2022 අගෝස්තු 07 වන ඉරිදා

අම්මා... කියන්නේ හුස්මක්

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 798

එක මොහොතකට... ඔව් එක මොහොතකට පපුව පිච්චිලා ගියා... එක දවසක රෑ ඇගේ විලාපය මට ඇහෙද්දී ඔව් මගේ පපුව පිච්චිලා ගියා... ඇය බලාගෙන ඉන්දැද්දිම එක ඇසිල්ලකින් ඇගේ පුංචි පැටියව මරාගෙන ඉගිල්ලිලා ගිය වාහනයක් ඇගේ හුස්ම මොහොතකට නතර කරන්න ඇති... ඇගේ ලෝකයම වේදනාවේ අළු දූලි කැරුල්ලකින් සුන්නද්දූලි කරමින් කළඹන්න ඇති... ඇය බැල්ලියක් තමයි.... ඒත් ඇය අම්මා කෙනෙක්... අම්මා කෙනෙක්ගේ ලෙයක් කිරිකරවමින් පියයුරු තුඩගින් වෑස්සෙන කිරි බින්දුවක් බින්දුවක් ගානේ කියන්නේ හදවතේ ගැඹුරටම අක්මුල් සිසාරා විහිදුනු දාරක ස්නේහය ගැන අපිරිමිත අසිරිමත් කතන්දර....

මට කියන්න පුළුවන්ද එහෙම කතන්දර කියන්න...  වෙන කාටවත් අම්මා කෙනෙකුට හැරෙන්නට.... අම්මා කෙනෙක්ගේ ළය ලෙය කිරිකරන අනුහස ගැන කතා කරන ලෝකය සත්ත්ව ලෝකයේ අම්මාවරුන් ලෙය කිරට හරවන අනුහස ගැන කතා කරන්නේම නැති තරම්... එතැන තියෙන්නෙත් මෙතැන තියෙන්නෙත් ආදරයමයි.... දරු සෙනෙහසමයි....

මම මේ කතා කරන්නේ පූදින කළලය දස වද දීලා මරලා දාන්න තරම් අනාදරණීය වන අම්මලා ගැන නොවෙයි. තිඹිරි ගෙයිදීම තමන්ගේ දරු පැටවුන්ගේ බෙල්ල මිරිකලා දාන නැත්නම් උපද්දවලා දරුවන්ව මහමඟට විසි කරලා දාලා අතරමං කරන අම්මාවරු ගැන නොවෙයි. ගන්න හුස්මක් හුස්මක් ගානේ ගැහෙන හද රිද්මයක් රිද්මයක් ගානේ නහර ඇට මස් ලේ මිඳුළු විනිවිද යන ආදරයකින් දරුවන්ව රකින සුරකින වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "අම්මා" වෙච්චි සුවහසක් අම්මාවරු ගැන... තත්ත්පර දෙක තුනක වීඩියෝවකින් මගේ ඇස ගැසුණ ඒ අම්මත් එහෙම අම්මා කෙනෙක්... ප්‍රාණය හිස් අහසට මුදාහැරිය දරුවාගේ සිරුර ළඟ හිඳගෙන ඇය කෑගසන්නේ කියාගන්න බැරි දස දහසක් වචන වේදනාවේ සංධ්වනියක් බවට පරිවර්තනය කරමින්....

ඒ තමයි අම්මා...

බැල්ලියක් වුණත් සොබාදහම ඇගේ සිරුරේ ලෙයත් කිරට හැරෙව්වේ ඇයත් අම්මා කෙනෙක් වෙච්චි හින්දා...

උපන් කුලකය මනුෂ්‍ය වුණත්, තිරිසන් වුණත් ඒ අම්මා... ඔබ දැකලා තියෙනවද පැටවුන් ටික තුරුල්ලට අරගෙන ඉන්න බලු අම්මා කෙනෙක් කවදාවත් කාටවත් අහලකටවත් ළංවෙන්න දෙන්නෙ නෑ.... කුරුලු කූඩුවේ බිත්තර ටික රකින කුරුලු අම්මලා අනේ අනතුරක් කියලා හිතුණොත් කෑගහන කෑගැහිල්ල ඔබට ඇහිලා තියෙනවද? ඒ රුවුම් ගෙරවුම් කඩාපැනීම් කෑගැහිලි හැම එකක් ඇතුළෙම තියෙන්නේ වෙන කුමක්ද? ආදරයම මිසක්...

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැහැනුකම රැඳිච්ච ගැහැනියකට ආදරය කියන්නෙ ඇගේ මුළු ලෝකයම... ඒත් හුඟාක් පිරිමින්ට ආදරය කියන්නේ ජීවිතයේ එක් අංශුමාත්‍රයක්, එක් ඉඩහසරක්, එක් සංසිද්ධියක් හෝ එක අහම්බයක් විතරයි. ආදරය වෙනුවෙන් පිරිමියෙකුට කළ නොහැකි පරිත්‍යාගයක්, කැපකිරීමක්, දන්දීමක් හුඟාක් වෙලාවට ගැහැනියකට කරන්න පුළුවන්. දාරක ස්නේහය මාතෘ හා පීතෘ වශයෙන් තුලාවක ලා මනිනු බැරි වුණත් දරුවෙකු බිහිකරන මොහොතේ මනුෂ්‍ය හෝ තිරිසන් ස්ත්‍රීත්වය විඳින අසමාන විලිරුදාව තුළින් නිෂ්පන්න පුදුමාකාර හෘදය හා ගැටගැහිච්ච දාරක ස්නේහයක් ඇය තුළ උපදින බව මම විශ්වාස කරනවා... එය ස්ත්‍රීත්වය තුළ මිස පුරුෂත්වය තුළ නූපදින, නොවිඳින, නොරුඳෙන ....බව මම විශ්වාස කරනවා. මම දන්නෙ නැහැ ඒ සිතුවිල්ල සාධාරණද අසාධාරණද කියලා... ඒත් අම්මා යන ජීවනය මම දකින්නේ නිරපේක්ෂ විශ්වීය සංකල්පයක් විදිහට...

ඔව්. ඒ හැර ලොව සියල්ල සාපේක්ෂයි... අම්මා කියන චිත්‍රය තියුණු පැන්සල් තුඩකින් අඳින්නට වරම් ලද ළමාවියක් ඔබට තිබුණේ නම්... ඒ ඇඳි සිතුවම් වර්ණ ගන්වන්නට සොඳුරු සුබ වර්ණ ඔබ දැන සිටියා නම්...ලෝකයම සුවපත් කළ නැලවිලි ගීයෙන් ළයට තුරුලු කර උකුල හොවාගෙන ඔබ නලවන්නට ඔබට අම්මා කෙනෙක් සිටියා නම්....

පියයුරු තුඩගින් කිරි බිඳු කළ ගණන් පොවමින් ඔබ ගත නිවන්නට... ඔබ සිත සතපවන්නට ඔබට අම්මා කෙනෙක් සිටියා නම්.... ආදරය, රැකවරණය, උණුසුම මත ඔබ තුරුල් කර ඔබට ලෝකය ගැන කියාදෙන්නට අම්මා ඔබ ළඟින් සිටියා නම්.... මටත් වඩා සිය දහස් ගුණයකින් අම්මා යනු කවුරුන්දැයි දන්නවා ඇති ඔබ...ඒ කිසිවක් නොලද්දත් නොමරා ජීවිතය දුන් හෙයින් අම්මාට සහ අම්මා යන සංකල්පයේ උත්තරීතර වටිනාකම්වලට ආදරය කරන්න ඔබ...
හිස් අහස දිහා බලාගෙන වචන සාගරයක් තරම් විලාපයේ සංධ්වනියකට මුසුකරන මේ බලු අම්මා අම්මාගේ ආදරය ගැන තවත් එක් සංනිදර්ශනයක් පමණයි.. දෑත් තොටිල්ලේ දරුවන් නලවමින් උන් වෙනුවෙන් ජීවිතයේ මහකන්ද තරණය කරන්නට දුක් පිරිපත දෙවුර දරන හැම අම්මා කෙනෙක්ගේම අාදරය කියන්නේ අසිරිමත් කතන්දරයක්... ඒ ආදරයට පුළුවන් ජීවිතය කියන කටුඅත්ත මලින් සරසන්න....

ජීවිතය කියන නිරුදක කතර පිරිත් පැනින් නහවන්න... අයැදුමේ, යාතිකාවේ, යාඥාවේ රිදී ස්වරයෙන් නිවාලන්න... ජීවිතය කියන ක්ෂේම භූමිය අස්වද්දන්න... ජීවිතය කියන ශුෂ්ක බිම්යාය මලින් පුබුදන්න... ජීවන සෙනසුනක් මත ආදරයේත් බලාපොරොත්තුවේත් ජීවනයේත් හුස්ම අම්මා...

ඔව් අම්මා කියන්නේ හුස්මක්...

ඒ හින්දා නෙවෙයිද අහන් ඉන්න බැරිතරම් ප්‍රකම්පනයකින් පළාතක් දෙදුරුම් කවමින් ඒ බලු අම්මා කෑගැහුවේ... ඒ ආදරයේ උල්පතක්.... ඔව් කිසිදා නොසිඳෙන උල්පතක්.....

සංජු