සොබාදහමෙ අපූර්වත්වය ලියා තබන්න මේ මිහිමත ඇති කිසිම භාෂාවක් ප්‍රමාණවත් නෑ. අද සොබාදහම ගැන අපූරු කතාවක් බෙදාගන හිතුණා. මේ දවස්වල ගෙදර මිදුලට නිතර නිතර එන අමුතුත්තෝ කිහිපදෙනෙක් තමා නිමිත්ත.
ඔන්න උදේ අම්මා කාට හරි බනිනවා.
"අමාරුවෙන් හදා ගත්ත මිරිස් පැල දෙක කලා දාලා. මුන් දැන්නම් හරි වදයක් වෙලා තියෙන්නේ."
මම හිමීට කිට්ටු කරලා බැලුවා. කතාව මොණරු ගැන. මාස දෙක තුනක ඉඳලා අපේ පළාතේ මොණරු කිහිප දෙනෙක් කැරකෙනවා. පහුගිය සති දෙක තුනේ අපේ වත්තේ මේ මොණරු හතර දෙනා කැරකි කැරකි හිටියා. එක මොණරයි සෙබඩ තුනයි. කොහොම හරි මේ හතරදෙනා තමයි අම්මගෙ මිරිස් පැලවලට වැඩේ දීලා තියෙන්නේ.
වත්තකට ඇවිල්ලා මොණරෙක් පැලයක් කන එක මේවා කතාවක් ගළපන්න තරම් දෙයක්ද? ඔයාලගෙන් කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඔව්, ඇත්තට එතන නම් පොඩි අවුලක් තියෙනවා තමයි.
ඒත් ඉතින්, අපේ ආතා මුත්තා කාලෙවත් මොණරු කියන්නේ අපේ පළාත්වල ජීවත් වෙච්ච සත්තු ජාතියක් නම් නෙවෙයි. ඇත්තටම මෙයාලා ආගන්තුකයෝ. පහුගිය දවස්වල මොණරු එන්න පටන් ගත්තම අපි හරි ආසාවෙන් බලාගෙන හිටියේ. අපි ඉස්තෝප්පුවට වෙලා හිමීට මෙයාල දිහා බලාගෙන හිටියා. ඒක හරි අපූරු දර්ශනයක්.
මුල් දවස්වල අපිව දැක්කම දුවලා යනවා. දැන්නම් ටිකක් හුරුවෙලා. මිදුල පුරා ඇවිදින්නේ ලස්සන ගමන් ලතාවකට. එකම දවසක් පිල් විදහනවා වගේ ඈතට දැක්කා. අපේ වත්තෙ පොඩ්ඩක් ගහකොළ තියන හින්දා මෙයාලා මේ හරියෙ සැරිසරන්න කැමතියි වගේ. පොළොව හාර හාර පුංචි පණුවෝ කෘමීන් තමා මෙයාලා කන්නේ. කොහොම හරි මේ අතරම තමයි හැදීගෙන ආපු මිරිස් පැලවලටත් මෙයාලා වැඩේ දීලා තියෙන්නේ.
ඉතින් මිරිස් පැල මොණරු කාපු වෙලාවේ තමා මේ අත්දැකීම අකුරු කරන්න ඕන කියන අදහස මට පහළ වුණේ. මම අම්මට කිව්වා උදේ මට සේයාරුවක් ගන්න ඕන ආයේ මොණරු දැක්කොත් කියන්න කියලා. හවස මේ දැන් ටිකකට ඉස්සෙල්ලා තමා අවස්ථාව උදාවුණේ. කොහොම වුණත් මෙයාලගේ ඡායාරෑපයක් ගන්න එක නම් පහසු වුණේ නෑ. දුර ඉඳන් බලන් හිටියට ළඟට ගියපු ගමන් දුවනවා. කොහොමහරි මම එක්කෙනෙක්ගේ සේයාරුවක් ගත්තා. මෙයාලා තාම අපේ වත්තෙ වගේම අල්ලපු වතුවලත් එහෙට මෙහෙට කැරකෙනවා. මම සුපුරුදු විදිහට ස්තුතිය හාන්සි පුටුවට වෙලා ජංගමයාගේ අකුරු ගලපනවා.
මෑතක් වෙනකම්ම මම වගේම අපේ ගම් පළාත්වල අය මොණරු දැකලා තිබ්බේ එක්කෝ සත්තු වත්තෙන්, නැත්නම් කතරගම පැත්තෙ වන්දනාවෙ යනකොට. මොකද මොණරු ජීවත් වෙන්නේ වියළි කලාපය ආශ්‍රිතවනෙ. එහෙනම් කොහොමද මොණරු බස්නාහිර පළාතේ මුහුදුකරයේ අපේ ගම් පළාත්වල සැරිසරන්නේ. පහුගිය කාලේ මේ සතුන්ගේ පැමිණීමත් ලොකු කුතුහලයක් හැමෝටම තිබුණේ. ඒ ගැන කතා දෙක තුනක් ඇහුණා.
ඒ කතාවලට අනුව, මට තේරෙන විදියට නම් මෙයාල ජීවත්වෙලා තියෙන්නේ අලුත්ගම කන්දේ විහාරෙ. මොණරා ඉතින් කියන්නේ කතරගම දෙවියන්ගෙ වාහනේනේ. ඒ නිසාම පන්සල්වල දේවාලවල මොණරු ඇති කරනවා. ආරංචි විදියට මේ එහෙම ඇති කරපු මොණරු වගයක්. පස්සෙං පහු පැනලා ගිහිල්ලා. සමහරු කියනවා බාරෙකට නිදහස් කරන්න අරගෙන ආපූ මොණරු වගයක් කියලාත්.
ඒ කොයි හැටි වෙතත් මෙයාලා මඟ වැරදිලා මේ පළාතට ආපු අය නම් නෙවෙයි. මේ අසරණයෝ, මිනිස් ක්‍රියාකාරකමක් නිසා වාසස්ථාන මාරුවුණු පිරිසක්. මට නිකමට හිතෙනවා අපේ හතර දෙනෙක්ව වෙන්නමම සත්තු ජාතියක්, වෙනම පරිසරය තියන පැත්තකට ගිහිල්ලා අතරමං කරලා දැම්මොත් කොහොමට දැනෙයිද කියලා. එතකොට ඇත්තටම මේ මොණරුන්ට දැනෙන හැඟීම අපිට දැනගන්න පුළුවන් වෙයි නේද?
දැන් හැමෝම බනින්නෙ මොණරුන්ට. ම්..ම්... අපේ අහල පහළ ගොඩක් ගෙවල්වලින් මොණර කරදරත්මේ දවස්වල වාර්තා වෙනවා. වහලවල් උඩ තියෙන සෝලා පැනල්වලට වුණු හානි. රූට තට්ටු දෙකේ ගෙවල්වල සදළුතල නැවාතැන් අරගත්තු මොණරු කරපු හානි. සාගතයෙන් බේරෙන්න පැලයක් දෙකක් වවන්න ගිය අයට වෙච්ච හානි. ඉතින් ඔය වගේ දේවල් සෑහෙන්න තියෙනවා.
අපේ ගෙදර නම් සෝලා පැනල් එකක් නෑ. ඒත් වෙලාවකට දඩිබිඩි ගාලා මොණරු වහලා ඇවිදිනකොට ගේ ඇතුළේ නම් ඉන්න බෑ. මොණරු කියලා කියන්නේ ස්වභාවයෙන්ම පියාඹනවට වඩා ඇවිදින්න ප්‍රිය කරන සත්තු ජාතියක්. ඒ නිසා තමයි මෙයාලා වහලවල් උඩත් ඇවිදින්නේ. මොණරු ආව මුල්ම දවස්වල ගෙදර ඉන්දැද්දී එයාලා වහලේ ඇවිදිනකොට එකපාරට අපි බයවුණා. හිතාගන්න බැරුව ගියා. දැන්නම් ටිකක් වැඩේ අපිට හුරුවෙලා.
ඇත්තටම මේ ලෝකේ ස්වභාදහම ඒ ඒ සත්තුන්ට ගැලපෙන වාසස්ථාන ලබාදීලා තියෙන්නේ. හැබැයි ලෝකය අයිතිකරුවාගේ ජීවත් වෙන අපේ මනුෂ්‍ය වර්ගයා තමා ඒ හැම දෙයක්ම වෙනස් කරන්න උත්සාහ දන්නේ. සමහර තැන්වල සත්තුන්ට අයිති වාසස්ථාන මිනිස්සු අයිති කරගෙන. ඊට පස්සේ ඒ සත්තු ජීවත් වෙන්න විදිහක් නැතුව ගම්වදිනවා. දැන් බලන්න අලි මිනිස් ගැටුම ඒ වගේ දෙයක්.
දැන් අපි අපේ පළාතේ සිද්ධවෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. වියළි කලාපය ජීවත්වෙන ලෝකෙ ලස්සනම සත්තු ජාතියක් වෙන මොණරුන්ගේ වාසස්ථාන අපේ අයගේ මැදිහත්වීම නිසා මාරුවෙලා. විවෘත භූමි තියෙන වියළි කලාපෙ තැනිතලා බිම්වල කැලෑවල තමයි මේ මොණරු ඇවිද ඇවිද නිදහසෙ ජීවත් වෙන්නේ. වෙරළ කරෙන කරේ කොන්ක්‍රීට් වනන්තරේ මේ සත්තුන්ට ඇත්තටම ජීවිතයක් නෑ. හෙට අනිද්දට මේ අසරණයන්ගේ ජීවිත අවදානමට ලක්වෙන්නත් පුළුවන්.
අපිට මොණරු විතරක් වුණාට අල්ලපු ගෙමේ මුවෝ රංචුවකුත් සැරි සරණවාලු. පහුගිය දවස්වල අහන්න ලැබුණේ. කවදා හිටපු මුවෝද? ආරංචි විදිහට මුවෝ රංචුව හැදිලා තියෙන්නේ කන්දෙවිහාරෙන් පැනලා ගියපු අයගෙන් මුවෝ වගයකින්ලු. මම හිතන් ඉන්නේ දවසක ගිහිල්ලා මේ මුවෝ ටික බලන්න. මේ සත්තුන්ගේ මිනිස්සුන්ට සෑහෙන්න හානි සිද්ධවෙනවා කියලා තමයි කියන්නෙ. ළඟදී මට මිත්‍රයෙක් කියපු විදිහට කට්ටියක් මුවෝ දඩයමේ යෙදිලා තියෙනවා.
කතාව බොහොම දුරදිග යනවා. ඔන්න මොණරු කෑගහනවා ඇහෙනවා. ඒක නම් එච්චර මිහිරි සද්දයක් නෙවෙයි. කොච්චර ලස්සන රුවක් තිබුණත් අමිහිරි කටහඬක් තමයි මොණරුන් සොබාදහම කරලා තියෙන්නේ. මේ ගැනත් අපූරු කතාවක් තියෙනනෙ. ආයෙත් දවස් එක මොණරු ගැන කතාවක් අරගෙන එන්න ඕනෑ. හිත ගොඩක් දුර ගියා අදට නවතින්නම්.
නිසල්