හිත ඉගිල්ලිලා ගිහින් තවමත් නවතින තැනක් තියෙනවා... ඒ මම අකුරු හොයාගෙන ගිය මහනුවර කන්‍යාරාමය... පල්ලියට කෝවිලට දෙවියන්ගෙන් කිසිම දෙයක් ඉල්ලගෙන මම කවදාවත් ගියේ නැහැ... මට මා මඟ නොහැරෙන තාක් ඇයි මට දෙවියන්... මා වෙනුවෙන් මගේ හෘද සාක්ෂිය වගවෙන තාක් ඇයි මට දෙවියන්... මා... මා විශ්වාස කරන තාක් ඇයි විශ්වාසය වෙනුවෙන් මට දෙවියන්... මම හිතුවෙත් හිතන්නේත් එහෙම... ඇත්තටම පල්ලියේ ඇසෙන යාඥාවේත්, කෝවිලේ ඇසෙන කවිල් හඬේත් සංධ්වනියට නෙවෙයි මම ආදරය කළේ... පල්ලිවල කෝවිල්වල උස බිත්ති පුරා ඉහිරිච්ච ළා කළුවරේ කැටිවෙච්ච නිහඬ ගුප්ත සෞන්දර්යටයි මම ආදරය කළේ... හුදෙකලාව ඒ සෞන්දර්යාත්මක වින්දනය මට ආස්වාදයක්... ජීවිතය ස්නේහයෙන් නවතින එහෙම තැන්වලදී ආදරණීය මිනිස්සුත් මුණගැසෙනවනම්... එහෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය වූ සසරක් ලෙසින් හැඟෙන එවන් ආදරණීය බැඳීම්වලින් අපි හුඟාක් අයගේ ජීවිත හිස්... හිත ආදරයෙන් නැවතුණු හුඟාක් තැන් ආදරණීය මිනිස්සුන්ගෙන් හිස්වෙලා තිබුණා... ලෙයින් ලියවුණු ඉසියුම් රිදී රේඛාවක් වගේ දිලිසෙන ආදරයක් හදවතේ අල්තාරය මත ජීවන යාඥාව උදෙසා රැඳෙන්න නම් සංසාරයේ සාරාර්ථ පිණිස මහා පිනක් කළ යුතු වග මම විශ්වාස කරනවා... එවන් පිනකින් හමුවී පහන් තාරුකාවක් සේ ජීවිතයට මඟ කියන ආදරණීය මිනිසුන් ඔබගේ ජීවිතයේ ඔබට හමුවී තියෙනවාද? ආදරය ඉවසිලිවන්තව දරාගන්න හැකි හදවත් හිමි මිනිසුන් ඔබට හමුවී තියෙනවාද? ආදරය යනු යම් තැනකදී රාගයෙන් වියුක්ත සංකල්පයක්. රාගය යනු ආදරය කියන ලස්සන මලට අයත් එක් රේණුවක් පමණක් බව වටහාගත් ආදරය, ආදරය ලෙසින් දැන හඳුනාගත්, රාගයේ රතු පාට රේන්දයෙන් ආදරයේ ශ්වේත පැහැ සේලය සිත්තම් නොකළ ආදරණීය මිනිසුන් අපිට ජීවිතයේ සමහර තැන්වලදී කලාතුරකින් නමුත් හමුවෙනවා... ඒ මතකයක් වුණත් මලක් වගේ සුවඳයි... නිය තුඩකින්වත් නොඅල්ලමින් සාගරයක් සේ ආදරය දනවන මිනිස්සු ජීවිතයේදී හමු වී ඇත්නම් මම විශ්වාස කරන එකම දෙවියන් වහන්සේ වන සොබාදහම කියන දෙවියන් දුන් තෑගි තමයි ඒ... ඇත්තටම ස්පර්ශයක්වත් නොලැබ සහ නොඉල්ලමින් ආදරයට ආදරය කරන මිනිස්සු ජීවිතයේ සමහර තැන්වලදී අපට මුණගැසෙනවා...
එහෙම ආදරයක් එක්ක ජීවිතය යන ගමන සඳ එළිය වැටී අඳුර උදුරාගත් මාවතක් ඔස්සේ යන වන්දනා ගමනක්... ජීවිතයේ සමහර දවස් සමීපයට... හිතින් ඇවිදිමින් මේ සිතුවිලි ළඟ මම නතර වුණේ හිතට දැනුණු ගීතයක් විඳිමින් උන් හුදෙකලාවක...
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණෙනි ඔබ සුරකිම් බැතින්
ඒ ගීතයේ පද මාව හුඟාක් දුරකට අරගෙන ගියා... ආදරය කියන්නෙ එක්තරා සමීකරණයක්. ඔව් ආදරය කියන්නෙ සංසාර සමීකරණයක්. ඒ සමීකරණය තුළ රාගයෙන් වියුක්තව වුවත් ආදරය පවතින්න පුළුවන්...
ඇත්තටම රාගය කියන්නෙ ආදරයේ එක් සාධකයක් පමණයි... රාගයේ බර, රාගයේ කළු පාට ආදරය කියන සමස්ත සංකල්පයේ නැහැ... එය එසේ වූවානම් රාගයේ උල්පත් සිඳී ගිය වියපත් වියකදී ආදරයත් එනයින් සිඳී යා යුතුයි... එහෙත් සැබෑ ආදරය කියන්නෙ කාලයත් සමඟ පරිණතභාවයට පත්වෙන මනෝභාවයක් මිස කාලයත් සමඟ පෙති හැලී සිඳී යන පුෂ්පයක් නෙවෙයි... සැබෑ ආදරය සැහැල්ලුයි... ඉවසිලිවන්තයි... ඊර්ෂ්‍යාවෙන් වියුක්තයි... ඒ ආදරය වද වෙන්නෙ අයිතිය ගැන නෙවෙයි... ඒ ආදරය වද වෙන්නෙ අනෙකාගේ සතුට වෙනුවෙන්... අනෙකාට හදවතින්ම පිරිනැමිය යුතු ගෞරවය වෙනුවෙන්...
ආදරය කියන්නෙ නොඉල්ලමින් කිසිවක්ම පූරණය කරන බෝධිසත්ත්ව පාරමිතාවක්. එසේනම් වෛරය, පලිගැනීම, ඝාතනය ආදරයක් අස රුඳෙන්න අවකාශයක් රැඳෙන්නෙ කොහොමද?
පසුගිය දවසක මුහුණු පොතේ සටහන්ව තිබුණු එක් ඛේදවාචකයකින් කියවුණේ අවුරුදු 4 ක් ආදරය කළ ප්‍රේමවන්තියට පිහියෙන් ඇන මරා දැමූ සංසිද්ධියක්... ආදරය තුළ තිබුණේ ආදරය විතරක් නම් කොහොමද සාතන්ගේ සිතුවිලි ආදරය තුළ සම්මිශ්‍රණය වෙමින් කැලති කැලති ඝාතනයක් විදිහට එළි දකින්නේ.... ආදරය කියන්නෙ අනෙකා වෙනුවෙන් සියල්ල ඉවසීම සහ දරාගැනීම නම් මඟහැරෙන හෝ අහිමිවෙන තැනකදී ඇයි ඔබට ගෞරවයෙන් සමාව දෙන්න බැරි... ආයෙත් මම කියන්නෙ ආදරය කියන්නෙ ඇත්තටම බෝධිසත්ත්ව හැඟීමක් නම් අනෙකාගේ යහපත වෙනුවෙන්, ආදරය වෙනුවෙන්, ආදරය අත් නොහැර භෞතිකව අනෙකා අත්හැරීම ආදරය වෙනුවෙන් කළ හැකි දෙයක්...
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණෙනි ඔබ සුරකිම් බැතින්
ආදරය තුළ ආදරය, සුරක්ෂිතභාවය සහ විශ්වාසය මිසක් බියක් පවතින්න ඉඩක් නැහැ... ආදරය සහ සුරක්ෂිතභාවයත් විශ්වාසයත් දැනෙන තැනක් කොහොමද බියක් දැනෙන්නෙ සතුටක් සැහැල්ලුවක් මිසක්... ඔබ හැර යන දිනෙක අවෛරී සිතින් හැර යන්න ඉඩ දෙන්න ජීවිතයට එන ඕනෑම කෙනෙක්ට... අවෛරීව සමුදෙන්න යන්න හදන ඕනෑම කෙනෙක්ට... මලක් කියන්නෙ නටුවක් අග්ගිස්සෙ විකසිත වෙන ගසෙක හුදෙකලා උප්පත්ති දායාදයක් නෙවෙයි... ගසේ මුදුන් මුල විනිවිද මහ පොළොවම එක මලක් නටුවක් අග්ගිස්සට ගේන්න දරදිය අදිනවා... ආදරයත් ඒ මලක් වගේ... සංසාර වීදියෙන් වීදියට අරගෙන එන මුදුන් මුල් එක්ක ගැටගැහිලා තමයි ජීවිතය යායේ ආදරයේ මල් පිපෙන්නේ.