2022 අගෝස්තු 14 වන ඉරිදා

විනෝදයයි අනතුරයි එක පොකුරට

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 214


ඉඳලා හිටලා ලංකාවේ මහ පාරක සුදාලා දැකලා ඇති රෝද සපත්තු දාගෙන එහෙට මෙහෙට කැරකෙන ඩයල්. සමහරක් විට කාලයක් සුදාලටත් රෝද සපත්තු පිස්සුව තිබිලා ඇති. ඉතින් අද අපි කතා කරන්න හිතුවේ රෝද සපත්තු සීන් කෝන් එක ගැන. මේක කාලයක් තිස්සේ ලෝකය පුරාම තියෙන පට්ට Y Trend එක ගැන. 

මචෝ මේක විලාසිතාවක්. තවත් පැත්තකින් ක්‍රීඩාවක්. ඒ වගේම ප්‍රසිද්ධ කලාවක්. දැනගෙන හිටියද ඒ ගැන? ඒ නිසාම රෝද සපත්තු දාගෙන එහෙට මෙහෙට කැරකෙනවට වඩා දෙයක් මේක ඇතුළේ තියෙනව වස්තු.

රෝද සහිත සපත්තු දාගෙන ලෝකෙ පුරා මිනිස්සු කරන කියන ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම මේ සීන් කෝන් එකට හොඳ ඉතිහාසයකුත් තියෙනවා. ළමා කාලයේ පිස්සුවක් වුණු තාමත් ලෝකය පුරා පට්ට Trend එකක් වෙලා තියෙන  රෝද සපත්තු සීන් එක ගැන අපි චැටක් දාන්න හිතුවේ ඒ නිසයි. එහෙනම් ඉඩපාඩු තියෙන තැන්වලින් වාඩිවෙලා Story යට Set වෙමු.

ක්‍රීඩාවක් විදිහට ගත්තම, අපේ රටෙත් රෝද සපත්තු තරගාවලි පැවැත්වෙනවා. මේ ක්‍රීඩාව සම්බන්ධ ක්‍රීඩා සමාජ පවා තියෙනවා. ඒත් ගොඩක් දෙනෙක් ඒ ගැන නම් එච්චර දන්නේ නෑ. කොහොම වුණත් රෝද සපත්තු සම්බන්ධව අපේ ලැදියාව රූපවාහිනි, චිත්‍රපට වගේ මාධ්‍යවලින් තමා ඇතිවුණේ.

මීට දශක දෙකකට විතර උඩදී ඇමෙරිකාවේ යුරෝපයේ වගේ තරුණ තරුණියෝ, ළමයි රෝද සපත්තු දාගෙන දාන වැඩ කිඩ අපි රූපවාහිනියෙන් චිත්‍රපටවලින් දැක්කා. මචෝ අපි කාගෙත් හිත් තුළ මේ ගැන ආසාවක් ඇතිවුණේ එහෙම තමා. කොහොමත් මේ සීන් එක පොඩ්ඩක් ලංකාවේ "පොෂ් සෙටාර්" එකේ ආතල් එකක්.

රෝද සපත්තු පැදිල්ල, එහෙමත් නැත්නම් Roller skating ගැන තවදුරටත් පැහැදිලි කළොත් වටිනවා. එතකොට තමා සුදාලාට මේකෙ බරපතළකම තේරෙන්නේ. Skating ගැන ඇත්තටම නොදන්න කෙනෙක් නෑ. ලිස්සා යාමේ ක්‍රීඩා සෑහෙන්න ප්‍රමාණයක් ලෝකෙ පුරා තියෙනවනේ. 

අපි කවුරුත් දන්න රෝද භාවිත කරන "ස්කේටින් බෝඩ්" වගේ දේවල්. ඒ වගේම හිම මත ලිස්සා යාම වගේ දේවල්. මේ Skating සීන් එකේ කොටසක් තමයි. ඉතින් මචෝ රෝද සපත්තු කියන සීන් එක අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි. ලොකු පරාසයක පැතිරුණු සීන් කෝන් එකක්. මේක වටේ ක්‍රීඩා ගොඩක් තියෙනවා. Speed skating, roller hockey, roller derby, figure skating කියන්නේ ඒවායින් කිහිපයක් විතරයි.

මේ සීන් එක ගැන ඉතිහාස කතාව ලාවට හරි ගලපන්නම ඕනෑ. නැත්නම් සුදෝ මේ වැඩේ කිසි ලල් එකක් නෑ. මිනිස්සු පළවෙනි වතාවට කකුල් දෙකට රෝද හයි කරගෙන ගමන් යන්න හිතුවේ කවදද?  ඒක නම් හරියට කියන්න බෑ. මොකද රෝදය සොයාගත්ත දවසෙ ඉඳන්ම මිනිස්සු රෝද එක්ක එක එක අපූරු වැඩ කරන්න උත්සාහ කළානේ මචෝ.

කොහොම හරි රෝද සපත්තු දාගෙන ලන්ඩන් ප්‍රසංගයක කෙනෙක් රඟ දැක්වූවාය කියලා ක්‍රිස්තු වර්ෂ 1743 දී වාර්තාවක් තියෙනවා. ඒත් ක්‍රි.ව. 1760 දී John Joseph Merlin කියන චරිතය තමා මේක හොයාගත්තා කියලා වාර්තා වෙන්නේ.

එහෙම බැලුවම කලාවක් විදිහට ගත්තම "Roller Skating" 18 වැනි සියවසේදී ආරම්භ වෙන්නේ.  1880 ගණන්වල සීන් එක පට්ට විදිහට ජනප්‍රිය වෙලා තියෙනවා. මේ කාලයේ ජනප්‍රිය මුද්‍රා නාට්‍යවලටත් රෝද සපත්තු භාවිත කරපු කතාවක් අපි දැක්කා මචෝ. ඒ කාලේ හැටියට ඒ සීන් එක නම් එහෙමපිටින්ම පිස්සුවක් වෙන්න ඇති. හැබැයි තාමත් ඒ වගේ වැඩ වෙනවා.

තවත් වාර්තාවල දකින්න ලැබෙන විදිහට Roller skating සීන් එක 1930 ඉඳන් 1950 දක්වා එක්සත් ජනපදයේ ඉතාම ජනප්‍රිය විනෝදාංශයක් වෙලා තියෙනවා මචෝ. ඒ වගේම 1970 ගණන්වලදී ඩිස්කෝ සංගීතය හරහා රෝලර් ඩිස්කෝ සීන් එක පටන් අරගෙන. ඔය කාලේ සමහරක් හොලිවුඩ් චිත්‍රපටවල එහෙම සුදාලා ඔය "රෝලර් ඩිස්කෝ" සීන් එක දැකලත් ඇති.

කොහොම හරි 1990 ගණන්වලදී තමා එළිමහන් "රෝලර් ස්කේටිං" ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒ ජනප්‍රිය රැල්ල තමයි  අසූ ගණන්වල අනූ ගණන්වල ඉපදුණු අපේ රටේ පරම්පරාවටත් දැනුණේ. ඒ කාලේ තමන්ගේ කවුරු හරි නෑදෑයෙක් රට ඉන්නවනම් ගොඩක් නව යෞවනයන්ගේ ඉල්ලීම වුණේ රෝද සපත්තු දෙකක් ගෙනත් දෙන්න කියන එක.

ගොඩක් වෙලාවට සංචාරක කර්මාන්තය තිබුණු වෙරළ තීරය ආසන්න ප්‍රදේශවල මේ පිස්සුව තදටම තිබුණා. සමහරුන්ට සංචාරකයන්ගෙන් රෝද සපත්තු ලැබුණා. රෝද සපත්තු දෙකක් දාගෙන පාරේ පදින එක ලොකු ආඩම්බරකාර සීන් එකක් වෙලා තිබුණේ ඒ කාලේ. කට්ටිය හුවමාරු කරගෙනත් රෝද සපත්තු පැද්දා මතකයි මචෝ.

කොහොම වුණත් අද වෙද්දි මේක ලෝකෙ දැවැන්තම ක්‍රීඩාවක් බවට පත්වෙලා ඉවරයි. ඇත්තටම මචෝ ඔලිම්පික්වලත් දැන් Roller Skating Sports ඇතුළත් වෙනවා. Sport එකක් විදියට ගත්තම නම් ලංකාවේ සීන් එකත් දැන් නැගලා යනවා. ආසියානු තරගාවලි පවා නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අපේ රටේ දැන් ඉන්නවා. ජාතික තරගාවලියක් අවුරුද්දකට වතාවක් අනිවාර් යෙන් පැවැත්වෙනවා. කොහොම වුණත් මේ වගේ ක්‍රීඩාවකට ගැලපෙන යටිතල පහසුකම් නම් අපේ වගේ රටවල නෑ මචෝ. එහෙම තියෙද්දිත් මේ සෙටාර් එක දරන උත්සාහය අගය කරන්න ඕන.

ඇමෙරිකා එක්සත් ජනපදයෙ නම් ගොඩක් උද්‍යානවල මේ ක්‍රීඩාව වෙනුවෙන් පහසුකම් සපයලා තියෙනවා. මංතීරු පවා තියෙනවා. හෝ හෝ මංතීරු ගැන කිව්වාම ඩාම් ඩූම් වෙන්න එපා පැංචෝ. ඒ දියුණු රටවල හැටි. ඒ රටවල මාර්ග නීති අනුගමනය කරමින් ප්‍රධාන මාර්ගවල Roller Skating සිද්ධ වෙනවා. පිටරටවල අත්දැකීම් තියෙන අය කියන විදිහට ඒ රටවල්වල Roller Skating කරන අය උදේට හවසට colour light වල නතරවෙලා ඉන්නවා දැකගන්න පුළුවන්ලු.

ඇත්තටම මේ සීන් එක කලාවක්, ක්‍රීඩාවක්, විලාසිතාවක් වගේම ප්‍රවාහන මාධ්‍යකුත් වෙනවා. අනිත් එක මේ සීන් එක වටා වෙනම culture එකක් නිර්මාණය වෙලා තියෙනවා. සීන් එකේදි වෙන වෙන ආතල්, තග සීන් එහෙමත් තියෙනවා.මෙක්සිකෝව, බ්‍රසීලය වගේ රටවල්වල. අනික් පැත්තෙන් මේක බොහොම අනතුරුදායක ක්‍රීඩාවක් කියන එකත් මතක් කරන්න ඕන. ගොඩක් පොඩි දරුවෝ මේකට ආසා වුණත් විශාල අනතුරු ප්‍රමාණයක් අවුරුද්දකට රෝද සපත්තු නිසා වාර්තා වෙනවා. පිටරට සෞඛ්‍ය වෙබ්අඩවිවල විශාල අනතුරු ඇඟවීම් ප්‍රමාණයක් දකින්න ලැබෙන්නේ ඒ නිසා මචෝ.

රෝද සපත්තු ගැන අහලා තිබුණට, රෝද සපත්තු දැකලා තිබුණට අපේ පැංචෝ පැංචියෝ මේ තොරතුරු දැනගත්තේ අද තමා. ඇත්තටම Roller Skating ගැන තව ගොඩක් විස්තර තියෙනවා. ඒත් මචෝ අද එච්චර වෙලාව නෑ. වැඩි විස්තර සුදාලාට ගූගල් දෙයියන්ගෙන් අහලා දැනගන්න කියලා අපි අදට කැපෙනවා. ලබන සතියෙ ආයෙ හමුවෙමු. අලුත් Y Trend එකක් අරගෙන එන්නම්. ටටා බායි සුදෝ.

නිසල්