• දීග යැවූ දියණිය වැරදි වැඩක
මම 25 සහ 28 වයස්වල දියණියන් දෙදෙනකුගේ පියෙකි. වැඩිමල් දියණිය විවාහක එක්දරු මවකි. බාල දියණිය තවම උසස් අධ්‍යාපනය ලබන්නීය. මේ වනවිට සැඳෑ සමය ගත කරමින් සිටින මමත් බිරිඳත් ලොකු දියණියගේ බර හෑල්ලුවීමෙන් යම් සැහැල්ලුවකින් පසුවෙති. බාල දියණිය ලබන වසරේ විවාහයට යෝජනා කර ඇත. වැඩිමල් දියණිය විවාහ කර දුන්නද මටත් බිරිඳටත් මානසික නිදහස අහිමි වී ඇත. අපි දෙදෙනාම නිතරම කල්පනාවෙන් පසුවෙති. ඒ මන්දයත් වැඩිමල් දියණිය පිළිබඳ කාලයකට පෙර විශ්වසනීය ආරංචි මාර්ගයකින් ලැබුණු යම් ආරංචියක් නිසාය. වැඩිමල් දියණියගේ සැමියා ව්‍යාපාරිකයකු වන අතර ඔහු මත්ද්‍රව්‍යයක් භාවිත කිරීමට පුරුදු වී ඇති බවයි. සැමියාගේ පෙළඹවීම මත දියණියත් දැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නට පුරුදු වී ඉන්නවා. මේ ආරංචිය කනවැකුණු විගස මේ සම්බන්ධයෙන් මම දියණියගෙන් විමසුවද දියණිය පවසනුයේ මේ කතාව බොරුවක් බවයි. දියණියගේ හැසිරීමත් වෙනස්ය. එහෙත් ප්‍රදේශවාසීන්ගේ අදහස වෙනස්ය. මේ සම්බන්ධයෙන් සැමගෙන් විමසීමද කළ නොහැකිය. එහෙයින් මමත් බිරිඳත් උභතෝකෝටික ගැටලුවකට මැදිවී කල් ගෙවති. බිරිඳ නිතරම මෙය මතක් කර කර හඬා වැළපෙන අතර මමත් අඬන්න බැරිකමට දුක තද කරගෙන සිටී. අපට මෙවැනි තත්ත්වයක් උදාවීම සම්බන්ධයෙන් අපි බොහෝ කනගාටු වෙමු. දරුවන් මෙයින් මුදවා ගැනීමට සහ අපි විඳින මානසික තත්ත්වයට සහනයක් පතා මෙම ප්‍රශ්නය යොමුකරමි. උපදෙසක් අපේක්ෂා කරමි.
ජයතිලක - පොළොන්නරුව
උපදෙස:
ඔබ යොමුකර ඇති ප්‍රශ්නය වර්තමාන සමාජය තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධව පවතින ඉතා සංකීර්ණ කාරණාවකි. තවමත් ලංකාවේ කාන්තා ජනගහනයෙන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු වී ඇති ප්‍රතිශතය සියයට 2ක් පමණ වේ. මෙරට පවතින සංස්කෘතිකමය රාමුව තුළ තවමත් කාන්තාවන් මෙවැනි දේ සඳහා යොමුවීම අවම මට්ටමක පැවතියද වර්තමානය වනවිට මේ තත්ත්වය වෙනස් වෙමින් කාන්තාවන්ද මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතී. ඔබ විසින් පළමුවෙන්ම කළයුතු වන්නේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා කුමන වර්ගයක මත්ද්‍රව්‍යක් භාවිත කරන්නේද යන්න සොයාගැනීමයි. ඔවුන් ඉන් මුදාගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කළ යුත්තේ ඉන් අනතුරුවයි. මද්‍යසාර භාවිතා කරන්නේ නම් ළඟම පිහිටි රජයේ රෝහලේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සඳහා වන සායනය වෙත ගොස් සායනික ප්‍රතිකාර හා අවශ්‍ය උපදෙස් ලබාගත යුතු අතර වෙනත් විෂ මත්ද්‍රව්‍යක් භාවිත කරන්නේ නම් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය උපදේශනය, ප්‍රතිකාරය හා පුනරුත්තාපන සඳහා වන 1927 හදිසි දුරකථන සේවාව අමතා ගැටලුව ඉදිරිපත් කරන්න. එහිදී ඔබට ඔබ ජීවත්වන ප්‍රදේශයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බාහිර සේවා නිලධාරී මහතාගේ හෝ මහත්මියගේ සේවාව ලබාගත හැකි අතර ඔබගේ ගැටලුවට අදාළ සාර්ථක විසඳුමක් ඒ හරහා ලබාගත හැකි වනු ඇත.
• මට මේ පුරුද්ද නවතාගන්න ඕනෑ
මා මේ වනවිට ත්‍රිරෝද රියැදුරකු ලෙස කටයුතු කරන 32 හැවිරිදි අයෙකි. මම බොහෝ කාලයක පටත් යම් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී සිටිමි. මෙය මා පසුපස හඹා එන අතර එය මට නවතාගැනීමට අවශ්‍ය වුවත් එය අසීරු කාර්යයක් වී ඇත. එහෙත් මට මේ වැරැදි වැඩෙන් අත්මිදීමට අවශ්‍යය. මෙයින් මිදීමට මා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් උපදෙසක් ලබාදෙන මෙන් ඉල්ලමි.
මනෝජ් - කුරුණෑගල
උපදෙස:
ඔබ බොහෝ කාලයක සිට මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වූ අයකු බව ඔබගේ ගැටලුව පරීක්ෂා කිරීමේදී පැහැදිලි වෙයි. ඔබගේ වයස සමඟ සලකා බලනවිට මේ වනවිට එකී මත්ද්‍රව්‍ය සඳහා වසර ගණනාවක සිට ඇබ්බැහි වී ඇති බවක් පෙනී යයි. මත්ද්‍රව්‍ය ඇබ්බැහියකදී අදාළ පුද්ගලයා ඉන් මිදීම සඳහා සායනිත ප්‍රතිකාර හෝ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුවිය යුතු වෙයි. ඔබ තුළ මත්ද්‍රව්‍යයෙන් මිදීම සඳහා පවතින කැමැත්ත හා උනන්දුව ඉතා වැදගත් වන අතර ඔබ පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිටින අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උපදේශන නිලධාරීතුමිය හමුවීමෙන් මේ සඳහා අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් ලබාගත හැකි වේ.
• සල්ලාල පෙම්වතාගේ වරදින් ජීවිතය වැරදුණා
මම 28 හැවිරිදි තරුණියක් වෙමි. මේ වනවිට පෞද්ගලික රැකියාවක නිරත වන්නීය. මා විවාහ අපේක්ෂාවෙන් පසුවන අතර විවාහ අපේක්ෂාවෙන් පසුවන පෙම්වතා පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් දිගින් දිගටම මතු වී ඇත. මා ඔහු විශ්වාස කර ආදරයෙන් බැඳුණද ඔහුගේ චර්යා සහ පුරුදු හඳුනා ගැනීමට මම මුලදී අපොහොසත් වූවාය. පෙම්වතා දිනපතා මත්පැන් පානයට ඇබ්බැහි වී සිටී. ඔහු රැකියාවක් කරන අතර රැකියාව නිමකර රාත්‍රියට අමතර ආදායමක් උපයා ගැනීමට ඔහුගේ කාර් රථයෙන් හයර් දුවයි. ඔහුගේ මත්පැන් පානයේ අසීමිතකම නිසාම මාරක අනතුරු දෙකකින් අනූනවයෙන් බේරී ඇති අතර මේ සම්බන්ධයෙන් මෙම වැරදි පුරුද්ද නවතන ලෙස මම ඔහුට කෙතරම් බල කළත් එය ඔහු නවතන අදහසක් නැති බව මට හැඟේ. මෙය මට ප්‍රශ්නයකි. විවාහ වීමට ආසන්න කාලයක් ඇති නිසා අපගේ සම්බන්ධය පිළිබඳ බොහෝ දෙනා දනිති. එහෙයින් මම බොහෝ අපහසුතාවට ලක් වී සිටිමි. මෙය මට මානසික දැඩි පීඩාවකි. මෙයින් අත්මිදෙන්නේ කෙසේද? පෙම්වතා නිසි මාර්ගයට ගන්නේ කොහොමද?
හසිනි - වත්තල
උපදෙස:
වර්තමානයේ බොහෝ තරුණියන් මුහුණදෙන පොදු ගැටලුවක් ලෙස මම ඔබගේ ප්‍රශ්නය දකිමි. තම පෙම්වතාගේ බීමත්කම හෝ වෙනත් විෂ මත්ද්‍රව්‍යක් භාවිතයට යොමු වීම හේතුවෙන් බොහොමයක් පෙම්වතියන් හෝ විවාහාපේක්ෂිත තරුණියෝ දැඩි මානසික පීඩනයකට ගොදුරු වෙති. තම පෙම්වතා මෙම හේතුව නිසා අතහැරීමට නොහැකි වීම හා එසේත් නැතිනම් ඔවුන් මෙම ඇබ්බැහියන්ගෙන් මුදවා ගන්නේ කෙසේද යන අන්ත දෙකෙහි හිර වීමෙන් ගැටලු රුසකට මුහුණ දෙති. ඔබගේද ගැටලුව එවැන්නකි. වර්තමාන මෙරට මද්‍යසාර භාවිතය හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වන අතර ඒ හා සමානව විවිධ රෝගාබාධවලට ඔවුහු ගොදුරු වෙති. එසේම ලංකාවේ සිදුවන රිය අනතුරුවලට වැඩි වශයෙන්ම හේතු වන්නේද බීමත්කමයි. සාර්ථක පවුල් දිවියක් සඳහා ඔබ විවාහ වීමට පෙර අනිවාර්යයෙන්ම පෙම්වතා මෙම ඇබ්බැහියෙන් මුදවා ගැනීම කළ යුතුය. මද්‍යසාර භාවිත කරන්නන් ඉන් මුදවා ගැනීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු නොවන අතර ළගම පිහිටි රෝහලේ සායනය වෙත යොමු වීම හෝ එසේ නැතහොත් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහාය ලබාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් හා මනෝ උපදේශන නිලධාරියෙකුගේ සහාය ලබා ගැනීම මගින් මෙම ගැටලුවෙන් මිදීමට හැකියාව ලැබෙනු ඇත.
ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්.
ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com
සංස්කාරක,
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.
(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.
I සසංක චලන ගිම්හාන