අහස කළු පැහැගෙන අරුණාලෝකය මකාහරින සෙයකි. මොහොතකට පෙර ඇදහැළුණු මද වැස්ස දැන් තුරල් වී ගොස්ය. තවමත් වැහිබිංදු හඬ නැගෙන්නේ තුරුපත් අතර රැඳි දියබිඳු එකිනෙක රූරා වැටෙන හෙයිනි. කළු වලා අතර ඇති සුදු වළාවකින් පෙරා ගෙමිදුල සිපගන්නා සූර්යාලෝකය නැවත සෙවණැලි මවන්නට සමත්විය.
මතක මඟ දිගේ යා හැකි උපරිම දුරක් යනු රිසියෙන් ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක දිගෑදුණු මම මොහොතක් දෑස වසා ගත්තෙමි. එය වූ කලී නටබුන් වූ මතකයකි. දින කිහිපයකට ඉහතදී මුණගැසුණු මිතුරෙකු මේ මතකය හරහා යන්නට නිමිති සැපයුවේය. ඔහු පෙර පාසලේ සිටි මිතුරෙකි. නොඑසේනම් මොන්ටිසෝරි මිත්‍රයෙකි. ඔහු අවදි කළ මතකයේ කවුළුවක් අතරින් මම මතක නටඹුන් නගරයට පිවිසීමි.
පෙර පාසල් මතකයන් ඇත්තවුන්ට ඒ මතක පෙරළා බැලීමට, නිමිති සපයනු රිසියෙන් ඒ මතකය අවදි කර ගතිමි. පළමුව හලවගොඩ පන්සලේ මොන්ටිසෝරියට ඇවිද යන අතරේ මැවෙන දසුනකි. වරක් නොව කිහිපවරක්ම එය මා දුටු නිසාවෙන්ම එම දසුන මතකයේ ශේෂ වී ඇති සෙයකි.
මරදාන පාරෙන් හැරී මොන්ටිසෝරිය පිහිටි කඳු මුදුන බලා යන්නේ මැටි දැමූ මඩවතුර වළවල් ඇති පාරකිනි. ඒ අතරමඟ එක් නිවසක ඉස්තෝප්පුවට වී සිටින සම වයසේ දරුවෙකි. ඔහුට වඩා කිහිප ගුණයක් විශාල පාපැදියක් ඔහු රෙදි කැබැල්ලකින් පිස දමමින් සිටියි. බොහෝ දිනවල මම ඔහු දෙස කුතුහලයෙන් බලමි.
ඔහු කවුරුන්ද? ඒ විසල් පාපැදිය ඔහුගේද? එවන් විසල් පාපැදියක් තනිව පිරිසිදු කරන්නේ ඔහු හොඳ ළමයෙකු නිසාද? සිත තුළ නැගුනේ දහසකුත් ප්‍රශ්නය. මා පෙර පාසලට රුගෙන ගිය කවරෙකු හෝ ඔහු කරමින් සිටිනේ හොඳ වැඩක් බව මට කී බවක් මතකය.
අප පෙර පාසල පිහිටියේ කඳු මුදුනකය. එදවස සියල්ල මහා විසල් ලෙස මතකයට නැගෙන්නේ එකල අප ශරීරයෙන් ඉතා කුඩා වූ හෙයින් විය යුතුය. ඒ පන්සලට පිවිසීමට පඩිපෙළක් තිබුණු බව යාන්තමින් මතකය. පෙර පාසලට පිටුපසින් තවත් උස්බිමක් තිබුණි. ඔන්චිල්ලා දෙක තිබුණේ එතැනය. මාරුවෙන් මාරුවට තල්ලු දමමින් අපි එය පදිමු.
දවසක් හිටි හැටියේම අනෙක් ඔංචිල්ලාවේ සිටි මිතුරෙකු රුකුල් ගත් වේගයෙන් ඉගිලී ගියේය. ඔහු වැටුණේ පෙර පාසල පිහිටි පහත් බිමටයි. ඔහුට සිදු වූ තුවාලයක් පීඩාවක් පිළිබඳ ඉතිරියක් මතකයේ ශේෂ වී නොමැත. එහෙත් ඔහු පෙරදා මට මුණගැසුණු මොන්ටිසෝරි මිත්‍රයා බව යාන්තමින් සිහිවේ.
එකම පාසලට ගියෙන් විටින්විට හමුවූ තැන්වලදී ඔහුද සිය මොන්ටිසෝරි මතකයන් මා හා බෙදාගත් බව කිව යුතුය. මොන්ටිසෝරියේ සිටි කෙළිකාරයන් අතරේ ඔහු අග තනතුරු ලද බව සැමවිටම කිවයුතුය. වරක් ඔහු ඩෙස් උඩින් දුවගොස් වැටී නළල ලොවි ගෙඩියක් තරම් ඉදිමුණු සැටිත්, සිඟිති මිස් ඔහු දැක කලබල වූ සැටිත් එක් මතක දසුනක රූපරචනා වී තිබේ. සිඟිති සහ ප්‍රියංකා නමින් හැඳින්වුණු ගුරුවරියන් දෙදෙනෙකු අපට ඉගැන්වූ බව වරින්වර මාපියන් සිහිපත් කරන බැවින් මතකයේ රැඳී තිබේ. එක් ගුරුවරියක් තරමක් සැර වූ බවත් අනෙක් ගුරුවරිය සැර නොවූ බවත් හොඳහැටි මතකය. පසුකලක එම ගුරුවරියන් දෙදෙනා අතරින් කෙනෙකු මට බස් නැවතුමකදී හමු වූ බවද සිහිවේ.
වරක් මොන්ටිසෝරියේ විවිධ ප්‍රසංගයකදී කලගෙඩි නැටුමට මා තෝරගෙන තිබුණි. නැටුම නැටූ සැටියක්වත්, ප්‍රසංගයේ සිදුවූ දෑ පිළිබඳවත් පැහැදිලි මතකයක් මට නොවේ. එහෙත් ගැහැනු ළමුන්ගේ එම නැටුම නටන්නට වීම පිළිබඳව මට එදා උපන් ලැජ්ජාව පිළිබඳ හැඟීම් මාත්‍රයක් මතකයේ ශේෂව ඇත. මෙම ප්‍රසංගගේ පිළිගැනීමේ කතාව මවිසින්ම සිදුකළ බවක් පසුව දැනගත්තේ ඇල්බමයක ඇති කුඩාකල සේයාරුවක් නිසාවෙනි.
මොන්ටිසෝරියේ ඉගෙනගත් අයුරු සහ සිදුකළ ක්‍රියාකාරකමක් පිළිබඳ මතකය අවදි කිරීමට වෙහෙස දැරුවෙමි. බණ්ඩක්කා කැබැලි කුකුල් සායම්වල පොඟවා චිත්‍ර පොතක මැවූ රටාවක් සිහියට නැගෙයි. සීයා විසින් පාට කළ පොල් කුඩුවලින් රූප ඇලවූ සැටිද සිහිවෙයි. කෙසේ නමුත් මොන්ටිසෝරියේදී කළ කී දෑ පිළිබඳ නිරවුල් මතකයක් සොයා ගැනීම පහසු නැත.
එක්වරම අපූරු මතකයක් මනසේ කොනක සිට සිනහසෙමින් අතවනයි. ඒ මොන්ටිසෝරිය අවසන් වන කනිසමයි. සියල්ලෝම නැගිට යම් ගාථාවක් හෝ කවියක් කියා නික්ම යා යුතුව තිබේ. පිරිස ගයයි. අප අතර සිටින එක් දඩබ්බරයෙක් කන් බිහිරි වන තරමේ හඬකින් කෑගසයි.
අපට ගාථාව කීම පහසු නැත. ටීචර් ඔහු කරා පැමිණෙයි. කෝටුවක් පෙන්නා තර්ජනය කරයි. නමුත් ඔහු යළිත් උස්හඬින් කෑ මොර දෙයි. ඔහුට එය විනෝදයකි. ටීචර් කෝටුවෙන් ඔහුට පහරක් දුන්නේය. මට එවිට දැනුණ හැඟීමේ ගැබ්ව තිබුණේ සතුටකි. අනතුරුව භාවනා කරන විටද ඔහු පෙර සේ කෑගැසුවේය. ටීචර් නැවතත් ඔහුට තරවටු කළේය. මම හොරෙන් දෑස් හැර ඒ දෙස බලා සිටියෙමි.
පෙර පාසල් නිම වනවිට මාපියන් අප රුගෙන යාමට පැමිණ සිටී. අම්මා මා කැටුව පඩිපෙලෙන් පහළට බසිමින් සිටියි. ''චමිඳු වා....වා...'' උස් හඬින් කඳු මුදුනේ වැටකට හේතු වී කවුරුන් හෝ කෑගසයි. මා ඒ දෙස බැලූවිට එහි සිටින්නේ "මොන්ටිසෝරි මිත්‍රයාය" ඔහු අත වනයි. මමද ඔහුට "ඉෂානයා..." යනුවෙන් කියමින් අත වනයි. අම්මා එවිට යමක් කීවේය. "කිසිම යාළුවෙකුට චමිඳුවා.... ඉෂානයා... කියලා කතා කරන්න හොඳ නැහැ. නම විතරක් කියලා කතාකරන්න."
එහෙත් අදද හෙටද ඔහු තවමත් මුණගැසුණු විට "වා" ප්‍රත්‍ය අගට දමා මා ආමන්ත්‍රණය කරයි. ඒ හැමවිටකම මට අපගේ අතීතයේ අක්මුල් සිහිවෙයි. මොන්ටිසෝරියෙන් පසුව දහම් පාසලේ මුල් වසර කීපයේද, අපොස සා.පෙළ පන්තිවලදීද අප එකට ඉගෙන ගතිමු. උසස් පෙළදී විෂය ධාරාවලින් වෙන් වී ගිය නමුදු එම වෙන්ව යාම ජීවිතේ දිශානතීන් දෙකක අප තබා ඇත.
ඉදින්, මගේ මොන්ටිසෝරි මිත්‍රයා දැන් කොණ්ඩය රැවුල් වවා සංචාරක කර්මාන්තයේ නියුතු වන්නෙකි. ඔහුට ඇත්තේ අපූරු හැඩයකි. එක ගමේ සිටියද අප හමුවන්නේ විටින් විටය. එනමුදු ඔහුගේ ස්වරය එදා මෙන්ම ළබැඳිය. එසේම ඔහු එදා මෙන් දඩබ්බරය. එසේම සියලු ගතිපැවතුම් තමත් අව්‍යාජය. ඇත්තෙන්ම ඔහු හදවතේ එකෙකි. මොන්ටිසෝරි මතක අතරට මා අද පිවිසියේ ඔහුගෙන් ලද අනුග්‍රහයෙන් යයි කීම සාධාරණය. අවසානයේ ඔබගෙන්ද යමක් ඉල්ලා සිටිමි. කාලය තරණය කරන්නෙකු වනු රිසියෙන් ඉඩක් ලද ඇසිල්ලක පෙර පාසල් මතකයට පිවිසෙනු මැනවි. "මොන්ටිසෝරි මිත්‍රයකු" ඔබටද හමුවෙනු ඇත.
නිසල්