිට මගේ බාල සහෝදරයන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩාල වී ඇත. තාත්තා රේඩියෝ ව ඉතා ශබ්දයෙන් දමයි. ඔහු දුරකතන ඇමතුම්වලට ඉතාම උස් හඩින් අමතයි. ඒවා ගෙදර හැම තැනකටම ඇහෙනවා සේම පැය ගණන් කියවයි. මෙය මහත් පීඩාවකි. තාත්තා දීර්ඝ කාලයක් සූදුවට යොමු වී සිටීමෙන් ඉඩම් උකස් තබා දැන් ඒවාට ණය ගෙවමින් සිටී. ඒ හේතුවෙන් සහෝදරයන්ගේ අධ්‍යාපන කටයුතු ඇණ හිට ඇත.නිවෙසේ එදිනෙදා වියදමවත් පියවා ගැනීමට නොහැකි වී ඇත. මගේ මව නිවෙසේ සිටියදී ඔහුගේ ලිංගික අවශ්‍යතාවන් සපුරාගැනීමට වෙනත් ගැහැනියක් අපේ නිවෙසට ගෙන ඒමට අපෙන් විමසයි. මෙය මව ඇතුළු දරුවන්ටත් මහත් හිසරදයකි. ජීවිතේ පිළිබඳ කලකිරීමක් ඇත. පුරා වසර ගණනාවක් මේවා ඉවසා විඳ දරාගෙන සිටියද මේ මොහොත වන විට තත්ත්වය දරුණු වී ඇත. ජීවිත හානියක් වන ලකුණු ද පහළ වී තිබේ. මෙම ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට මට අවවාද අවශ්‍යයි. ලබාදෙන මඟපෙන්වීම අගට කොට සලකමි.

කැළුම් - කොළඹ
උපදෙස:

මෙම පුද්ගලයාගේ පෞරුෂ ආබාධ ලක්ෂණ පෙනෙන්න තිබෙනවා. අනෙක් අයට රිදවන ආකාරයේ හැසීරීම් පෙන්වීම තුළින් ඔහු දැඩිලෙස යම් සංකීර්ණ රෝග කිහිපයක ලක්ෂණ පෙන්නුම් කරනවා. කිසියම් උන්මාද තත්ත්වයක ගති ලක්ෂණ පේන්න තිබේ. මේ තත්ත්වය ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය එකිනෙකට උග්‍ර වීමට හේතු වී තිබෙනවා. බොහෝ අයට දැනෙන්නෙ නැහැ තමන් කිසියම් මානසික අක්‍රමිකතාවකින් පෙළෙනවා කියන එක ගැන. මෙවැනි කෙනෙකුව නිසි ප්‍රතිකාරවලට යොමු කිරීම අවශ්‍යයි. වැඩිහිටියන්ගේ අනුදැනුම ඇතිව මෙම පියා ප්‍රතිකාරවලට යොමු කිරීම වැදගත්. එය ඔහුට කරන උදවුවක් ලෙස තේරුම් ගන්න ඕනෑ. ඔහුගේ ක්‍රියා නිසා පවුලේ අය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටීම හේතුවෙන් සියලුම දෙනා උපදේශනයට යොමු වීමත් මනස සැහැල්ලු කරන අභ්‍යාසවලට යොමු වීමත් අධ්‍යාපන කටයුතු අඩාල කර නොගෙන පවුලේ දියුණුව ළඟා කරගැනීමට වෙහෙසීම වැදගත් වෙනවා. සෑම රජයේ රෝහලකම පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථාන තිබෙනවා. අන්තරායකාරී ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයක් තිබෙනවා. මෙවැනි ආයතනවලින් උපදෙස් ගන්න පුළුවන්. රෝහල්වල මිතුරු පියස සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපදේශකවරුන්ගෙනුත් උපදෙස් ලබා ගැනීමට හැකියි. 

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන